ඩී. එස්. සේනානායක, රාජකීය සහ ඉසිපතන අපරාජිතව ඉදිරියට

32

‘ඩයලොග් අභියෝග කුසලාන’ අන්තර් පාසල් ලීග් රග්බි පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් රග්බි පාපන්දු තරග මාලාවේ තෙවන සතිය ආරම්භ කරමින් සිකුරාදා (28දා) සහ සෙනසුරාදා (29දා) පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට මහනුවර විද්‍යාර්ථ, කොළඹ ඩී.එස්. සේනානායක, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ශාන්ත ජෝශප්, කොළඹ රාජකීය සහ කොළඹ ඉසිපතන විදුහල් සමත් විය.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් තරග ත්‍රිත්වයම ජයග්‍රහණය කරමින් තම අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගැනීමට ඩී. එස්. සේනානායක, රාජකීය සහ ඉසිපතන විදුහල් සමත් වීම ඒ අතරේ විශේෂත්වයක් ගත්තේය.

විද්‍යාර්ථ 50 කිංග්ස්වුඩ් 13

මහනුවර සටනක් බවට පරිවර්තනය වී තිබුණු කිංග්ස්වුඩ් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 50 – 13 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳීමට විද්‍යර්ථ විදුහල සමත් විය.

විද්‍යාර්ථ පිල ගෝල් දිනුම් 05 කින් සහ උත්සාහක දිනුම් 03 කින් ලකුණු එකතුව සටහන් කර ගත් අතර උත්සාහක දිනුම් 02 සහ එක් දඬුවම් පහරක් ආශ්‍රිතව කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

ඩී. එස්. 30 ශාන්ත අන්තෝනී 17

ඩී. එස්. සේනානායක විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 30 – 17 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයන් සමත් වූහ. ප්‍රථම භාගය නිමා වන විට 15 – 14 ක් ලෙස එක් ලකුණකින් පෙරමුණ ගැනීමට ඩී.එස්. පිලට හැකියාව ලැබිණි.

ඩී. එස්. ක්‍රීඩකයන් ගෝල් දිනුමක් සමගින් උත්සාහක දිනුම් 04 ක් ලබා ගන්නා අතර වාරයේ දී ගෝල් දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ශාන්ත අන්තෝනි පිලට හැකි විය.

ඉසිපතන 46 ධර්මරාජ 08

ඉසිපතන විදුහල සහ ධර්මරාජ විදුහල අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී ලකුණු 46 – 08 ක පහසු ජයග්‍රහණයක් ඉසිපතන විදුහල සතු විය. ඉසිපතන පිල ගෝල් දිනුම් 03 ක් සහ උත්සාහක දිනුම් 05 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නා අතර වාරයේ දී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ධර්මරාජ විදුහලට හැකි විය.

ශාන්ත පීතර 25 වෙස්ලි 10

ශාන්ත පීතර විදුහල සහ වෙස්ලි විදුහල අතර බම්බලපිටියේ දී පැවති තරගය ලකුණු 25 -10 ක් ලෙස ජය ගැනීමට ශාන්ත පීතර විදුහලට හැකියාව ලැබිණි. පළමු අර්ධය නිමා වන විට ලකුණු තත්ත්වය 12 – 10 කි.

ශාන්ත ජෝශප් 47 තර්ස්ටන් 09

ශාන්ත ජෝශප් විදුහල සහ තර්ස්ටන් විදුහල අතර රත්මලානේ දී ක්‍රියාත්මක වූ තරගයේ ජයග්‍රහණය ශාන්ත ජෝශප් විදුහල සතු විය. ඒ, ලකුණු 47 – 09 ක් ලෙසිනි.

රාජකීය 34 සහිරා 07

රාජකීය විදුහල සහ සහිරා විදුහල අතර කොළඹ සහිරා පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී ලකුණු 34 – 07ක පහසු ජයග්‍රහණයක් රාජකීය ක්‍රීඩකයෝ වාර්තා කර ගත්හ.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 19-00කි. ජයග්‍රාහී පිල ගෝල් දිනුම් 03, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 01 ක් මගින් ලකුණු ලබා ගත් අතර එක් ගෝල් දිනුමක් සටහන් කිරීමට සහිරා පිලට හැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment