ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය – හසිනි සහ හසාරාට රිදී පදක්කම්

81

සැම්බියාවේ ලුසාකා අගනුවරදී පැවැත්වුණු සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී පදක්කම දිනාගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා එම තරග අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි ප්‍රබල බලාපොරොත්තුවක් තරගයට පෙර පැවතියද, විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කමට හිමිකම් කීම නිසා ඔවුන්ට රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු විය.

කාන්තා යුගල අවසන් මහා තරගයේ දී විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් සාර්ථකව තරගයට අවතීර්ණ වූ හසිනි සහ හසාරා හමුවේ දැඩි අභියෝගයක් එල්ල කළ මාලදිවයින් ක්‍රීඩිකාවන් වට 2-0කින් තරගය ජයගත් අතර, අවසන් ලකුණු තත්ත්වය සටහන් වූයේ 21-17ක් සහ 21-19ක් ලෙසයි.

ඔවුන් දෙදෙනා සිය මීළඟ තරගාවලිය සඳහා බොට්ස්වානා බලා යෑමට නියමිතව ඇත. බොට්ස්වානා හි ඔට්සේ පොලිස් විදුහල් ගෘහස්ථ ජිම්නාස්ටික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, එහි දී කාන්තා යුගල තරග අංශයේ රන් පදක්කම දිනාගැනීම හසිනිගේ සහ හසාරාගේ ඉලක්කය වී තිබේ.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment