නීති විරෝධී හා පදනම් විරහිත අයුරින් ක්‍රියා කරන ආයතනයක් බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (07) පියවර ගෙන තිබේ. මෙයට අදාළ විධායක නියෝගයට අත්සන් තබා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා නෙදර්ලන්තයේ හේග් නගරයේ පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇමරිකා එක්සත් ජනපදය හා එහි සමීප මිතුරෙකු වන ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් නීති විරෝධී හා පදනම් විරහිත ක්‍රියාවන්හි යෙදෙන බවට චෝදනා කර තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව පනවා ඇති සම්බාධක යටතේ ඇමරිකාවේ හා එහි සමීප රටවල පුරවැසියන් සම්බන්ධයෙන් එම අධිකරණය විසින් සිදු කරන විමර්ශනයන් සඳහා සහය වන පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහිව මූල්‍ය හා විසා තහංචි පනවා තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව සම්බාධන පැනවීමේ විධායක නියෝගයට අත්සන් තබා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු වොෂිංටන් නගරයේ සංචාරයක නිරත වෙමින් සිටියදී බව විදෙස් මාධ්‍ය පවසයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ගාසා තීරයේ පවතින යුද්ධයේදී අපරාධ සිදු කර ඇති බවට චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති නෙටන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව හමාස් සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියාට ද නිකුත් කර තිබිණි. මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව සම්බාධක පැනවීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව කනගාටු වන බව එම අධිකරණයේ සත්කාරකත්වය දරණ නෙදර්ලන්තය පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇති නෙදර්ලන්තයේ විදේශ කටයුතු ඇමැති කැස්පර් වෙල්ඩ්කෑම්ප් පවසා ඇත්තේ දණ්ඩමුක්තියට එරෙහි සටනේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ කටයුතු අත්‍යවශ්‍ය බවයි.
මේ අතර දැනට ඇමරිකාව පනවා තිබෙන සම්බාධකවලට අමතරව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට ද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. මෙම නව සම්බාධක ඉරානයේ තෙල් කර්මාන්තය ඉලක්ක කරගනිමින් පනවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ