සමස්ත ලෝක වාසී කිතුනු ජනතාව ඉමහත් හරසරින් සමරන ජේසු සමිඳුන් මරණය පරාජය කර ජයග්‍රාහී ලෙස උත්ථාන වූ පාස්කු මංගල්‍යය අද ට යෙදී ඇත.

පාස්කු ඉරු දිනට පෙර සිකුරාදා දිනය මහ සිකුරාදා යනුවෙන් හැඳින්වෙන අතර එදින ජේසු සමිඳාණන් රෝම හේවායන් විසින් කුරුසිපත් කරන ලදී. එදින සාම්ප්‍රදායිකවත් නිරාහාරව හා රෑන් දුක් වීමේ දිනයක.ි එදින උන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමස්ථ කිතුනු ජනතාව විසින් සිහිපත් කරනු ඇත. මුළු මානව වර්ගයා පාපයෙන් මුදා ගැනීම පිණිස අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිපත් වූ අතර ප්‍රේමයේ නාමයෙන් සිදුකළ ඒ උත්තරීතර පූජාව එදින සිහිපත් කරනු ඇත. එම සිදුවීම සිකුරාදා දින සිදුවූ නිසා එදින සිකුරාදා යනුවෙන් හැඳින්වේ.

අප ස්වාමීන් වන ජේසු සමිඳාණන් මරණය පරාජය කර උත්ථාන නොවූයේ නම් උන්වහන්සේගේ මරණය තවත් එක් බේද ජනක සිදුවීමක් පමණක් වනු නියතය.

තමන් ආදරය කරන කෙනකුට මෙලොවෙන් සමුගෙන දින තුනකට පසුව ඔහු තැන්පත් කළ සොහොන වෙත යෑම එදා සාමාන්‍ය සිදුවීමකි. දින තුනක් ගතවන තුරුම මියගිය තැනැත්තාගේ ආත්මය ඒ අසල සැරිසරන බව ඔවුන්ගේ විශ්වාසය විය. දින තුනකට පසු සිරුර සම්පූර්ණයෙන්ම විකෘති වීමත් ඒ වගේම ආත්මය එතැනින් ඉවත්වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

සබත් දවසේ පළමු වැනිදා මග්දලායේ මරියා ඇතුළු කාන්තාවන් කිහිපදෙනෙක් උන්වහන්සේ තැන්පත් කළ ගල්ලෙන වෙත යන්නේ උන්වහන්සේගේ සිරුර සුවඳ ද්‍රව්‍යයෙන් ආලේප කිරීමේ බලාපොරොත්තුවෙනි. අප ස්වාමීන් වන යේසුස් සමිඳාණන් මෙලොව ජීවත්ව සිටියදී බොහෝවර උන්වහන්සේගේ මරණය ගැන සඳහන් කළේය.

ඒ වගේම උන්වහන්සේ මරණය පරාජය කර’ උත්ථාන වන බවද සඳහන් කළේය. නමුත් එය ඔවුනට අමතක වී තිබිණි. වර්තමානයේ ද බොහෝ වෙලාවට උත්ථාන වූ ජේසු සමිඳාණන් අපට අමතක වී ඇත. අපි ද මේ කාන්තාවන් මෙන් ම උන්වහන්සේගේ නිසල ශරීරය අලංකාර කරන්න බොහෝ වෙහෙසෙනු ඇත.

සභාවක් ලෙස කරන්නේ මෙය දැයි මොහොතක් මෙනෙහි කර බලන්න. අපි උන්වහන්සේගේ උත්ථානය ගැන නිරතුරු කතා කරන්නේ දැයි සිතා බලමු.

අප ස්වාමීන් වන යේසුස් වහන්සේගේ මරණයෙන් නැඟිටීම සිදුවිය හැකිදැයි ඔවුන්ට සිතෙන්න ඇත. ලාසරස් මළවුන්ගෙන් නැඟිට්ටවාවූ සිදුවීම ඔවුන්ට අමතක විය. ලාසරස්ව මළවුන්ගෙන් නැඟිට්ටුවා නම් උන්වහන්සේම මරණයෙන් නැඟිටීම එතරම් අපහසු දෙයක් නොවන බව ඔවුහු තේරුම් නොගතතහ.

ජේසු සමිඳාණන්ගේ මරණයත් සමග ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වූ බව ඔවුන්ට හැඟී ගියේය. එබැවින් ප්‍රේමයේ කෘතඥතාවයක් හැටියට උන්වහන්සේගේ ශරීරය සුවඳ තෙලින් ආලේප කරන්න ඔවුනට අවශ්‍ය විය. අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැඟිටීමෙන් පසු එකොළොස් වතාවක් පමණ විවිධ පුද්ගලයන්ට දර්ශනය විය.

මග්දලාවේ මරියා සොහොන ළඟට එනවිට ගලපෙරලා තිබුණ නමුත් ඇයට ඇතුළට ගොස් බලන්නට තරම් ශක්තියක් නොවීය. එබැවින් ඇය හඬ මින් පේදුරු සහ යොහාන් ළඟට ගොස් රෝම සොල්දාදුවන් උන්වහන්සේගේ මෘත ශරීරය රැගෙන ගොස් තැන්පත් කර ඇති බව ප්‍රකාශ කළාය. උන්වහන්සේ උත්ථාන වන බවට ඇය තුළ විශ්වාසයක් තිබුණේ නම් සොහොන්ගේ ළඟට ගොස් සැක හැර බලන්නට ඇයට තිබුණි.

බොහෝවිට වර්තමානයේ ජීවත්වන අපද මෙයාකාරය. අප ජේසුට ආදරය කරන නමුත් ඇතැම්විට අප ද සිතාගෙන ඉන්නේ උන්වහන්සේ තාම මළවුන් අතර බවය. උන්වහන්සේ මළවුන් අතර නැත. උන්වහන්සේ උත්ථාන විය. උන්වහන්සේගේ දේහය උන්වහන්සේගේ ගෝලයන් විසින් රැගෙන ගියා යන මතය රෝම සොල්දාදුවන් විසින් පැතිරවූ මතවාදය විය.

පේදුරු සහ යොහාන් තුමන් ඒ ස්ථානයට ගිය නමුත් ප්‍රථමයෙන් සොහොන්ගේ ඇතුළට ගොස් බලා විශ්වාස කරන්නේ පේදුරුතුමාය. ඔහු විශ්වාස කරන්නේ උන්වහන්සේගේ ශරීරය නැති බවය. ඔහු ද උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ බව විශ්වාස කළේ නැත. අප ස්වාමීන් වන යේසුස් සමිඳාණන් උතුම් දහමක් දේශනා කර ලෝකයෙන් සමුගත් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හෝ දාර්ශනිකයෙක් නොවීය. මරණින් උත්ථාන වුණා වූ එකම ශාස්තෲවරයාණන්ය. අප එකිනෙකාගේ පාපය වෙනුවෙන් ගැලවීම ලබාදෙන්නට කිසිම පාපයක් නැතිව කුරුසයේ පූජා වුණා වූ ශාස්තෲවරයාණන්ය. උන්වහන්සේ සිහි කරනු වස් මාරක වැඳුම් පිදුම් ස්ථාන අවශ්‍ය නැත. උන්වහන්සේට අවශ්‍ය වනුයේ ඔබේ හදවතය. උන්වහන්සේ ජීවමානය. උන්වහන්සේ වර්තමානයෙත් මතු සදා කාලයටත් ජීවත් වෙමින් අපට සරණ වන විමුක්තිදායකයාණන්ය. ජීවත්ව සිටින ස්වාමීන් වහන්සේ මළවුන් අතර සොයන්නේ නැතිව උන්වහන්සේගේ උත්ථානය ගැන සාක්ෂි දරන්න. අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත් උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බවත් සිතින් අදහන්නේ නම් ඔබ ගැලවීම ලබන්නේය. එසේ කරන්නට දෙව් සමිඳුන් අපට මඟ පෙන්වනු ඇත.

ඒ සඳහා උත්ථානයේ ආලෝකයෙන් අපගේ ජීවිතයේ අලුත් කර ගනිමින් උත්ථානය පිළිබඳව ලොව පුරා ප්‍රබල සාක්ෂිකරුවන් වන්නට උන්වහන්සේ අප කැඳවන සේක. කාලය තුළ නව පිබිදීමක් මෙන්ම ඔබේ ජීවිතයේ සමාදානය තිබිය යුතුය.

උත්ථානයේ සමිඳුන් ප්‍රකාශ කරන සමාදානය අපගේ ජීවිත තුළ මෙන්ම ලක්වැසි සියලු දෙනාගේ හදවත්වල නිතර පවතීවා.

සාගර පෙරේරා පියතුමා
ශාන්ත පේදුරුතුමාගේ මැඳුර
කොරලවැල්ල
මොරටුව.


advertistmentadvertistment