දේශපාලනයෙන් දෑත් කිලිටි කර නොගත් හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රංජිත් අතපත්තු

350

හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රංජිත් අතපත්තු මහතාගේ හයවන ගුණසමරුව නිමිත්තෙනී.

තනතුරු, වරප්‍රසාද, මුදල් පසුපස දේශපාලනඥයන් හඹා යන පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රංජිත් අතපත්තු මැතිතුමාගෙන් සමාජයට ලබාගත හැකි ආදර්ශයන් ඉමහත්ය. 1988-89 කාලයේ සිදුවූ සිද්ධීන් හේතුවෙන් කලකිරී සිටි එතුමා 1990 ජනවාරි මාසයේ තම මන්ත්‍රී ධුරයෙන් සහ අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය.

අමාත්‍ය ධුර දරණ කාලයේ දී ඉදිරිපසින් හෝ පසුපසින් ආරක්‍ෂක රථ පිරිවරා ගමන් කළේ නැත. හරිහම්බ කළ දෙයක් ද නැත. ජීවත් වූයේ ද තම පැරණි නිවසේය. ගමන් කළේ සාමාන්‍ය මෝටර් රථයේය. අල්ලස, දූෂණය, වංචාව, බාල බෙහෙත්, අසාමාන්‍ය මරණ සහ කොමිස් ගැනීම්, පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වාර්තාවන මෙවන් සමයක, දොස්තර රංජිත් අතපත්තු නාමය ජනතාව සිහි කරන්නේ ඉතාමත් ගෞරවයෙනි. මෙරට පිටරට ඉඩකඩම් දුසිමක් ඇති තනතුර තම ජීවනෝපාය කරගත් මැති ඇමැතිලා සිටින රටක අතපත්තු නාමය ගිරුවා පත්තුවේ ජනතාවට ද, ආඩම්බරයකි.

එදා ප්‍රේමදාස මහතාගේ උදාගම් සංකල්පය, ගාමිණිගේ මහවැලිය, ලලිත්ගේ මහපොළ මෙන්ම අතපත්තුගේ ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන ජනප්‍රිය මාතෘකාවක් විය. ඔහු ජේ. ආර්ගේ සීමිත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. එමෙන්ම ජේ. ආර්ගේ කැබිනට් මණ්ඩලය ප්‍රතාපවත් සෙන්පතියන්ගෙන් සමන්විත විය. උපතින් විශාල ධනයකට හිමිකම් කී එතුමා පරපුරට උරුම වූ සමාජ මෙහෙවරට කැප විය. රජයේ වෛද්‍ය වෘත්තියෙන් ද ඉවත් විය. ජේ. ආර්.ගේ නායකත්වය යටතේ බෙලිඅත්ත ආසනය සංවිධානය කරන ලදී. උදය වරුවේ තම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර කරන අතපත්තු මහතා සවස ගම් නියම්ගම්වල පයින්ම ඇවිද්දේය. කුඩා රැස්වීම් පැවැත් විය. ශාඛා, තරුණ, කාන්තා සමිති 526ක් 1975 වනවිට පිහිටුවන ලදී. සාමාජිකයන් දොළොස් දහසක් පමණ බඳවා ගන්නා ලදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හැරී අබේධීර මහතා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන ලදී. තංගල්ල හිටපු නගරාධිපතිවරුන් වන ජෝන් සිල්වා එදිරිසූරිය, සැමිපාල වෙදආරච්චි සංවිධාන කටයුතුවල පුරෝගාමීන් විය. ගුරුවරුන්, ලිපිකරුවන්, ලංගම සේවකයන් ආදී වෘත්තිකයන් එකතු කොට ජාතික සේවක සංගමය පිහිටුවන ලදී. මෙකල රට තුළ විශාල ආහාර හිඟයක් ඇති විය. ප්‍රවෘත්ති පත්‍ර රජයට පවරා ගන්නා ලදී. පත්තරවලට සීල් තබන ලදී. පහරදීම්, පළිගැනීම් ආදිය සිදුවිය. ජනතා අපේක්‍ෂාවන් භංගත්වයට පත් විය. 1975 වනවිට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් පුවක්දණ්ඩාව පන්ථාරාමයේ දී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වන ලදී. 8000ක් පමණ ඊට සහභාගි විය. එය අවසන් කළ ජනතාව බෙලිඅත්ත නගරයට පා ගමනින් පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. පිරිස පාලනය කිරීමට ද, අපොහොසත් විය.

රජයට එරෙහි ජනතාවගේ පීඩනය, කලකිරීම මෙයින් පෙන්නුම් කරන ලදී. ශ්‍රී.ල.නි. පයේ සහ රාජපක්‍ෂ මහත්වරුන්ගේ බලකොටුවක් වූ බෙලිඅත්තේ බලය ඔවුන්ගෙන් ගිලිහෙමින්, පවතින බව එදා මනාව පැහැදිලි විය. ඔවුන්ගේ පාක්ෂිකයෝ උදාසීන තත්ත්වයට පත් විය. 1977 මහ මැතිවරණයට දින නියම විය. රංජිත් අතපත්තු මහතාගේ නිවසේ දී මැතිවරණ කමිටුව රැස්විය. සාමකාමීව මැතිවරණ කටයුතුවල යෙදෙන ලෙස එතුමා පවසන ලදී. එසේ වුවද ගැටුම් ආරවුල් මැද මහ මැතිවරණයෙන් දොස්තර රංජිත් අතපත්තු මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයම ජයග්‍රහණය කරන ලදී. දොස්තර රංජිත් අතපත්තු මහතා කොළඹ රෝහල් භාර ඇමැති වශයෙන් පත් විය. එම කාලය තුළ කොළඹ සියලුම රෝහල් දියුණු තත්ත්වයට පත් කරන ලදී.

දේශපාලනයෙන් දෑත් කිලිටි කර නොගත් හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රංජිත් අතපත්තු
එදා ජනපති ප්‍රේමදාස සමග

මේ නිසා 1980 දී එතුමා සෞඛ්‍ය ඇමැති ලෙස පත් කරන ලදී. ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටුවීම, වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉදිකිරීම, කරාපිටිය රෝහලේ කටයුතු ඉක්මන් කිරීම එතුමාගේ කාලයේ සිදුවිය. සෞඛ්‍ය වින්නඹු තනතුර අහෝසි කර පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීම ද, ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන ගමක් ගානේ ඉදිකිරීමට ද ඒ තුළින් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, බෙලිඅත්ත රෝහල සහ ආයුර්වේද රෝහල වැඩිදියුණු කිරීම ද බෙලිඅත්තට පළමු ශ්‍රේණියේ කාර්මික විද්‍යාලයක් ලබා දීම ද කැපී පෙනෙන සේවාවන්ය. එහි අදත් සිසු සිසුවියන් සිය ගණනක් අධ්‍යාපනය හදාරනු ලබයි. කෝංගල්ආර සහ කිරම ඔය වාරියෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී. ලුණුගම්වෙහෙර ව්‍යාපාරය ආරම්භ කිරීමට ද, මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. බෙලිඅත්ත ක්‍රීඩාංගණය, ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිකරන ලදී. අගුල්මඩුවේ පිත්තල කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලද්දේ එතුමා විසිනි. එතුමා විසින්, දිස්ත්‍රික්කය තුළ ලබාදෙන ලද රැකියා සංඛ්‍යාව 26000ක් පමණ වේ. එය සුවිශේෂී සිද්ධියකි. සියලුම ග්‍රාමීය රෝහල් දිසා රෝහල් බවට පත් කරන ලද්දේ එතුමා විසිනි. ආසියා සංවර්ධන බැංකුව මගින් රුපියල් මිලියන 200ක මුදලකින් බෙලිඅත්ත පුරා විදුලිය ලබා දුන්නේ එතුමාගේ මැදිහත් වීමෙනි. ප්‍රදේශයේ විහාරස්ථානවලට කරන ලද සේවය ඉමහත්ය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂයෙන් විශ්වවිද්‍යාල ළමුන් සඳහා පෞද්ගලිකව කරන ලද ආධාර උපකාර බොහෝය. එතුමා දේශපාලන පළිගැනීම් නොකළ අයෙකි. 1983 අතුරු මැතිවරණයෙන් ද විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන ලද අතපත්තු මහතා 1987 පළාත් සභා මැතිවරණයෙන් ද දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ලදී. 1988 දී ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා විශාල කැපවීමක් කරන ලදී. 1989 දී පැවැති මහ මැතිවරණයෙන් ද දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවූ අතර, හම්බන්තොටින්, එතුමා පළමු ස්ථානයට පත් විය. දේශපාලන ජීවිතය තුළ දෑත් කිලිටි කර නොගත් මේ අතිඋතුම් මිනිසා ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ට මහඟු ආදර්ශයකි. චාම් ගති පැවතුම් පිරි මේ මිනිසාගේ නාමය ජන හදවත් තුළ සදා පවතිනු ඇත. ඔබ තුමාට උතුම් වූ නිවන් සුව පතන්නෙමි.

ගාමිණී ජයරත්න
බෙලිඅත්ත ආසනයේ එ.ජා.ප. හිටපු ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment