ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ගිය පාරේ එංගලන්තයත් යයි

10358

ලෝක ශූරයන් ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු පෙරේදා (04 වැනිදා ) රාත්‍රී අහමදාබාද් හිදී සුන්ව ගියේය. එනම් ඔවුන්ට මෙවර අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව එදින අහිමිව ගියේය. පෙරේදා ඔස්ටේ්‍රලියාව හමුවේ ලද පරාජය ද සමග ඔවුන් තරග 7ක් තුළදී පරාජයන් 6 ක් ලබා ගෙන තිබුණි. ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණි. ඒ අනුව තරගාවලියේ ඔවුන්ට ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කළ ද එංගලන්ත කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 න් නවතී. එය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කෙසේ වෙතත් එළඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියටවත් ප්‍රමාණවත් වේදැයි දැන්ම කිව නොහැක.

එංගලන්තයේ මේ කඩාවැටීම හමුවේ වසර 24 ක් ආපස්සට ක්‍රිකට් මතක දිග හැරේ. ශ්‍රී ලංකා කණ්ඩායමට 1999 ලෝක කුසලාන තරගාවලියේ දී අත් වූයේ ද මෙවැනි ඉරණමකි. 1996 ලෝක ශූරයන් ලෙස 1999 තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම එනම් ලීග් වටයෙන්ම එවර ඉවතට ගියේ ද මෙවර එංගලන්තය ආපසු හැරී යන ආකාරයටමය. එවර තරගාවලිය කණ්ඩායම් 12 කින් යුතු තරගාවලියක් වූ අතර දෙවෙනි වටය හෙවත් සුපිරි 6 වටයට කණ්ඩායමක් 6 ක් තෝරා ගැනුණි. අනතුරුව සුපිරි 6 වටයේ පළමු හතර අතරේ සිට අවසන් පූර්ව තරග සඳහා යා යුතුව තිබුණි. සිම්බාබ්වේ ද සුපිරි 6 වටයට ගිය මුත් ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසි වී ගියේය.

1999 වසරේ එංගලන්තයේ පැවති එවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ලෝක ශූර ශ්‍රී ලංකාවට සත්කාරක එංගලන්තය සමග යෙදී තිබුණි. මෙවරද එංගලන්තය ලෝක ශූරයන් ලෙස එක් පැත්තකින් පළමු තරගයට එක් වූ අතර අනුශූර නවසීලන්තය අනෙක් පසින් තරගයට පැමිණියේය. ලෝක ශූර ශ්‍රී ලංකාව පළමු තරගයේදීම 1999 දී පැරදුණා මෙන් ලෝක ශූර එංගලන්තය ද මෙවර පළමු තරගයෙන් ම පැරදිණි. ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව එවර ජයග්‍රහණය කළේ එවකට දුර්වල කණ්ඩායම් ලෙස සැලකුණු කෙන්යාවට සහ සිම්බාබ්වේ ට එරෙහිව පමණි. පළමු තරගයේදී එංගලන්තය හමුවේ ලද පරාජයට අමතරව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ ද පරාජය විය. සුපිරි 6 වටයේ බලාපොරොත්තු ගිලිහී ගියේය. එංගලන්තය ද මේ වන විට මෙවර ජයග්‍රහණය කර තිබෙන්නේ බංග්ලාදේශයට එරෙහිව පමණි. ඇෆ්ගනිස්තානය හමුවේ ද පරාජය විය. එමෙන්ම තවමත් තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ඇති ශ්‍රී ලංකාවට ද ඔවුන් පරාජය වූයේය.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශූරයන් ලෙස ඉදිරි තරගාවලියට එක්වූ කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය හැරෙන්නට පළමු වටයෙන්ම ඉවතට ගිය අනෙක් එකම කණ්ඩායම වන්නේ ඔස්ටේ්‍රලියාව පමණි. 1987 ලෝක ශූරයන් ලෙස 1992 තරගාවලියට පැමිණි ඔස්ටේ්‍රලියාව එවර පළමු වටයෙන්ම ඉවතට ගියේය. පකිස්තානය ලෝක කුසලාන දිනුවේය.

1999 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, රොමේෂ් කළුවිතාරණ, මාවන් අතපත්තු ආදී ක්‍රීඩකයෝ එක්ව සිටියහ.
කුෂාන් සුබසිංහ- දිල්ලි හි අරූන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment