ජිනීවා ලොක්කිට හිසරදයක් වූ සිවු බුදුවරුන්ට පිදූ කන්නියා මහා චේතිය

370

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට යන සංචාරකයන්ගේ ජනප‍්‍රිය ස්මාරකයක් වන කන්නියා උණු දිය උල්පත් සහිත ස්ථානය ආසන්නයේ ඉපැරණි බෝධි වෘක්ෂය සමීපයේ 2012 වර්ෂයේ කැණීමක් ආරම්භ වුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබූ මෙම කැණීම නිසා ඉතා විශ්ම ජනකව ස්මාරකයක් මතු කරගත හැකි විය. එනම් පැරණී ස්ථූපයක් සහ පිළිම ගෙයක් සම්මුඛ වීමයි. මෙතෙක් උණු වතුර ළිං සහ ඒ හා සම්බන්ධ වෙනත් ජනප‍්‍රවාද ඔස්සේ වැදගත් වූ මේ ස්ථානයට මේ කැණීම නිසා වෙනත් වටිනාකමක් හිමි විය. මේ උණු වතුර ළිං සඳහා කන්නියා නාමය ව්‍යවහාර කරනුයේ රාවනා සම්බන්ධ පුරාවෘතයකට අනුවයි. රාවනා රජුගේ මෑණීයන්ට ඇති වූ කුෂ්ට රෝගයක් සුව කිරීමට සමත් වූයේ මේ උණුදියෙන් ස්නානය කිරීමේ හේතුවෙන් බව ප‍්‍රවාද ගතව තිබේ.

රාවනාට සතුරු වූ හින්දූන් සම්ප‍්‍රදායන් දෙකක් අනුගමනය කරති. එකක් ශිව සම්ප‍්‍රදායයි. අනෙක විෂ්ණු සම්ප‍්‍රදායයි. රාවනා යුගයේ තිබුණේ ශිව විෂ්ණු ගැටීමකි. රාවනාට සහාය පළ කරන ලද්දේ ශිව පාර්ශ්වයයි. රාවනා ගේ දුන්න බිඳිණු ලැබීම මගින් සංකේතවත් කරනුයේ විෂ්ණු සම්ප‍්‍රදාය ජයගත් ආකාරයයි. සමස්ත ඉන්දියාව තුළ සමරනු ලබන දුශේරා උත්සවය සැබවින්ම දුර්ගා පූජෝත්සවයකි. අධර්මයට විරුද්ධව කරන මේ උත්සවය තුළ රාවනා ගේ මුහුණට ගිනි දල්වන ලද ඊතලයකින් විඳීමෙන් ප‍්‍රකාශ කරනුයේ අධර්මය පරදා ධර්මය ජයගත් ආකාරය බව හින්දූන්ගේ විශ්වාසයයි. මේ ආකාරයට කල්පනා කොට බලන කල්හි දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් රාවනාට විරුද්ධය, රාමට පක්ෂය.

කන්නියා උණු දිය උල්පත්වල වාර්ෂිකව කරන පුද පූජා මගින් රාවනා සිහිපත් කරති. හින්දු පූජෝත්සවයක් ලෙසට පවත්වන නමුදු ඒවා සංවිධානය කරනු ලබනුයේ දෙමළ ජනතාව විසිනි. එයින් ඉස්මතු කරලීමට උත්සාහ දරන්නේ දෙමළ ජනතාව රාවනා යුගයේ උරුමකරුවන් ලෙසටය. ඉහත දක්වන ලද කරුණු සලකා බලන කල්හි දෙමළ ජනතාව විසින් රාවනා සැමරීම පටලැවිල්ලකි. මේ පටලැවිල්ල ලිහා බලන කල්හි තහවුරු වන්නේ රාවනාට විරුද්ධ දෙමළුන්ගේ උත්සවයකට වඩා එය ස්වදේශික අසුරයන්ගේ උත්සවයක් බවයි. කන්නියා උණු දිය ළිංවල සිට ත‍්‍රිකුණාමලයේ වර්තමාන කෝනේශ්වරන් කොවිලට ඇත්තේ කි. මී. පහක පමණ දුරකි. පුරාණ ගෝකණ්න විහාරය පරංගීන් විසින් කඩා දැමූ පසු ඒ නටබුන් මත 1953 දී පමණ වර්තමාන කෝවිල ඉදිකළ බව දැක්වෙයි. ඒ ෆෙඩරල් පක්ෂයට ත‍්‍රිකුණමල නගර සභාවේ බලය ලැබී තිබුණු කාල වකවානුවේ දීය. ගෝකණ්න විහාරයේ ඉතිරිව තිබූ නටබුන්ද මුහුදට ඇද දමා බෝධි වෘක්ෂය කපා දමා මේ කෝවිල ඉදිකර ඇත. කන්නියා උණු වතුර ළිං අසල ශිව කෝවිලක් ඉදිවන්නේද මේ කාලයේ විය යුතුයි. දකුණු ඉන්දියාවේ රාමේශ්වරමේ කන්‍යා කුමාරි තුඩුවේ පවත්වන චාරිත‍්‍රයන් උණුදිය උල්පත් අසල පවත්වන්නට යෙදී ඇත්තේ ද මේ සමයේ විය යුතුය. කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් හමු වූ චෛත්‍ය පාදම් මතු කර ගෙන යන අවස්ථාවේ දී දෙමළ දේශපාලනඥයකු විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් පවරනු ලැබීය. එවකට සිටි දිසාපතිවරයා මෙහිදී මැදිහත්ව කැණීම නතර කරන ලදී. කාලයක් ඇදී ගිය නඩුවට තීන්දුවක් ලැබුණේ 2020 දීය. ස්ථූපය මස්තකයේ ඉදිකොට තිබෙන කෝවිල ඉවත් කරගන්නට ඒ අනුව සිදු විය. නමුත් ඒ අසළ නටබුන් යට කරගෙන නැඟී සිටින තවත් ශිව දේවාලයක් වෙයි.

ජිනීවා ලොක්කිට හිසරදයක් වූ සිවු බුදුවරුන්ට පිදූ කන්නියා මහා චේතිය

ලංකාවේ ස්ථූප නිර්මාණයේ ඉතිහාසය බුදු රදුන්ගේ ලංකාගමනය කාලය දක්වාම දිව යන ආකාරය අපට ඉතිහාසයෙන් පැහැදිලි වේ. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයන් විසින් ඉදි කළ හිරිගඬු සෑය මෙයට සාක්ෂි සපයයි. මානෑවේ විමලරතන හිමියන් දක්වන පරිදි බුදුන් වහන්සේ මානෑකන්දට වැඩම කළ අවස්ථාවේ දී එහි මස්තකයේ විෂකුම්භ නම් ආකාශ චේතියක් නිර්මාණය විය. මයියංගන ස්ථූපයද බුදුන් වහන්සේ ජීවමාන අවදියේ නිර්මාණය කරන ලද්දකි. අම්බස්ථල දාගැබ සහ ථූපාරාම චේතිය මහින්දාගමනයෙන් පසුව ඉදිකරන ලද ප‍්‍රමුඛ ස්ථූපයන් වෙති. ස්ථූප යනු සංස්කෘත වචනයකි, චේතිය පෙළ බසෙහි එයි. තුඹ යනු සිංහල වචනයයි.

ස්ථූප නිර්මාණයේ දී ලංකාව පුරා විවිධ හැඩයෙන් යුක්තව ස්ථූපයන් නිර්මාණය වී ඇත. ධාන්‍යාකාර පද්මාකර ඝඨාකාර ඝාණ්ඨාකාර බුබ්බුලාකාර ආදී වශයෙන් හමුවන විවිධ නිර්මාණයන් ලංකා ඉතිහාසයේ නොයෙකුත් අවදිවල දකින්නට ඇත. බුද්ධ ප‍්‍රත්‍යෙක අරහන්ත චක‍්‍රවර්තී සහ මහාරාජ යන සතර කොට්ඨාශයන්ටම අයත් ශාරීරික ධාතු නිධන් කොට ස්ථූපයන් නිම කිරීම වඩාත් සුදුසු බව මහා පාරිනිබ්බාන සූත‍්‍රයේ බුදුන් වහන්සේ දක්වා තිබේ. මෙලෙස ධාතු නිධන් කොට නිර්මාණය කරන ලද ස්ථූපයන් ඉතිහාසයේ වරින් වර වෙනස් කම්වලට භාජනය විය. වාස්තු විද්‍යා හැඩ තලයන් වෙනස් විය. විශේෂයෙන්ම පැරණි සිරිපතුල් වන්දනාව මෙහිදී ස්ථූපයන් වෙත පැමිණි ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ස්ථූපයක සතර කොණ තුළ සිරිපතුල් ගල් තැන්පත් කිරීම මෙහි සම්ප‍්‍රදායයි. ත‍්‍රිකුණාමලයේ කන්නියා චේතිය අසල අප දක්නට ලැබෙන්නේ මෙකී ස්වරූපයයි. කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප සහ ගෞතම යන සිවු බුදුවරුන් වහන්සේලා නිරූපනය වන ලෙසට නිර්මාණය වූ මෙම චෛත්‍ය නිර්මාණ උතුරුකරයේ සහ නැගෙනහිර අපට දක්නට හැකිය.

කන්නියා ස්ථූපය අවට පිළිමගෙයක නටබුන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතු කරගෙන තිබේ. මෙම පිළිම ගෙය කැණීමකට ලක් කිරීමේදී දෙවනි සහ තුන්වන සියවස්වලට අයත් බ‍්‍රාහ්මී අක්ෂරයන්ගෙන් රචිත සෙල් ලිපි කැබලි දෙකක් මතු කරනෙ තිබේ. මහරජ කුජවිය ‘…මරුළවිය හ බොජියපති…හ…ච පලවිය (ම) ත චෙත එතක තනහි සගය දිනි (අභිලේඛන පර්යේෂණ සංග්රේහය 2018) යනුවෙන් එම ලිපියේ සඳහන් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පල කරනු ලැබූ අචාර්ය දම්මි බණ්ඩාර විසින් රචිත සඟරාවක දක්වා තිබේ. මරුළවිය හා පලවිය යන වැව්වලින් ලැබූ දිය බද්ද මෙම බෞද්ධ විහාරයට පූජා කළ බව මෙහි කියැවෙන අර්ථයයි. චෙත්‍ය සහ පිළිමගෙය කැණීමේ දී හමු වූ පුරාවස්තු අතර ආසන යූප ගල් ප‍්‍රතිමා කොටස් මැටි බඳුන් දක්නට ලැබේ. මෙම භූමියේ ඇති පොකුණු කීපයද ආරාම සංකීර්ණයේ වැදගත් වාස්තු විද්‍යාත්මක ප‍්‍රවේශයන් වෙති. සැබවින්ම මේසා විශාල බෞද්ධ ඉතිහාසයක් මතු කරගෙන තිබියදීත් මේ ස්ථානයේ ශිව කෝවිල් සහ වෙනත් දේ ඇටවීමෙන් සහ ඒ අයිතිය සඳහා නීතිමගට එළඹීම වර්තමාන දේශපලනයේ පවතින ඛේදවාචකයක් ලෙසට පෙන්වා දිය හැකිය. ඒ මතුද නොව දෙමළ කෝවිල් මත බෞද්ධ විහාර ඉදි කරන්නේ යැයි ජිනීවා මානව හිමිකම් සැසියට පවා වාර්තා සපයන අපූර්ව මෙහෙයුමක් බවට පත්ව තිබේ. මෙහි තිබෙන ඛේදවාචකය නම් වැරදි පුරාවෘතයන් මවා පෑමය. අනෙක නම් එම පුරාවෘත්ත තුළ දේශපාලන සහ බලහත්කාරී නීතිමය රංගන ඉදිරිපත් කිරීමයි. නමුත් ආණ්ඩුව පැත්තෙන් මේ කෙප්පවලට නිසි පිළිතුරු තවමත් නොලැබේ. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයට බඳුන් කරන මේ ස්ථානයේ වැදගත් ඉතිහාස කොටස් නුදුරු අනාගතයේම අපට මැනවින් දැක බලා ගැනීමට හැකි වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment