නාඩි සිද්ධාන්තවලට අනුව සිදුවන ගුරුමාරුවේ පලාඵල මෙන්න

8946

රටේ හිටපු නායකයකුට අපලයි
රටේ විශාල වෙනසක් ඇතිවන වසරක්

ගුරු නොහොත් සුරගුරු දැන් මීන රාශියේ ස්වක්‍ෂේත්‍ර බලයෙන් මීන රාශිය වූ 12 වන රාශියේ එනම් වැය ස්ථානයේ සිටියි. මෙම ගුරු 2023 අප්‍රේල් 22 මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙයි. මෙම ගුරු මේෂ රාශියට මිත්‍රයි. එමෙන්ම ගුරුට එක් රාශියක් ගමන් කිරීමට සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ කාලයක් ගත වෙයි. (වක්‍ර/නිවෘත) මෙම ගුරුගේ වැඩි විපාක සිදුවන්නේ රාශියේ මැද හරියේ ගමන් කරන කාලයේදීය.

තවද ගුරුගේ එක් එක් ලග්නයට පවසන දේ බොහෝ අවස්ථාවල දී නිවැරදි නොවන්නට පුළුවනි. පලාඵල අඩු වැඩිවීම් ද සිදුවේ. එය එසේ වන්නේ උපතේ දී ගුරු සිටින රාශිය අනුව ද ගුරුගේ මහ දශාවක් ගෙවන අයටත්, 22 දෙර්කාණාධිපති ගුරු නම් 64 වන නවාංශකාධිපති ගුරු නම්, දැනට තදබල අපල ගෙවන අයටත්, මෙම ගුරු මොන ආකාරයෙන් ඔබේ කේන්දරයට බලපෑමක් කරාවි ද යන්න විමසා බලමු.

නාඩි සිද්ධාන්තවල දී ලග්නය අදාළ නොවන අතර ගුරු පැමිණි රාශිය මුල්කරගෙන පලාඵල කියන අතර ගුරුට දෙපැත්තේ සිටින ග්‍රහයන් පිළිබඳව ද විමසා බැලිය යුතුයි. මීට අමතර ගුරු ඔබේ කේන්ද්‍රරයේ නීච ද සතුරු ද නැතහොත් මොන ආකාරයෙන් ද යන්න පිළිබඳවත් විමසීමක් කළ යුතුයි.

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ගේ ලග්නයටයි මේ ගුරු පැමිණියේ 12 වන රාශියේ සිටයි. මේෂයේ ඉන්න ගුරුට 5 වැන්න පෙනේ. එයත් මිත්‍රයි. තවද මේෂ ලග්න ගතව සිටින ගුරුට 7 වැන්න ද පෙනේ. එය සතුරු ස්ථානයකි. තවද මේෂ ලග්නගතව සිටින ගුරුට 9 වැන්න ද පෙනේ. මෙම 9 වැන්න ධනු රාශියයි. එය ගුරුගේ අනිත් රාශියයි. ස්වක්‍ෂේත්‍රයි. ශුභයි. දැන් බලමු මෙම දෘෂ්ටි 03 මොනාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට හොඳ ආරම්භයක්. එමෙන්ම මේෂ ලග්න හිමි කාන්තාවන්ට දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත දරු උපතක් පෙන්වයි. නමුත් කල්පනාකාරි විය යුතුයි. තම දරුවා බිහිවෙනතෙක්ම පරිස්සම් කරගත යුතුයි. බඩ සම්බන්ධ අසනීපාදියටත් මෙම මවුවරුන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. තවද මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්න වූ තුලාවත් මෙම ගුරු 7 වන දෘෂ්ටියෙන් දකින නිසා විවාහ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ ගන්න. දිගින් දිගට යන ප්‍රශ්න මඟහැර සිටින්න. තවද විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට තවදුරටත් ප්‍රමාදවීමක් පෙන්නුම් කරයි. තවද බාධාවීම්, අන් අයගේ කථා නිසා ආදර සම්බන්ධතා කැඩීබිඳී යෑමට ද පුළුවනි. එමෙන්ම විශ්වාසය පළුදු වෙයි. තවද මේ කාලයේ තමාගේ වියදම් පක්‍ෂය ඉහළ යයි. රැකියාවේ ප්‍රශ්න ද ස්ථානමාරුවීම් ද ඇතිවෙයි. පදිංචිය වෙනස් විය හැකි කාලයකි. මේ කාලයේ කිසිම දෙයක හොඳක් අන් අය නොදකියි. උසස් අය සමග අමනාප වීම් මෙන්ම කරදර ද ගෙන දෙයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට එම අවස්ථාව උදාවීමටත් සමහර අයට එය නොලැබීමටත් ඉඩ ඇත. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන අයට විශේෂයෙන් කියන්නේ ප්‍රමාද වූවාට කනම්නැත පාඩු ලබනවාට වඩා. තවද ඔබ ළඟින්ම සිටින අයගෙන් කරදර ද හිංසා ද ඇතිවීමට පුළුවනි. මුදල් නැතිකම අඩුවෙන් මුදල් ලැබීම ඇත්තෙන්ම මෙය ඔබට සතුටක් ගෙන නොදෙන ක්‍රියාවක් බැවින් පුළුවන් තරම් පාඩුවේ සිටින තරමට ශුභයි. ගුරුට 9 වන දෘෂ්ටියත් ලැබෙන නිසා පිං දහම්වල යෙදෙන්න. පෙර පින ඵල දුන්නොත් පමණයි ඔබට නැඟිටින්නට හැකි වන්නේ. විෂ්ණු/කතරගම දෙවියන්ට සෙත්කවි දෙකක් කියවා ගන්න. බෝධි පූජාවක් තබාගන්න. කතෝලික අය සෙන්සෙබස්තියන් මුනිඳුන්ට භාරයක් වෙන්න. ඔබට ජයෙන් ජයම ලැබේවා.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු අයස්ථානය වූ මීනයේ සිට වැයස්ථානය වූ මේෂයට එනම් 12 වැන්න පැමිණි අතර මෙගුරුට 4, 6, 8 දෘෂ්ටි දකිනවා. නාඩි සිද්ධාන්තවලට අනුව ශනි 10 වැන්න වූ කර්මස්ථානයේ සිටිනවා. මෙයත් හොඳ පිහිටීමක්. ඇත්තෙන්ම ඔබට ශුභයි.

රැකියාවෙන් උසස් වීමක් ලැබෙන අතර ගරු නම්බුලාභ ද ඔබට ලැබෙන කාලයකි. මිල මුදල් අතින් පෙරට වඩා ශක්තිමත් බවක් ගෙනදේ. ආදායම් මාර්ග විවිධ අයුරින් එයි. එම එන දේ ඔබ ඔබේ ශක්තිය මත භේදයක් කරලා බලන්න. මෙම මාර්ග ඉදිරියට මොන අයුරින් ප්‍රයෝජනයක් ගෙන මුදල් ලබාගත හැකිද කියා. ඔබ ඔබව තේරුම් ගන්න. විදේශ ගමන් බිමන් යෙදේ. ඉඩම් මිලදී ගැනීමට විකිණීමට ශුභයි. මොන දේ වුවත් ඔබ මේ කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යන අයට අහේතුකව සම්බන්ධකම් කැඩී යා හැක. එමෙන්ම විවාහ වූ අයත් විවාහ ජීවිතය රැකගන්න උසාවියට නොගොස්. මේ කාලයේ අන් ස්ත්‍රීන්වත් අන්පුරුෂයන්වත් පසුපස නොයන්න. දරුවන්ට විඳවන්නට, දරුවන්ගේ සිහින බොඳ කරන්නට ඉඩ නොතියන්න. එමෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලයේ ශුභදායකයි. උසස් පාසල් මෙන්ම සරසවි වරම් ලැබෙන කාලයකි. විදේශගත වෙන්න අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද අවස්ථාව උදාවෙයි. හැබැයි මේ කාලයේ ප්‍රේම සම්බන්ධතා නම් ඇති කරනොගන්න. හේතුව අධ්‍යාපනයට එය බාධාවකි. හැබැයි අලුත විවාහ වෙන්න ඉන්න අයට මෙය ශුභදායකයි. අලුතින් පවුලට පිරිස වැඩිවෙයි. ඥාති මිත්‍ර සම්බන්ධකම් අලුත් වෙයි. අමනාපව සිටි අය ඔබව සොයා එයි. ප්‍රීතිය සැනසීම ලැබෙයි. මේ මොන සතුටක් ඔබ සමබරව තියාගත යුතුයි. මේ කාලයේ දේශපාලන කටයුතුවල නිරත වූ අයට ශුභදායකයි. මහජනයාගේ සිතුම් පැතුම් වටහාගෙන ඉදිරියට යා හැක. තවද විවිධ වෘත්තීන්ගෙන් වැඩි හරියකට ශුභදායකයි. යාන වාහන මිලදී ගැනීමටත්, නව නිවාස කටයුතු වලටත් මේ කාලය ශුභදායකයි. ඇත්තෙන්ම කොසේ හෝ අනාගත බලාපොරොත්තු ඇතිව කරන සියලුම කටයුතු වල ප්‍රතිඵල අද ප්‍රමාද වුවත් ඉදිරි අනාගතයේදී එහි නියම ඵල ලබාගැනීමට හැකියාව ඇති නිසා භය නැතුව අලුත් අලුත් වැඩට අත ගසන්න. දරුවන්ට ද එසේමයි. 2023 වර්ෂය ජයෙන් ජයම ශුභ වර්ෂයක් වනවාමයි.

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ගේ ගුරු 11 වැන්න වූ අයස්ථානයට පැමිණෙයි. මෙය අප්‍රේල් 22 පසු ධනය උත්පාදනය කරයි. මෙයට ශනි ද එක්වී 9 වැන්න කුම්භ රාශියට ස්වක්‍ෂේත්‍ර බලයෙන් ශක්තිමත් වී සිටියි. යම් යම් අවස්ථාවලදී රැකියා කටයුතු වලට බාධාගෙන දුන්නත් එය එතරම් තැකීමක් නොකර ඉදිරියටම යන්න. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට බාධක මැද වුවත් අධ්‍යාපන කටයුතුවලට කම්මැලිවූවත් ඔබේ උත්සාහය මග නවතියි. එම නිසා ඉලක්ක කරා යන්න. නව අරමුණු කරා යන්න. ජය ගත හැකියි. අරමුණු ස්ථිර කරගන්න. හේතුව ඔබේ පෙර පිනක් මේ කාලයේ ක්‍රියාත්මක වෙනවා. එම නිසා බය නොවී ඉදිරියට යන්න. රැකියාවල නිරත වී සිටින අයටත් මේ කාලයේ බාධක පැමිණෙයි. නමුත් ඔබ ශක්තිමත්. මේ කාලයේ අනුමානයට කරන කටයුතු වලින් ප්‍රවේශම් වන්න. හේතුව ඔබ දැන දැනම කරන දේ ඔබේ පාඩුවට සහ විනාශයට මුල් වෙන්න පුළුවන්. ස්ථිරවම පදිංචිය හෝ රැකියාව වෙනස් වෙන්න සිදුවෙයි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා උත්සාහයක් ගතහැකි කාලයකි. සමහර විට ඒ සඳහා මුදල් හිඟවිය හැක. නමුත් අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ ලබාගත හැකි කාලයක් බැවින් ඔබ ඔබ ගැන වටිනාකමක් දෙන්න ඔබටම. මේ කාලයේ අලුත් ආශ්‍රයක් ඇතිවීමට පුළුවනි. නමුත් කල්පනාවෙන් ඇසුරු කරන්න. විවාහයට සුදුසු වයසක් කියා සිටින අයට මංගල සීනු හැඬවෙයි. හැබැයි තෝරා ගැනීම කල්පනාවෙන් කළ යුතුයි. රැවටිලිවලට හසුවීමට ද පුළුවනි. ජුනි ජූලි වගේ වෙනකොට ඉහත කී ප්‍රතිඵල වලට වඩා ශුභදායක ප්‍රතිඵලයක් මිථුන ලග්න හිමියන්ට ලබාගත හැක. මේ කාලයේ ඔබ අතින් පිං අතේ වැඩ සිද්ධ වෙනවනම් ඉතාම ශුභයි. විශේෂයෙන්ම කිවයුත්තේ ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබදව විමසිලිමත් වෙන්න. ලෙඩ කරයි. මානසික සුවය සමහර විට නැතිවෙයි. වෙනදට වඩා කල්පනාකරන ගතිය වැඩිවෙයි. ඒ නිසා තමා අදහන ආගමික කටයුත්තක යෙදෙන්න.

කෙසේ හෝ ධනයෝග වලට ශුභයි. අධ්‍යාපන කටයුතු වලට ශුභයි. විවාහයට ඉඩම් මිලදී ගැනීමට වාහනයක් මිලදී ගැනීමට හොඳම කාලයකි. 2023 වර්ෂ තවත් එක් ප්‍රබල ග්‍රහ මාරුවක්. නාඩි සිද්ධාන්තවල ප්‍රධානම ග්‍රහයා ඒ නිසා ඔබට ජයෙන් ජය ලැබේවා.

කටක ලග්නය

කටක ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදුවන්නේ 10 වැන්න වූ අයස්ථානයටයි. ගුරුගේ මහ දශාවත්/විදශාවත් යන අයට මේ ප්‍රතිඵල ටිකක් අඩුවිය හැක. තමාගේ රැකියාවේ යම් යම් වෙනස්වීම් කීපයක් මේ වර්ෂය පුරා සිදුවිය හැක. මේ කාලයේ ආර්ථික ලාභ ලැබුණත් ඊට වඩා වියදම් පක්‍ෂය වැඩිවෙයි. මේ කාලයේ මිල මුදල් ලාභ අඩු වුවත් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු නිසි අවස්ථාවේ නිසි අයුරින් ලැබේ. අධ්‍යාපනයේ යෙදී සිටින අය මේ කාලයේ අධ්‍යාපන කටයුතු වලට උනන්දුව උත්සාහය අඩුවෙන නමුත් සියලුම දේ අතපසු නොකර උත්සාහයෙන් ප්‍රතිඵල නෙළා ගන්නට උත්සාහ ගන්න. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවන කටක ලග්න හිමියන්ටත් බාධක ඇතිවුවත් විදේශගත වෙන්නට අවස්ථාව උදාවෙයි. රැකියා කටයුතු වලදී හැමවිටම තමාගේ තත්ත්වය හොඳින් හැඳිනගෙන තමාගේ කටයුතු පමණක් මේ කාලයේ කළහොත් බොහෝ ප්‍රශ්න අඩුකරගත හැක. කේන්තිය ඔබේ ඉදිරි ගමනට බාධාවක් බව සිතන්න. ඇසුරු කරන අයගෙන් මෙන්ම ඥාති මිත්‍රයන්ගෙන් ප්‍රවේශම් වන්න. ආරවුල වලට හෝ නොහික්මුණුකමට කරදර විඳින්නට සිදුවේ. කනගාටුවීමට කරුණු යෙදේ. ගෙදර දොරද ප්‍රශ්න ඇතිවිය හැක. හදිසි අනතුරු මෙන්ම ලෙඩ රෝගද ඇතිවෙයි. ශරීර සෞඛ්‍යට හානි ඇතිකරන කාලයකි. කම්මැලිකමද මේ කාලයේ ප්‍රධානම කාර්ය වෙයි. සියලු රෝග වලට ඔබම විනිශ්චයක් දී බෙහෙත් හේත් නොකරන්න. කල්පවතින නිධන්ගත රෝග මතුවෙයි. ඔබේ කේන්දරයේ ගුරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙයි. ඉතිං මෙය සිද්ධ වෙන්නෙ අප්‍රේල් 22 ඔබට තවමත් කල්තියනවා. පෙර පින මතක් කරගන්න. එමෙන්ම අලුත් දෙයකට අතගසන්න. විවාහ වී නැති අයට තවමත් මංගල සීනු හැඬවෙන අවස්ථාවකි. එමෙන්ම ආදරය බන්ධන ස්ථිර වෙන කාලයකි. පුළුවන් තරම් විවාහ නොවී සිටින අයගේ කල්යන විවාහයට මහන්සි වී සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නට හොඳම කාලයකි. ප්‍රමාද නොවී උත්සාහයෙන් ඵල නෙළා ගන්න. ජීවිතය සාර්ථක කර ගැනීමේ වාසනාව ඔබට මොන අපලය තිබුණත් පුළුවන් වන බව දැනගන්න. ලබන නව අලුත් අවුරුද්ද ජයම ජය වේවා.

සිංහ ලග්නය

සිංහලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ නවවන රාශිය වූ මේෂ රාශියට ගුරුගේ පැමිණීම සිදුවූ අතර නාඩි සිද්ධාන්ත වලට අනුව මේ කාලයේ පෙර පින් මතුකරගෙන වාසනාවන්ත ගමනකට මං සලකුණු උදාවෙන කාලයකි. ආගමික කටයුත්තක් සඳහා දුරබැහැර ගමන් බිමන් යෙදේ. එමෙන්ම ආගමික වතාවත් වල මෙන්ම දන්දීම් වැනි කටයුතු වලද නිතර වෙන්නට අවස්ථාව උදාවෙයි. ප්‍රීතිමත් දුර බැහැර ගමන් බිමන් යෙදේ. කලකින් නොදුටු අය ඇසුරු කිරීමටත් දැකීමටත් අවස්ථාව උදාවෙයි. ඔබට ඔබේ වාසනාව මේ අයගෙන්ද ලැබීමේ භාග්‍ය පවතියි. රැකියාවන් වල නිරත වූ සිංහ ලග්න හිමියනි, ඔබේ රැකියාවේ ඔබ මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි උසස් වීමට මෙම වෙලාව උත්සාහ කරන්න එය ලබාගන්න. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයගේ ස්ථාන මාරුව ලබාගත හැක. විදේශ රැකියාවන් බලාපොරොත්තු සිටි අයට ඔබට මිලක් නියම කර ඔබේ රැකියා අවස්ථා ස්ථිර කරදෙයි. එමෙන්ම මේ කාලයේ උසස් අධ්‍යාපනය සඳහා ද විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබටත් එය උදාවෙයි. සුළු සුළු බාධා වීම් ඇතිවිය හැක. මෙම සිංහ ලග්නයෙන් උපන් ඔබේ 22 දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශක අධිපති ගුරු නම් එවැනි අයටත් උපන් කේන්ද්‍රයේ ගුරු සතුරු, නීචව, ඉන්න අයටත් මෙම සුළු සුළු බාධාව යෙදේ. මිල මුදල් අතින් වෙනදට වඩා සරුබවක් ගෙන දෙයි. අලුත් වාහනයක් මිලදී ගන්න. අලුතින් ඉඩමක් මිලදී ගන්න අලුතින් ගොඩනැඟිල්ලක් හදන්න. අලුත් ව්‍යාපාරයකට අත ගසන්න හොඳම අවස්ථාව. හැබැයි නාඩි සිද්ධාන්තවලට අනුව මෙය ක්‍රියාත්මක වන්නෙ ජුනි, ජූලි වගේ කාලවලදීය. විවාහයට සුදුසු සහකරුවෙක් සහකාරියක් ලැබේ. විවාහයට හොඳ කාලයකි. මෙතෙක් ප්‍රමාද වී තිබූ විවාහ කටයුතු සාර්ථක කරගැනීමට අවස්ථාව උදාවෙයි. ඔබට මේ කාලයේ ආදරවන්තයෙක් වීමටත් ආදරවන්තියක් වීමටත් වාසනාව උදාවෙයි. මෙය මා පවසන්නේ අධ්‍යාපනය ලබන දරුවන්ට නොවන බව මතක තබා ගන්න. වාසනාව ඔබ සොයා එන්නෙ ඔබේ පෙර පින් මත අතර ඔබ මේ කාලයෙන් පින් දහම් කිරීමට උත්සාහ ගන්න. ඔබේ ජීවිතයේ බොහෝ දේ හොඳින් පිළිවෙලට සිදුවෙයි. වාසනාවන්ත ජයම ජය අවුරුද්දක් වේවා.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදුවන්නේ 8 වන රාශිය වූ මේෂ රාශියටයි. ගුරු මේෂ රාශියට එතරම් ශුභ නැත. එමෙන්ම 22 දෙර්කාණාධිපති ගුරු නම් 64 වන නවාංශකාධිපති ගුරු නම් එවැනි අය විශේෂයෙන්ම පරිස්සම් වන්න. මෙවැනි අයගේ ගුරුගේ මහ දශාවක් අතුරු දශාවක්, විදශාවක් යන්නෙ නම් එවැනි අයත් පරිස්සම් වන්න. නාඩි සිද්ධාන්ත වලදී ගුරුගේ රාශිය මතයි සියල්ලම තීරණය වන්නෙ. උපන් කේන්ද්‍රයේ ගුරු මොන ආකාරයට සිටින්නේ ද, ගුරුගේ දෙපැත්තේ සිටින ග්‍රහයන් මෙන්ම ඔවුන් පිළිබඳව ද වැටහීමක් ගෙන මෙම පලාඵල කථනය දිය යුතුයි. එබැවින් මොන තරම් නරකක් සිදුවුවත් එය 100% ක් ඔබට බලපාවි යැයි මා සිතන්නෙ නැත. බලමු විස්තරය. අධ්‍යාපනය ලබන දරුවනි, මෙතෙක් පැවැති උනන්දුව උත්සාහය අඩුවී යන බවක් පෙන්නුම් කරයි. නමුත් උනන්දුව අඩුවුණත් ඔබේ උත්සාහය එකඅරමුණක තබාගෙන ගියොත් කාටත් ඔබව පරාජය කළ නොහැකි බව සිතන්න. එමෙන්ම ඔබ අන් අයට අභියෝගයක් වෙන්න මම මේ දේ කරලා පෙන්නවා කියා. එවිට ජය ලබාගත හැක. විදේශ ගමන් බලාපොරොත්තු වන අයටත් උත්සාහයෙන් ජය ගත හැක. මිල මුදල් ලාභ අඩුවෙන බවක් පෙන්වයි. විදේශ ගත අයටද පවසන්නෙ ආදායම් මාර්ග අවහිර විය හැක. නමුත් පුළුවන් තරම් තව තවත් මාර්ග සොයා ගන්නට උත්සාහ ගන්න. රැකියාවන්ද නොලැබේ. නමුත් වෙනත් ක්‍රම වලින් නැවත නැවත නව රැකියාවන් සොයා ගන්න. රැකියා කරන ස්ථානයේ ඔබට විරුද්ධව නව ක්‍රියාමාර්ග පටන් ගනියි. ඔබට රැකියාව එපා වෙයි. ඔබට කරදර පිට කරදර ඇතිවෙයි. ඔබට දරාගන්නට නොහැකිව රැකියාව අතහරින්නට සිතෙයි. ඒ මොන දේ ආවත් රැකියාව පරිස්සම් කරගත යුතුයි. නඩු මාර්ගයට නොයා යුතුයි. විවාහ ජීවිතය ආරක්‍ෂා කරගත යුතුයි. එමෙන්ම විවාහ රාමුව තුළ ඔබ ඔබ කවුද යන්න පිළිබඳව දැනගන්න. අන්අයට ගරු කරන්න එවිට ඔබට සන්සුන්ව විවාහ රැකගෙන යා හැක. තවද ලෙඩ රෝග වලට, මෙන්ම තමා වටේ කැරකැවෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම කල්පනාවෙන් සිහිබුද්ධියෙන් සන්සුන්ව කරගැනීමට උත්සාහ ගන්න. මොන අඩුපාඩුව වුවත් ඔබ කෙලින් සිටින්න. ජය ගතහැක්කේ පරාජය පසුකළහොත් පමණි. 2023 අප්‍රේල් 22 පසු ලබන ගුරු මාරුව මොන තරම් නරක වුවත් එය ශුභ කරගැනීමට හැකි වේවා ජයම වේවා.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ගුරු 7 වන රාශිය, මේෂ රාශියට පැමිණෙයි. 7 වැන්න විවාහය පෙන්වන ස්ථානයයි. මෙය විවාහ ජීවිත ගතකරන අයට විශේෂයෙන්ම කිවයුත්තේ විවාහ ජීවිතය ආරක්‍ෂා කරගනිමින් සන්සුන්ව විවාහ ජීවිතය ගෙනයා යුතුයි. එමෙන්ම ආදර සම්බන්ධතා ගෙන යන අයගේ නොයෙක් හේතු මුල්කරගෙන මෙම සම්බන්ධකම් බිඳී යයි. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවනි මේ කාලයේ ආදර සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් වළකින්න. තවද විවාහ වීමට සිටින අයගේ විවාහය කල්යන්න පුළුවනි. මෙම විවාහයනුත් ජූලි, අගෝස්තු වලින් පසුව යෙදෙනවානම් ශුභ බවක් නාඩි සිද්ධාන්ත වලට අනුව පෙනී යයි.

තවද රැකියාවන් සම්බන්ධව ද ඔබ ගන්නා වූ යම් යම් තීන්දු තීරණ සම්බන්ධව ද කල්පනාකාරි විය යුතුයි. අධ්‍යාපනයේ යෙදී සිටින දරුවනි, උත්සාහය, උනන්දුව ඔබට මේ කාලයේ ඕනාවටත් වඩා තිබිය යුතුයි. එම නිසා බලන්න විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ අපේක්‍ෂාවන් බාධ මැද්දේ වුවත් ඉටුකර ගැනීමට පුළුවන් බව. ඔබේ 5 වන රාශියේ ශනි ගමන් කිරීම ඔබේ ඉගෙනීමට එක්තරා ආකාරයේ රුකුලක් ලබාදෙයි. එම නිසා සියල්ලම හොඳින් කරන්නට උත්සාහ ගන්න. ලෙඩ රෝග සම්බන්ධයෙන් නම් නිධන් ගත රෝග, දියවැඩියාව, කොඳුනාරටිය සම්බන්ධ රෝගවලින් මෙන්ම මුත්‍රා සම්බන්ධව ද බඩ සම්බන්ධ රෝගවලින්ද ප්‍රවේශම් වන්න. මොන මොන ලෙඩ රෝගය මේ අවස්ථාවේ හැදුනත් ඒ සැම ලෙඩකටම නිසි ප්‍රතිකාර ලබාගත යුතුම කාලයති. ලිංග රෝග වලින් විශේෂයෙන්ම ප්‍රවේශම් වන්න. බොහෝ දේ ඔබේ වාසියට සිදුවිය හැකි කාලයකි. සිතේ ප්‍රීතිය ඇතිවේ. ඉඩම් මිලදී ගැනීමට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහයක් ගන්න. නව මං සොයාන කාලයකි. විදේශගතව ඉන්නා අයට මේ කාලයේ බොහෝ වාසිදායක ලාභ ලැබෙන කාලයකි. ලංකාවට පැමිණෙන්නට අවස්ථාව උදාවෙයි. විවාහය ස්ථිර වෙයි. විවාහයට සුදුසු අය ලැබේවි. හැබැයි වංචාකාරයන්ගෙන් ප්‍රවේශම් වන්න. හේතුව ඔබට නොදැනිම ඔබ රැවටෙන්නට පුළුවනි. ජය ලබගත හැක. එමෙන්ම ජීවිතයට මුහුණ දෙන්නටත් ජයක් ශක්තියක් ලැබේ. ඔබට ජය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ගෙ ගුරු මාරුව 2023 අප්‍රේප් 22 වනදා සිදුවන්නේ 6 වැන්න වූ මේෂ රාශියටයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ඇත්තෙන්ම ප්‍රවේශම් විය යුතු කාලයකි. එමෙන්ම කරන කියන දේ පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුයි. එසේ නොවුනොත් පවුල් ජීවිතය තුළ නොයෙක් ආකාරයෙන් කරදර ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. සියලුම දේ ඉවසීමෙන් විඳ දරාගත හැකි නම් බොහෝ ප්‍රශ්න අඩුවී යයි. ආදර බන්ධන වලටද ගැටලු ඇතිවේ. අධ්‍යාපනය ලබන පුංචි දරුවන්ගේ ප්‍රේම සම්බන්ධකම් වෘශ්චික ලග්න හිමියන්ගේ අනුමත නොකරයි. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවනි, බාධාගෙන ආවත් හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනීමට පුළුවනි. එම නිසා පුළුවන් තරම් හොඳින් තමාගේ කටයුතු සාර්ථක කරගන්න. මිල මුදල් හා ව්‍යාපාර ලාභ සොයන්නට ක්‍රම ඔබට ලැබේවි. අලුත් ව්‍යාපාරවලට අතගසන්නට ලැබේවි. නමුත් පාඩුද විඳින්නට සිදුවෙයි. බලන්න හැම දෙයක්ම කරන්නට පෙර ඔබට පාඩුවක් වේ නම් අත හරින්න.

ඔබ ස්ථාන මාරුවක් බලාගෙන ඉන්නව නම් බොහෝ විට එය සාර්ථක වෙන්නට පුළුවනි. ඉන්න තැනින් පිටවී යන්නට උත්සාහ ගන්නා කාලයකි. සියලුම දේ ස්වල්ප වශයෙන් මිස වැඩි වශයෙන් නොලැබෙන නිසා සියලුම දේ කල්පනාවෙන් සිද්ධ කරගන්න. ශරීර සෞඛ්‍යට ද ශුභ කාලයක් නොවේ. විපත්තියක් අසන්නට දකින්නටත් පුළුවනි. දණහිස් වල කකුල්වල ආබාධ ඇති වෙන්නටත් පුළුවනි. අවාසනාවන්ත කම් කිහිපයකට මුහුණ දෙන්නට සිදුවෙයි. මේ කාලයේ නීතියේ පිහිට පතන්නට උත්සාහ නොගන්න. විශේෂයෙන් විවාහ වූ අය වෙන් වෙන්නට උසාවියට නොයන්න. මන්ද වෘශ්චික ලග්න හිමියන්ගේ දරුවන්ටත් මේ කාලය අපලදායකයි. එම නිසා පුළුවන් තරම් කල්පනාවෙන් 2024 තෙක් ඉන්න. එමෙන්ම කිසිම දෙයක් අවතක්සේරුවට නොගන්න. හදිසි අනතුරු ලෙඩ රෝග ආදියෙන් පරිස්සම් වෙලා ඉන්න උත්සාහ ගන්න. ඔබට ජයෙන් ජය වේවා.

ධනු ලග්නය

ධනු ලග්න හිමිය්නගේ ගුරු ලග්නාධිපති වෙයි. මෙම ගුරු පැමිණෙන්නෙ ඔබේ කේන්දරයේ 5 වන රාශිය වන මේෂ රාශියට. මෙම මේෂ රාශියට පැමිණ ගුරුගෙන් ඉතාම වාසනාවන්ත දෙයක් නම් සිද්ධ වෙනවා. එනම් මෙතෙක් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසිදායකයි. සුළු සුළු වශයෙන් ඔබ විසින්ම කළයුතු පළිවෙත් ටිකක් කරගැනීමට තිබෙන අතර විවාහය මෙතෙක් ප්‍රමාද වූ අයටද සාර්ථක ගමනකට අඩිතාලම වැටෙන කාලයක් උදාවෙයි. ඇත්තෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට තම ඉදිරි ගමන සාර්ථක කරගැනීමට හොඳම අවස්ථාව. එමෙන්ම විදේශ ගතවන අයටද ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වන කාලයකි. විදේශ රටක සිටින ශ්‍රී ලාංකිකයන්ටද මංගල සීනු හැඬවෙයි. නව බලාපොරොත්තු ඇතිවෙයි. නව නිවාස කටයුතුවලට අතගසන්නට ඉඩම් වාහන මිලදී ගැනීමට හොඳම අවස්ථාවකි. පුළුවන් තරම් වාසනාව උරගා බලන්න. ජයක් ලැබේවි. ධනු ලග්නයෙන් උපන් ඔබේ රැකියා තත්ත්වය බැලුවහොත් මේ කාලයේ ලොකු හොඳකුත් ලොකු නරකකුත් නැත. නමුත් කරදරයක් නැත. බලාපොරොත්තු වූ අදහස් අනුන් සමඟ වූ පොරොන්දු ගිවිසුම් සාර්ථක වෙයි. පහසුවෙන් කිසිම කරදරයක් නැතුව සියලුම දේ විසඳා ගැනීමට කරුණු යෙදේ. එබැවින් නිරෝගිකමත් මේ කාලයේ පවතියි. නමුත් බඩේ අසනීප මෙන්ම බඩේ ගල් වැනි රෝග ඇතිවිය හැක. දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා බෝධි පූජාවක් වැනි ශාන්ති කර්මයක් පවත්වා වාසනාවන්ත පිරිමි දරුවෙක් බලාපොරොත්තු වන්න. අනාගතය සම්බන්ධවද තීන්දු තීරණ ගන්නට අවස්ථාවක් උදාවෙයි. අලුත් ඇඳුම් පැලඳුම් ලැබේ. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. එය විදේශගත වීමක් විය හැක. සියලුම දේ උත්සාහයෙන් ගෙනයා යුතු බැවින් වාසනාවත් මෙයට බලපාන අවස්ථාද පවතියි. කෙසේ හෝ ඔබට ජයෙන් ජයම වේවා.

මකර ලග්නය

මකර ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදුවන්නෙ 4 වැන්න වූ මේෂ රාශියටයි. හතරවැන්න අයත් වන්නේ තමාගේ හිත තම නිවස, තම මව ආදියටයි. ඉතිං මෙතනදී ප්‍රධානම පහර එල්ල වෙන්නෙ එවැනි දේට නිසා මෙම ගුරු මාරුව මකර ලග්න හිමියන්ට ශුභ ඵල මෙන්ම අශුභ ඵල ගෙනඒමටත් හේතුවක් වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට යමක් පැවසිය යුතුයි. එනම් ඔබ මේ කාලයේ මන්දගාමී විය හැක. අවුරුදු 7 1/2 ක ලග්න ඒරාෂ්ටකයක් ගෙවන බවත් ඇත්ත. නමුත් මෙන්න අවස්ථාව ඔබේ හැකියාව අන් අයට පෙන්වීමට. අන් අයට පමණක් නොවේ ලෝකයට පෙන්වන්න අවස්ථාව පවතිනවා. අලුත් පාසල්, විදේශ ගමන් බිමන් සියල්ලම ළඟාකරගත හැක. ස්ථානයේ හෝ ඔබ මෙතෙක් කරගෙන ආ කටයුතුවල වෙනසක් ඇතිවෙයි. ආදායම් මාර්ග විවිධ අයුරින් යෙදේ. සමහර විට ආදායමේ උස්පහත් වීමක් මේ කාලයේ ඇතිවෙයි. තමා හැර අන් අය කෙරේ වැඩි විශ්වාසයක් තබන්න උත්සාහ නොකරන්න. ගමන් බිමන් වලදී මෙන්ම වාහන වලදීද කල්පනාකාරී වන්න. තවත් කිවයුතු කරුණක් ඇත. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුව සිටින කෙනෙක් නම් ඔබේ විවාහය යෝජානවක් මත සිදුවන්නේ නම් කල්පනාකාරී වන්න. එමෙන්ම පාසල් යන අය ආදර සම්බන්ධතා ඇතිකරගෙන අහිංසක ජීවිත විනාශ නොකර ගන්නට උත්සාහ ගන්න. විවාහය තරමක් ප්‍රමාද වූවාට කම් නැත. හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුම කාලයකි. ඉඩම් මිලදී ගැනීමටත්, ගොඩනැගිලි වැඩටත් මේ කාලයේ ශුභදායකයි. හැබැයි මේ කාලයේ ශනි දෙවැන්නෙ ගමන් කරන නිසා නින්දා අපහාස වලින් ප්‍රවේශම් වන්න. සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇතිවන කාලයකි. ඥාතීන් සමඟ ආශ්‍රයෙන්ද පරිස්සම් වන්න. දේපළ පිළිබඳවද පැටලිලි ඇතිවේ. ලෙඩ රෝග වලින්ද ප්‍රවේශම් විය යුතු කාලයකි. විශේෂයෙන් මුත්‍රා ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. නිධන්ගත රෝග මතු වෙන්නට ද ඉඩ තිබේ. අත් පා වල දෝෂ ද ඇතිවිය හැක. කෙසේ හෝ මේ කාලයේ හොඳ නරක දෙකම මත තම ජීවිතය රඳා පවතියි. එබැවින් කල්පනාවෙන් තම සියලුම කටයුතු වල යෙදෙන්න. අනිත් පැත්තෙන් ආගමික කටයුතු වලද යෙදෙන්න ඔබට ජයෙන් ජයම වේවා.

කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ගේ 3 වැන්න වූ මේෂ රාශියටයි ගුරු පැමිණියේ. ගුරු 3 ට එතරම් ශුභදායකය නොවේ. මෙම අශුභ බව අධ්‍යාපනය ලබන දරුවන්ට විය නොහැක. මන්ද සියල්ල සිදුවන්නේ ඔබේ උත්සාහය මතයි. දරුවනි ඔබට කිවයුතු යමක් ඇත. එනම් මෙය පොදු පලාඵල කථනයකි. ඔබට මම පවසන දේ නොවන්න පුළුවනි. ඔබේ කේන්දර පිහිටීම මතයි සියල්ලම සිදුවන්නෙ. ඉතිං කල්පනාවෙන් ඔබේ අධ්‍යාපන කටයුතු වල යෙදෙනේන. විදේශ ගමන් බිමන් වලට ද ඔබේ රැකියාව කරන ස්ථානයේද කරදර ද, ඔබට රැකියාව එපා වන තරමට ගැටලුද ඇතිවිය හැක. ඔබට නව රැකියා මාර්ග ඇතිවෙයි. නමුත් මොන ස්ථානයට ගියත් ඔබ කල්පනාවෙන් තීන්දු තීරණ ගත යුත්තේ. මොකද ඔබේ තත්ත්වය පහල වැටීමට පුළුවනි. අනුමානයට කරන කටයුතු වලින් පරිස්සම් වන්න. සෑම දෙයකටම පාඩුද ප්‍රමාද වීම්ද යෙදෙන්නට පුළුවනි. මේ කාලයේ ප්‍රයෝජනයක් නොලැබෙන දෙයට මහන්සි වෙන්න සිදුවෙයි. චෝදනා අපවාද අසන්නට පුළුවනි. මනස නිරවුල් නැති කාලයකි. පවුලේ අයගෙන්ද ලේ ඥාතීන්ගෙන්ද, ආශ්‍රය කරන අයගෙන්ද පරිස්සම් වන්න. කෙසේ හෝ පොදු වශයෙන් කියන්න ඇත්තෙ ඔබට මේ කාලය ඔබ හිතන තරම් ශුභ නොවන බවයි. ලෙඩ රෝග වලට හේතු කාරණා තිබේ. හිතේ සන්සුන්ගතිය හිසේ අමාරු ඇති කිරීමට ඉවහල් වෙයි. මුදල් අතේ රැඳන්නෙ නැති කාලයකි. සෑම විටම ලැබෙන දේ මදි බවක් සමහරවිට ණය වීමටත් සිදුවේ. අන්අයගේ මුදල් හෝ වියදම් කරන්නට සිදුවෙයි. අහක යන කරදර පවා තමාගේ කරගන්නට ගොස් දුක්විඳින්නටද සිදුවෙයි. ඔබ ගෙවන්නෙ පොදුවේ ලග්න ඒරාෂ්ටකයකි. එයත් බලපානවා. අනික 22 වන දෙර්කාණාධිපති ගුරු නම් ඔබට එයත් ශුභඵල නොවේ. එමෙන්ම 64 වන නවාංශකාධිපති ගුරු නම් එයත් ශුභඵල දෙන්නෙ නැත. එම නිසා මේ සියලුම දේ පොදුවේ දුන් පලාඵල කථනයකි. එම නිසා ආගමික වතාවත් වල යෙදෙන්න. පින් අතේ වැඩ බහුලව කරන්න. මොන දේ මොන ප්‍රශ්න ආවත් නොබියව මුහුණ දෙන්න ශක්තිය ගන්න ඔබට ජයෙන් ජය.

මීන ලග්නය

මීන ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදුවන්නෙ 2 වැන්න වූ මේෂ රාශියටයි. මෙය සිදුවන්නෙ අප්‍රේල් 22 දාටය. ගුරු දැනටමත් මීන රාශියේ ඉන්නෙ. තවමත් මීන ලග්න හිමියන් ප්‍රමාද නැත ජීවිතය ගොඩදාගන්න. ගුරුට දෙවැන්නත් නරකම නෑ. ඔබ මෙතෙක් කරගෙන ආ සියලුම කටයුතු තවදුරටත් කරගෙන යෑමේ හැකියාව පවතියි. එමෙන්ම කීර්තිය ප්‍රසංසාව ඔබ කරාම පැමිණෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඥානය පහල වෙයි. පෙරට වඩා පත පොත කෙරේ ඇල්මක් ඇතිවෙයි. වාසනාවන්ත කාලයකි. සැපවත් කාලය, විදේශ ගමන් බිමන් පවා යෙදෙන කාලයකි. මෙය අධ්‍යාපන කටයුතු වලට පමණක් නොවේ සියලුම කටයුතු වලට ශුභයි. ගරුනම්බුද ලැබෙන කාලයකි. උත්සව වලට සහභාගි වෙන්නට අවස්ථාව උදාවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. විවාහය මෙතෙක් ප්‍රමාද වූ අයට මංගල සීනු හැඬවෙන වර්ෂයකි. එමෙන්ම නිසි වයසේ සිටින අයට ද දෙමාපිය ආශිර්වාද ලැබෙන කාලයකි. වාසනාවන්ත දරුවන් ලැබෙන කාලයකි. තවද මේ කාලයේ ශුද්ධ භූමි වලට යෑමට අවස්ථාවද උදාවෙයි. හැබැයි මේ කාලයේ නරක ආශ්‍රයෙන් මෙන්ම නරක වැඩවලින් මුදල් සොයන්නට උත්සාහ නොකරන්න. අසනීප විදිහට ඇස්වල, දත්වල, බෙල්ල ආදිය සම්බන්ධයෙන් පරිස්සම් වන්න. විශේෂයෙන්ම පොදුවේ ගත්තොත් ශුභයි. හැබැයි මෙයත් පොදු කේන්දර විස්තරයකි. මෙය හරියටම බැලිය හැක්කේ ඔබේ කේන්ද්‍ර සටහන මතයි. එම නිසා මෙයත් බොහෝ දුරට නිවැරදියි. පෙර තිබුණු ශක්තිය, ධෛර්යය දිගින් දිගටම පවත්වාගෙන යන්න. රැකී රක්‍ෂා මෙන්ම ගරු නම්බුවද ලැබෙන කාලයක් බැවින් සියලුම දේ හොඳ විදිහට සිදුවෙයි. 22 වන දෙර්කාණාධිපති ගුරු නම් හෝ 64 වන නවාංශකාධිපති වන ගුරුනම් ඉහත කී පලාඵල වල වෙනසක් ඇතිවෙනවාමයි. එමෙන්ම එවැනි අයගේ ගුරු මහ දශාව ලබා ඇති අයටද ශුභ ඵල උදානොවේ. නමුත් නාඩි සිද්ධාන්තවලට අනුව ඔබ මොන දේ කළත් පහලටම බින්දුවටම ඔබව ඇඳ දමන්නේ නැත. ඔබට ජයෙන් ජය.

නාඩි සිද්ධාන්තවලට අනුව සිදුවන ගුරුමාරුවේ පලාඵල මෙන්න
නාඩි ජ්‍යොතිෂවේදී
ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක
0715723434 – 0777901702
advertistmentadvertistment
advertistmentadvertistment