තටාකයේ දිය නාන්න ගිය පස්හැවිරිදි දරුවා මරුට

1

සිඟිති උයනක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි පස්හැවිරිදි පිරිමි දරුවකු දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 11/15, පාලිත පෙදස, කොළඹ 09 යන ලිපිනයේ පදිංචි මෙහොමඩ් ආනන් නැමැති අවුරුදු පහක දරුවකු බව පොලිසිය කියයි.

අඩි 04ක් ගැඹුරැති අදාළ පිහිනුම් තටාකයේ දිය නෑමට අවසර ඇත්තේ වැඩිහිටියන්ට පමණක් බවට දැන්වීමක් එම ස්ථානයේ අලවා අනතුරු අඟවා තිබිය දී සිද්ධියට සම්බන්ධ දරුවා එම පිහිනුම් තටාකයට පැන ඇති බව සිද්ධිය පිළිබඳව විමර්ශනයේ දී හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය දරුවාගේ පියා කට උත්තරයක් ලබාදෙමින්, මම සෞදි ආරාබියේ රැකියාවේ නියුතුව සිටිනවා. පසුගිය සතියේ නිවාඩුවට මම ලංකාවට ආවා. මට දරුවන් පහක් ඉන්නවා. ඉන් සිව් දෙනෙක් නිවුන් දරුවන්. සිද්ධියෙන් මියගොස් සිටින්නේ බාල නිවුන් දරුවන්ගෙන් එක දරුවෙක්. මම මෙදින මගේ දරුවන් පස්දෙනා හා මගේ සොහොයුරියගේ දරුවන් තිදෙනා කැටිව දරුවන්ට විනෝදයක් ලබාදීමට ආවා.

එහි තිබූ සිඟිති උයනේ කුඩා දරුවන් සඳහා වෙන්ව ඇති අඩි 2ක් පමණක් ගැඹුරැති පිහිනුම් තටාකයේ ඔවුනට දිය නෑමට අවස්ථාව ලබාදුන්නා. ඒ අතරතුර එම තටාකයට නුදුරින් ඇති වැඩිහිටියන් සඳහා වූ තටාකය පැත්තකට මම පොඩ්ඩකට ගියා. ඒ ගිහින් යළි දරුවන් දියනාන තැනට පැමිණ බලනවිට මගේ එක් දරුවෙක් එහි සිටියේ නැහැ. එම අවස්ථාවේ තමයි මම දැන ගත්තේ මටත් නොකියා දරුවා වැඩිහිටියන් සඳහාවූ දිය තටාකයට ගොස් එයට පැන ඇති බව. දරුවා හිතන්න ඇති මේ තටාකයත් එයා මුලින් දියනෑ අඩි 2ක් පමණ ඇති තටාකයක් කියලා.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දරුවා එහි සිටි පිරිසකගේ ආධාර ඇතිව මම ප්‍රාදේශීය රෝහලට ගෙන ගියා. එතැනින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට දරුවා ගෙන යන්න වුණා. එහිදී දරුවා මියගොස් ඇති බව දැන ගත්තා යැයි පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.

බී.ටී. කොටින්කඩුව – ජාඇළ අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment