හේන් යායක් ගමක් බවට හැරවූ මිනිහෙක්

1490

එදා ගමටම තිබුණෙ වාඩි 13 යි

අද පවුල් 1800 ක් පදිංචියි

අපි දහතුන්දෙනෙක් ආව. එදා මේ පළාත රූස්ස වනාන්තරයක්

දිනය 70 දශකය ආරම්භ වී වසර දෙකක් ඉක්ම ගිය පසු එළැඹි එක්තරා උදෑසනයක්ය. එදින දකුණු ලක කටුවන තෙල්වත්ත ප්‍රදේශයේ උපන් තරුණයන් පිරිසක් තම උපන් ගම්බිම් අතැර එක්තරා තීරණාත්මක ගමනක් පිණිස පියවර තබන ලද දිනයක් විය. ඔවුන් එම ගමන පිටත්ව යන්නේ පෙරදා රැයේ ගමේ විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කොට අවසර ලබා ගැනීමෙන් අනතුරුවය. දින කීපයකට ප්‍රමාණවත් ධාන්‍ය වර්ග කීපයක්, ඇඳුම් කඩමලු කීපයක් සහ මහපොළොව සමඟ ඔට්ටු වීම පිණිස හොඳින් මුවහත් කරන ලද කැති, උදළු මන්නාපිහි කීපයක් හැරෙන්නට ඔවුන්ගේ ගමන් මලු තුළ වෙනත් වටිනා කියන කිසිවක් නොවූහ.

එදා ජීවිතය සොයා මගට බට ඔවුහු තම උපන් ගම්බිම් වලින් සැතපුම් හතළිස් පහක් පනහක් දුර පා ගමනින් ඇවිද ගොස් එක්තරා ස්ථානයක් තම ගමනාත්නය බවට පත්කරගෙන ඇත. එකල එම භූමිය රූස්ස ගස්වැල් ආදියෙන් සමන්විත මහ වනාන්තරයක්ය. අධික දුෂ්කරතා මැද කලක් වනගත ජීවිතයක් ගතකරන එම තරුණ පිරිස කල්යත්ම එම රූස්ස වනාන්තරය අස්වද්දනු ලබන්නේ එක්සිත්ව, එක්සත්ව හෙළන ලද දහදිය මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසය. එපමණක් නොව මේ වනවිට එම ප්‍රදේශය අංග සම්පූර්ණ ගම්මානයක් බවට පත්ව ඇත.

එතෙක් මෙතෙක් ගතවූ වසර 50ක කාලය තුළ සිදු වූ සමාජ පරිවර්තනය මානව පිළිඹිබු කරන සමාජ කැඩපතක් බඳු ඒ කතාව පැවසීම පිණිස අද ඉතිරිව ඇත්තේ පීරිස් මාමා ඇතුළු තවත් දෙදෙනෙක් පමණය.

“ඒ කාලෙ අපි ගජ ඉලන්දාරි. බය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. ගමේ ජීවත්වුණා කියල හරි හමන් ආදායම් මාර්ගයක් තිබුණේ නෑ. ඔහොම කල්ලි ගැහිල කල්පනා කර කර ඉන්නකොට අපිට ආරංචියක් ආව අපේ ගමේ කීප දෙනෙක් පිට පළාත්වලට ගිහින් ගොවිතැන් කරනව කියලා. මේ ආරංචිය ගැන විපරම් කරල බලද්දී කතාව ඇත්තක්ය කියල අපි දැනගත්තා. ඉලන්දාරි වයසෙ හිටිය අපිත් ඒ පාර තීරණය කළා ගමෙන් පිටවෙලා ගිහින් ගොවිතැනක් බතක් කරල ජීවත්වෙන්න ඕන කියල. අන්න ඒ සිතුවිල්ලෙන් තමයි මහත්තයෝ එදා අපි කීපදෙනෙක් ගමෙන් පිටත්වෙලා මේ පළාතට ආවේ…”

පීරිස් මාමා විසින් “මේ පළාත” යනුවෙන් හැඳින්වූවේ ඇඹිලිපිටිය කිරිඉබ්බන්ආර නුගේගලයාය නමින් හඳුන්වන ප්‍රදේශයටය. මේ වනවිට නුගේගලයාය යනු පවුල් 1800 ක් පමණ පිටත්වන කෘෂිකාර්මික පරිසරයක් සහිත ප්‍රදේශයක්ය. අපගේ කතාබහ සිදුවෙමින් පැවතියේ නුගේගලයාය පිහිටි පීරිස් මාමාට අයත් නිවස තුළය. කලක් ගස උඩ තනාගත් අට්ටාල මත ජීවත්වූ පීරිස් මාමා මේ වනවිට සැප පහසු ජීවිතයක් ගත කරමින් ඇත. නැවතත් පීරිස් මාමාට සවන් දිය යුතුය.

“එදා 1972 වසරේ මා සමඟ තව දොළොස්දෙනෙක් ඒ ගමන පිටත් වුණා. ගමන ආරම්භ කළේ කටුවනින්. එතනින් ඇඹිලිපිටියට. කණ්ඩායමක් හින්ද බොහොම විනෝදයෙන් ඒ ගමන ආව. ඔය කාලෙ වෙනකොට ගස්ඔය, වලවේ ආදි ගොවිජන පද ආදිය ආරම්භ වෙලා තිබුණේ. මොරකැටිය, මව්ආර, කිරිඉබ්බන්ආර වම සහ දකුණ ඔය ආදි වශයෙන් ගොවි ජනපද තිබුණු නමුත් අපට ඒ තැන්වල වගා කටයුතු කරන්න අවසරයක් තිබුනෙ නෑ. ඉතිං අපි කරන්නෙ මොකක්ද අනවසරයෙන් කැලෑව කැපුව. ඒ වනවිට මේ පැත්ත මහා වනාන්තරයකින් වැහිල තිබුනෙ. අලි, කොටි වගවලස්සු මැද්දෙ තමයි මේව එළිපෙහෙළි කළේ. අපිට එදිරිවාදිකම් කරන්න හිටියේ ඒ කට්ටිය පමණයි. නමුත් අපේ ජීවිත වන සතුන්ගෙන් ආරක්‍ෂා කරගන්න ගමන් ටිකෙන් ටික අර මම කිව්ව රූස්ස වනාන්තරයෙන් කොටසක් සුද්ද පවිත්‍ර කරගන්න අපිට පුළුවන්කම ලැබුණා..”

හේන් යායක් ගමක් බවට හැරවූ මිනිහෙක්

එලෙස පැවසූ පීරිස් මාමාගේ මුව තුළ මන්දස්මිතියක් නැගුන ආකාරයක් දැකගත හැකිවිය. ඒ සිනහව තුළ වූවේ අද මෙන් යන්ත්‍ර සූත්‍ර බහුල නොවූ එකල ඔවුන් විසින් දෑතේ වීරියෙන් සිදුකළ හපන්කම් පිළිබඳව වූ යම් සේයාවක්ය. එම අසීරු කටයුත්තේ නිරත වූ ආකාරය පිළිබඳව ඔහුගෙන් විමසීමේදී එතෙක් වේලාවක් මුවමත දකින්නට ලැබුන මද සිනහව අතුරුදන් වූ අතර කටහඩ තුළ ද යම් ශෝකී බවක් විය.

“මා එක්ක එදා මේ පළාතට ආව කණ්ඩායමේ කීපදෙනෙක් දැන් ජීවතුන් අතර නෑ. තවත් කීපදෙනෙක් ඒ දවස්වලම ආපහු තමන්ගෙ ගම් රටවල් බලා පිටත්ව ගියා. අපි දෙතුන් දෙනයි දැනට ජීවතුන් අතර ඉන්නෙ. හරියට කිව්වොත් මමයි තව දෙදෙනකුයි පමණයි. අපි හැම දුෂ්කරතාවයක්ම විඳ දරා ගත්තා. එක පැත්තකින් ඉවරයක් නැති වන අලි කරදරය. තව පැත්තකින් බොන්න වතුර පොදක් ගේන්න හැතපුම් තුන හතරක් යන්න ඕන. අවට කිසිම ජනාවාසයක් තිබුණෙ නෑ. නමුත් අපි ආව කාරණාව මුදුන්පත් කරගන්න වෙර දැරුව මිසක සැප පහසුකම් හෙව්වෙ නෑ. දවල් දවසෙ පුළුවන් තරම් මහන්සි වෙමින් කැලෑ එළිපෙහෙළි කළා. ඊට පස්සෙ හේන් යාය පාද ගත්ත. පළමුව වගා කළේ ධාන්‍ය වර්ග. කුරක්කන්, තන, මිනේරි. ඔය ආදි වශයෙන් නොයෙක් ධාන්‍ය වර්ග වගාකරන අතරේ තම්පලා, මෑ කරල්, වට්ටක්කා ආදිය අතුරු බෝග වශයෙන් වගා කළා. වගා කළාට වැඩක් නෑ. හවස හතර පහ වෙද්දි අලි බහිනව. ඉතින් අපි මොකද කරන්නෙ. ඊට කලින් ඉබ්බන්ආර වැවට ගිහින් වතුර ටිකක් නාගෙන බූලි කීපයකට වතුර පුරවගෙන හේන්යායට එනව. ඒ ඇවිත් තියෙන දෙයක් රත් කරගෙන කාල මහ ගස් උඩ අටවගත්ත වාඩියට නගිනව. බයක් සැකක් නැතිව ගස් උඩ වාඩියෙ දහදොළොස් දෙනෙකුට ඉන්න පුළුවන් බොහොම ශක්තිමත්ව තමයි ගස් උඩ වාඩි හදා ගත්තෙ. මොකද අලි ආවට පස්සෙ අලියගෙන් අනතුරක් වුණොත් අපි ආව ගමනින් වැඩක් නැති වෙනවනෙ. ඒ නිසා හැමදේටම කලින් ජීවිත පරිස්සම් කරගන්න තමයි අපි නිතරම කල්පනා කළේ.”

“එහෙම ආරම්භ කරපු හේන් ගොවිතැන අවුරුදු දෙක තුනක් යද්දී සරු අස්වැන්නක් ලබාදීමත් එක්ක අපි තීරණය කළා තම තමන්ට කියල වෙන වෙනම හේන් ගොවිතැන කළ යුතු කියල. එහෙම තීරණය කරල තම තමන්ට ප්‍රමාණවත් භූමියක් එළිපෙහෙළි කරගෙන වගාව ආරම්භ කළා. එක් අයෙකුට අක්කර තුනක් විතර අයිති වෙන පරිදි හිතේ සෝදිසියට තමයි ඉඩම් වෙන්කර ගත්තෙ. වෙන්කර ගත්ත කියල අපි අපි දුරස් වුණේ නෑ. අද මගේ හේන හෙට තව කෙනෙකුගෙ හේන. ඔහොම අපි හැමෝගෙම ශ්‍රමයෙන් තමයි හේන් දහතුනම වගා දිගා කළේ. ඔය හැම හේනකම වාඩියක් තිබුණා. උඩ පැල, යටි පැල වශයෙන් පැල් දෙකක් තිබුණා. වන සතුන්ගෙන් වගාව ආරක්‍ෂා කරගන්න නම් නිදි නැතුව රැය ගත කරන්න ඕන. ඔය වෙද්දී තමන්ගෙ පැලේ තමන් පමණයි. මොකද දැන් අපි දහතුන්දෙනාටම හේන් දහතුනක් තියෙනවනෙ. පැලක් උඩ තනියම රෑයක් ගතකරනවා කියන්නේ තරමක් අමාරු වැඩක්. ඉතින් අපි මොකද කරන්නෙ නිදිමතක් තනිකමක් දැනෙන්න ගන්නව විතරයි. පුළුවන් තරම් ශබ්ද නගල පැල්කවියක් කියනව. මගේ පැල් කවියට පිළිතුරු කවිය ඊළඟ පැලෙන් ඇහෙන්න ගන්නව. ඒ ජීවිතය කොච්චර දුෂ්කර වුණත් හිතට ලොකු සැහැල්ලුවක් තිබුණා.”’

එකල තල්අතු සහ පොල්අතු ආදියෙන් වටකොට වාඩි 13 කින් ආරම්භ කළ දුප්පත් ගොවි ජනපදය මේ වනවිට ස්ථිර නිවාස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත අංග සම්පූර්ණ ගම්මානයක් දක්වා සංවර්ධනය වී ඇත. එම සංවර්ධනය පිණිස පළමු උදළු පහර එල්ල කරනු ලබන්නේ අදින් වසර 50ට පමණ පෙර කටුවන තෙල්වත්ත ග්‍රාමයේ සිට එහි සංක්‍රමණය වූ පීරිස් මාමා ඇතුළු දිරිය මිනිසුන් පිරිස විසින්ය. එම පිරිස අතරින් වැඩි දෙනෙක් තම යුතුකම් ඉටුකොට මේ වනවිට මිය පරලොව ගොස් ඇතත් ඔවුන්ගේ දහදියෙන් ගොඩනැගුන බොහෝ දේ නුගේගලයාය ප්‍රදේශයේදී අද පවා දැකගත හැක. පීරිස් මාමා අප සමඟ පවසා සිටින කතාව තව නිමාවී නැත. හැත්තෑව දශකයේ මුල් භාගයෙන් ආරම්භ වන ඒ කතාව තවමත් ලියවෙන කතාවක් බැවින් නැවතත් පීරිස් මාමාගේ හඬට සවන්දිය යුතුය.

“අපි මේ පළාතට ඇවිත් වසර 10 ක් පමණ ගතවෙද්දී ටිකෙන් ටික මේ පැත්ත ජනාවාස බවට පත්වෙනව. ඊට පස්සෙ අලුතින් කැලය කපන්න අවසර නැතුව යනව. එතන ඉඳල තමයි නුගේගලයායත් ජනාවාසයක් බවට පත්වීමේ ආරම්භය සිද්ධ වෙන්නෙ. මම මුලින්ම කිව්වනෙ අපිත් එක්ක ආව කණ්ඩායමේ කීප දෙනෙක් ආපහු තමන්ගෙ ගම් රටවල් බලා පිටත්වුණා කියලා. ඒ අය පිටත්වෙලා ගියේ ඔවුන් වගා කළ හේන් ගොවිතැන් ආදිය අපට පවරල. ඔප්පු තිරප්පුවලින් පැවරීමක් නොකළත් අපි යම් කිසි මුදලක් ඒ අයට දුන්නා. මට මතක හැටියට ඒ කාලේ ඉඩම් අක්කරයකට රුපියල් තුන්දහස් පන්සියයක් වගේ මුදලක් දුන්න.”

ඔවුන් යුතුකම් ඉටුකළ මිනිසුන්ය. අන්සතුදේ කොල්ලකා නොගත් මිනිසුන් වූ ඔවුන් තමන් හැරයන සඟයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඒ අයුරින් ඉටුකරනු ලබන්නේ එබැවින් විය යුතුය.

“අපි තුන්දෙනෙක් එක්ක ආපු අලුත අක්කර තුනක් කෙටුව. ඒ ඉඩමේ තනිකරම වගා කරල තිබුනෙ කුරක්කන්. පස්සෙ පහු ඒ දෙන්න ගමට යන්න තීරණය කලාට පස්සෙ ඒ අක්කර තුනම වගා කළේ මම. මේ පළාතේ කුඹුරු ගොවිතැන ඒ කාලෙ තිබුනෙ නෑ. අපි වුණත් දවස් තුන හතරකට වරක් තමයි බත් වේලක් කෑවෙ. වැඩිපුරම ආහාරයට ගත්තෙ ධාන්‍ය වර්ග. අපිත් එක්ක ආව පිරිස තුන් හතර දෙනෙකුට සීමාවෙද්දී ඒ අය අතරින් දෙතුන් දෙනෙක් තීරණය කරනව තමන්ගෙ අඹු දරුවන් මෙහේ පදිංචි කරවන්න. එහෙමයි මේ දැන් අපි පදිංචිවෙලා ඉන්න ප්‍රදේශය ජනාවාස බවට පත්වෙන්න ගත්තෙ. අඹු දරුවො පදිංචි කළා කියල අද වගේ ගෙවල් දොරවල් ඒ කාලෙ තිබුණේ නෑ. අඩුම තරමින් බිත්තියක් තරම මැටි ගහල ගෙයක් දොරක් හැදුවෙ නෑ. එහෙම නොකළේ අලි ඇවිත් බිත්ති පෙරලයි කියන බයට. පොල් අතු හෙවිලි කරල තල කොළ ආදියෙන් වටකරල තමයි ගේ දොර හැදුවෙ. එහෙම හැදුවට පස්සෙ බියක් නෑ. බිත්ති මැටි ගහල තිබුණොත් අලි ඇවිත් ගේ පෙරලනව. එහෙම සිදුවීමක් වුණොත් දරුවන්ට අනතුරක් වෙයි කියලා බියක් තිබුණා.

එවැනි වටපිටාවක් තුළ දිවි රැකගත් පීරිස් මාමා ඇතුළු කීපදෙනෙකු ගෙන් යුත් පිරිස පසු කලෙක ගමක් නිර්මාණය කළ පිරිසෙහි පෙර ගමන්කරුවන්ය. ඔවුන් ඒ අතීතය දෙස නැවත හැරී බලන්නේ තෘප්තිමත් දෑසින් යුතුවය. ඒ දෑස් තුළ පසුතැවීම්, කලකිරීම් ආදියෙහි සේයාවක් තරම්වත් දෙයක් නැත. මේ වනවිට ද සාමකාමී දැහැමි ජීවිතයක් ගත කරන පීරිස් මාමා ඇතුළු එ’ගම වැඩිහියන් ඔවුන්ගෙන් පසු පරම්පරාවන් පිණිස පරමාදර්ශය සපයමින් ඇත. ඊට අමතරව තවමත් ඔවුන් නිරෝගී සුව විඳිමින් සිටින අයුරු දැකගත හැක.

“දැන් වගා කරන්න යන්නෙ නෑ. එක හේතුවක් තමයි පොළොවේ අසාරවත් බව. කෘමිනාශක වල් නාශක ආදියෙන් පොළොව මරල ඉවරයි. තව පැත්තකින් අභයභූමි එළිපෙහෙළි කරල. කැලේ සත්තුන්ට ඉන්න තැනක් නෑ. කෑමක් බීමක් නෑ. ඒ හින්ද සත්තු ගම් වදිනව. ඒ කාලෙ දවල් රෑ නැතිව අපි අපේ යුතුකම් කළා. ඒ හින්ද අද ඉන්න පරම්පරාවට වගේම මතු මතු උපදින්න ඉන්න දරුවන්ටත් බයක් සැකක් නැතුව ඉන්න හිටින්න තැනක් තියෙනව. ඒ හින්ද ඕන වෙලාවක හිතේ සතුටින් ඇස් දෙක පියාගන්න අපට පුළුවන්කම තියෙනවා.”

අදින් පනස් වසරකට පෙර පස පෙරළා ජීවිතය සෙවීමේ” අභිලාශයෙන් මඟට බට එම පිරිස අතරින් වැඩිදෙනෙක් මේ වනවිට මිය පරලොව ගොස් අවසන්ය. ඔවුන් මිය පරලොව සැපත්වන්නේ ගම්බිම් අතැර පැමිණි ගමනේ අභිලාෂයන් ඒ අයුරින්ම මුදුන්පත් කර ගැනීමෙන් අනතුරුවය. රටට බරක් නොවූ මිනිසුන් පිරිසක් ලෙසය. එම කණ්ඩායමට අයත් දෙතුන් දෙනෙකු තවමත් ජීවතුන් අතරය. දින කීපයකට පෙර ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර අපට මුණගැසුන පීරිස් මාමා ඒ කීපදෙනා අතුරින් එක් අයෙක්ය. මේ වනවිට ජීවිතයේ “සැන්දෑව” ගත කරමින් සිටින පීරිස් මාම එදා පැමිණි ගමන නිමාවට පත් කරන්නේ අලි වලසුන් බහුල ලෙස ගැවසුන මහා වනාන්තරයක් ගම්මානයක් බවට පත් කරමිනි. ඔහු තවමත් ගම්මුන්ගේ සම්භාවනාවට පත්වන්නේ එහෙයිනි.

රුවන් ජයවර්ධන
පසුබිම් වාර්තා
සේන වී. ගමගේ ඇඹිලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment