ජ්‍යොතිෂයේ කෝණ මාස හා කෝණහර මාස න්‍යාය

8

ජ්‍යොතිෂයට අනුව කෝණ මාසය අශුභ කාල සීමාවක් බව කවුරුත් පාහේ දන්නා කරුණකි. විශේෂයෙන් ශුභ නැකතක් සෑදීමේදී කෝණ මාස සම්බන්ධව අනිවාර්යයෙන් විමසා බැලීම සිදු වේ. වර්තමාන සමාජයේ ජ්‍යොතිෂය පිළිගන්නා බොහෝ දෙනෙක් කෝණ මාසවලට දක්වන්නේ දැඩි බියකි. සම්මතයට අනුව කෝණ මාස අතරිනුත් අවුරුදු කෝණ මාසය සෙසු කෝණ මාසවලට වඩා ඉතා අශුභ සේ පිළිගැනේ. එනිසාම එම කෝණ මාසය කිසිදු ශුභ කටයුත්තක් සඳහා යොදා නොගනී. කෙසේ නමුත් නැකැත් සෑදීමේදී කෝණ මාසය උදාවන දිනයන් වේලාවන් කෝණ මාසය අවසන් වන දිනයන් වේලාවන් සම්බන්ධව හොඳින් දැනුවත් විය යුතුය.

සූර්යයාගේ ගමන හෙවත් ගෝචරය කරණ කොට හෙවත් ක්‍රාන්ති මාර්ගයත් නිරක්ෂ රේඛාව හෙවත් සමකයත් පදනම් කරගනිමින් කෝණ මාසය නිර්මාණය වේ. මෙහි ක්‍රාන්ති මාර්ගය යනු සූර්යයා ගමන් කරනා මාර්ගයයි. මෙහිදී සූර්යයාගේ ගමන හෙවත් රවිගේ ගෝචර ගමන යනුවෙන් සඳහන් කළ ද සත්‍ය වශයෙන්ම සිදුවනුයේ සූර්යා ගමන් කිරීම නොව පෘතුවිය තම කක්ෂය දිගේ තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වඩා පරිභ්‍රමණය වීමයි. ජ්‍යොතිෂයට අනුව සූර්යයා හෙවත් රවි මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශීන්වල ගමන් කරන හෙවත් ගෝචරය වන කාලය කෝණ මාස ලෙස හැඳින්වේ. එසේම තවත් ලෙසකින් හිරු බුධගේ සහ ගුරුගේ රාශිවල ගමන් කරන කාලය කෝණ මාස වේ. මෙම කෝණ මාස මෙතරම් අශුභ වන්නේ සූර්යයාගේ අශුභ දෘෂ්ටි පෘථිවියට එල්ල වන බැවිනි.

විශේෂයෙන් ජ්‍යොතිෂයේදී මෙන්ම වාස්තු ශාස්ත්‍රයේදී ශුභ කටයුතු සඳහා අශුභ යැයි දක්වා ඇති කාල පරිච්ඡේද සතරකි. ඒ වර්ෂයක් තුළ කෝණ ලබන කාලසීමාවන් සතරයි. එය මෙසේ පැහැදිලි කළ හැක. වසරක් තුළ රවිගේ මුළු ගමන්මඟ 360˚ කි. රාශි චක්‍රයේ මේෂයේ පටන් මීනය දක්වා රාශි 12කි. එනම් 360˚ ÷− 12 = 30˚ මෙම 30˚ රාශියකට අයත් වන ප්‍රමාණයයි. රවි දිනකට රාශි චක්‍රයේ 01˚ක් ගමන් කරයි. ඒ අනුව 30˚ රාශියක් පසු කිරීමට දින 30ක් හෙවත් මාසයක් ගත වේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව දින අඩු හෝ වැඩි මාස සූර්ය මාස ක්‍රමයටත් චන්ද්‍ර මාස ක්‍රමයටත් නොමැති හෙයින් සෑම මාසයකටම දින 30ක් හිමිය. වර්ෂයක් තුළ කෝණ ලබන කාලසීමාවන් හෙවත් රවිගේ චතුරස්‍ර අශුභ දෘෂ්ටිය පෘතුවියට පතිත වන කාලසීමාවන් සතරකි. රවිගේ වසරක මුළු ගමන්මඟ 360˚ක් නිසාවෙන් ද කෝණ මාසයක් සඳහා 30˚ බැගින් ගත් කල කෝණ මාස සතරට 30˚ × 4 = 120˚කි. මෙලෙසට ගත් කල වසරකින් 1/3ක ප්‍රමාණයක් හෙවත් මාස 12න් මාස 4ක්ම කෝණ මාස සතර මගින් ආවරණය වේ. එහෙත් මෙහි මීට වඩා හරයක් නිවැරදි භාවයක් ගැබ් වී ඇත. එනම් පෙර කී සේම රාශි චක්‍රය 360˚කි. එය 4න් බෙදූ විට 90˚කි. බටහිර සායන ජ්‍යොතිෂයට අනුව 90˚ චතුරස්‍ර දෘෂ්ටිය පාපී අශුභ දෘෂ්ටියකි. කෙසේ වෙතත් කෝණ මාස සතර තුළ රවිගේ ගමන් මාර්ගයේ හෙවත් ක්‍රාන්ති මාර්ගයේ 90˚ චතුරස්‍ර පාපී අශුභ දෘෂ්ටි යෙදෙන ස්ථාන හෙවත් කෝණයන් නිර්මාණය වේ. මෙම අශුභ දෘෂ්ටි යෙදෙන තැන දින කිහිපය අශුභය. එය කෝණ මාසයකට බොහෝවිට දින 2කි. ඒ අනුව කෝණ මාස සතරට අශුභ වන්නේ උපරිම වශයෙන් දින 8කි. එසේ නොමැතිව මුළු කෝණ මාසයම අශුභ නොවේ.

කෙසේ නමුත් ඉහත සඳහන් සිද්ධාන්තයන් න්‍යායන් බහුතරයක් ජ්‍යොතිෂවේදීන් පවා නොදනී. ඒ මේ අශුභ කෝණ දෘෂ්ටි යෙදෙන ස්ථානය නිවැරදිව සොයාගන්නා ආකාරය පිළිබඳවයි. මේ නිසාම ශුභ මුහුර්ත සඳහා යොදාගත හැකි ප්‍රබල ග්‍රහ බලයක් සහිත දින පවා අතහැර දමති. මෙම 90˚ක් වූ චතුරස්‍ර පාපී අශුභ දෘෂ්ටි යෙදෙන ස්ථාන හෙවත් කෝණයන් යෙදෙන දින සොයා ගන්නේ රවි ග්‍රහයාගේ ග්‍රහස්ථුටය අනුවය. එහිදී රවි ග්‍රහයා 7˚හි ගමන් කරන දිනයන් මෙම අශුභ කෝණ දෘෂ්ටි යෙදෙන දිනයන් වේ.

උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි සතර සාත්වික ගුණයෙන් යුතුය. එසේම රවි ද සාත්වික ගුණයෙන් යුතුය. එනිසා රාශියේ හා ග්‍රහයාගේ ගුණ මිශ්‍ර වීමෙන් සාත්වික ගුණය වඩ වඩාත් ප්‍රකට වේ. මෙම සාත්වික ගුණය ශුභ කටයුතු වලට කිසිසේත්ම ශුභ නැත. එහෙත් මෙසේ බලපාන්නේ රවි ග්‍රහයා 7˚හි ගමන් කරන විටය. කෙසේ නමුත් මෙම කෝණ මාස ලබන දිනයන් ඒ ඒ වසරවල සූර්ය මාස සංක්‍රාන්තිය අනුව සුළු වශයෙන් වෙනස් වේ. එයට හේතුව පෘතුවි ගෝලය 23 1/2˚ක ඇලයෙන් යුතු වීමත් ඍතු විපර්යාසයත්ය. මෙහිදී පෘතුවි ගෝලයේ පවතින ඇලය හේතු ුකොටගෙන පෘතුවි සමකයට සාපේක්ෂව සූර්ය ගමන නිරීක්ෂණය කළ හැක. මෙම සූර්ය ගමන යෙදෙන්නේ කර්කටක හා මකර නිවර්තන දෙක අතරය. මෙම නිවර්තන දෙක අතර සූර්ය ගමනේදී ඍතු විපර්යාස ඇති වේ. මෙහිදී මාස 6ක් උතුරු අර්ධ ගෝලයටත් මාස 6ක් දකුණු අර්ධ ගෝලයටත් මාරුවෙන් මාරුවට හිරු මුදුන් වේ. එනම් හිරු සෑම වර්ෂයකම පෘතුවියේ මධ්‍ය අක්ෂාංශක රේඛාව වූ සමකය හරහා උතුරට හා දකුණට ගමන් කිරීම සිදු වේ. හිරුගේ මෙම ගමන උත්තරායනය හා දක්ෂිනායනයි.

මෙනිසා පෘතුවියේ වසරක් තුළ ඇති වන ඍතු සයකි. එනම් සිසිර, වසන්ත, ග්‍රීස්ම, වර්ෂා, සරත් හා හේමන්ත ලෙසය. මෙයින් සිසිර, වසන්ත හා ග්‍රීස්ම ඍතු උත්තරායනයටත් වර්ෂා, සරත් හා හේමන්ත ඍතු දක්ෂිනායනයටත් අයත් වේ. තව ද මෙම උත්තරායනය වසන්ත විෂුව ලෙසත් දක්ෂිනායනය සරත් විෂුව ලෙසත් හැඳින්වේ. එනම් මෙම දින දෙක වසන්ත හා සරත් ඍතුවල ආරම්භක දිනයන්ය. මෙම දින දෙකෙහි පෘතුවියේ දිවා කාලය හා රාත්‍රි කාලය සමානය. එහෙත් හිරු කර්කටක නිවර්තනයට මුදුන් වන ජුනි 21 දින උතුරු අර්ධ ගෝලයට දීර්ඝතම දිවා කාලය ඇති වේ. එසේම දකුණු අර්ධ ගෝලයට දීර්ඝතම රාත්‍රි කාලය ඇති වේ. හිරු මකර නිවර්තනයට මුදුන් වන දෙසැම්බර් 22 දින දකුණු අර්ධ

ගෝලයට දීර්ඝතම දිවා කාලය ඇති වන අතර උතුරු අර්ධ ගෝලයට දීර්ඝතම රාත්‍රි කාලය ඇති වේ. ඉහත සඳහන් ලෙසට රවි ගෝචරයේදී හඳුනාගත් විශේෂ ස්ථාන 4ටම අදාළ දින සතරම කෝණ මාස සතර තුළ පිහිටා ඇත.

විශේෂයෙන්ම වැදගත් නැකැත් ගැනීමේදී මුළු කෝණ මාසයම ලෙස කෝණ යෙදෙන මාස 4ම අතහැර දැමීම පෙර සඳහන් කළ සේම රන් මෙන් වටිනා කාලය නිකරුණේ අපතේ යැවීමකි. එනිසා කෝණ හර කාලසීමාවන් මෙන් තත්කාලීන ග්‍රහබලය විමසා හරියටම කෝණ යෙදෙන දින කිහිපය අතහැර අවශය නම් ඊට ආසන්න ඉදිරියෙන් හා පිටුපසින් තවත් දින කිහිපයක් ද අතහැර කෝණ මාසයේ වුවද ඉතිරි දින සියල්ලම ශුභ මුහුර්ත සකසා ගැනීම සඳහා යොදා ගත හැක. මීළඟට කෝණ මාසත් ඊට ආසන්න වශයෙන් අදාළ වන දිනත් එම කෝණ මාසවල අශුභ තත්ත්වයන් සලකා බලමු.

  1. මිථුන කෝණ මාසය හෙවත් මිථුන රවිය

මෙය ජුනි 15 වැනිදා පමණ සිට ජූලි 16 වැනිදා පමණ දක්වා සූර්යයා මිථුන රාශියේ ගමන් කරන කාලයයි. මිථුන කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම ජුනි 21, 22 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකතක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් සතුරු පීඩා, නෑයන්, අසල්වාසීන්ගෙන් උවදුරු, ධන හානි ආදිය සිදු වේ. මෙය වගා කෝණය ලෙස ද හඳුන්වයි. සාමාන්‍යයෙන් මේ කාලයේ වගා කටයුතු ආදිය සිදු නොකරයි.

  1. කන්‍යා කෝණ මාසය හෙවත් කන්‍යා රවිය

මෙය සැප්තැම්බර් 17 පමණ සිට ඔක්තෝම්බර් 15 පමණ දක්වා සූර්යයා කන්‍යා රාශියේ ගමන් කරන කාලයයි. කන්‍යා කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම සැප්තැම්බර් 24, 25 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකතක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් භාර්යාවට විපත් දූ දරුවන්ගේ විවාහ කඩාකප්පල්වීම්, ලෙඩ දුක්, නඩු හබ ආදිය සිදු වේ.

  1. ධනු කෝණ මාසය හෙවත් ධනු රවිය

මෙය දෙසැම්බර් 16 පමණ සිට ජනවාරි 14 පමණ දක්වා සූර්්‍යයා ධනු රාශියේ ගමන් කරන කාලයයි. ධනු කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 23, 24 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මේ නිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශූභ මුහූර්තයක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් රැකියා කටයුතු කඩාකප්පල් වීම, වැඩිහිටියන්ට නොයෙකුත් කරදර උවදුරු ඇතිවීම, නොයෙක් අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවීම, ධන හානි ආදිය වැනිදේ සිදු වේ. විශේෂයෙන්ම මෙම කෝණය නිවාස කටයුතු සඳහා කිසිසේත්ම යොදා නොගනී.

  1. මීන කෝණ මාසය හෙවත් මීන රාශිය

මෙය මාර්තු 14 පමණ සිට අප්‍රේල් 11 පමණ දක්වා සූර්්‍යයා මීන රාශියේ ගමන් කරන කාලයයි. බොහෝ දෙනෙක් මෙම අවුරුදු කෝණයට දක්වන්නේ දැඩි බියකි. එහෙත් එය එසේ විය යුතු නොවේ. මීන කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම මාර්තු 22, 23 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකතක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් වැඩ කටයුතු ස්ථීරත්වයකට පත් නොවී කඩාකප්පල් වීම්, දිළිඳු වීම ආදිය සිදු වේ.

ඉහත සවිස්තරව දැක්වූ ඒ ඒ කෝණ මාසයන් ගෙවී ගිය පසු උදාවන කාලයන් කෝණ හර මාස වේ. එම කාලවල පවතින ග්‍රහබලය හොඳින් විමසා ශුභ කටයුතු සඳහා නැකැත් සෑදීමට යොදාගත හැක. එම කෝණ හර මාසයන් මෙසේය.

  1. මේෂ, වෘෂභ කෝණ හර මාස හෙවත් මේෂ රවිය හා වෘෂභ රවිය.
  2. කටක, සිංහ කෝණ හර මාස හෙවත් කටක රවිය හා සිංහ රවිය.
  3. තුලා, වෘශ්චික කෝණ හර මාස හෙවත් තුලා රවිය හා වෘශ්චික රවිය.
  4. මකර, කුම්භ කෝණ හර මාස හෙවත් මකර රවිය හා කුම්භ රවිය.

තවද කෝණ මාසවල කෝණ යෙදෙන දිනයන් පොදුවේ ශුභ නැකැත් සඳහා යොදා නොගන්නේත් විශේෂයන් විවාහ නැකැත් නොදෙන්නේත් අවාසනාවන්ත රෝගී දෙමාපියන්ට නොසලකන දරුවන් බිහිවීම වලකනු සඳහාය. එසේම නිවාස නැකැත් නොදෙන්නේ ඕපපාතික ප්‍රේත, භූත ආත්මවල ඇල්ම බැල්ම වැටීම මෙන්ම නව නිවෙස්වලට අධිගෘහිතද විය හැකි බැවිනි. බොහෝ විට එවැනි සිදුවීම් සිදුවීමට ඉතා පහසු වනුයේ නිසි ශාස්ත්‍රීය විමසුමකින් තොරව අප තබන පහන්, සුවඳ දුම්, ආහාර වර්ග ආදියෙන් හමනා සුවඳට ඒ පහත් ආත්ම ඉතා ප්‍රියකරන බැවිනි.

ජ්‍යොතිෂයේ කෝණ මාස හා කෝණහර මාස න්‍යාය

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653


advertistmentadvertistment