හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (23 දා) වරෙන්තු නිකුත්කර තිබිණි.
අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යෙදවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
සිය සේවාදායකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට පෙරේදා (22 දා) අභියාචනාධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව ඊයේ (23 දා) එහි ගොස් ඇති බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
එලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිනුයේ අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් අනුව දැයි විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේය. එවැනි නියෝගයක් අභියාචනාධිකරණය සිය සේවාදායකයාට නිකුත්කර නොමැති බව එම නීතිඥවරු මහාධිකරණයට පැවසූහ. කුමන ස්ථානයකට ගියත් තම අධිකරණය ලබාදී ඇති නියෝගය අනුව කටයුතු කිරීම විත්තිකරුගෙ වගකීම බවත් එලෙස නොකිරීම අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන ජනවාරි 27 දක්වා කල් තබමින් එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.
විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත්කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
2014.01.01 හා 2014.12.31 වැනිදා කාලය අතරතුර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මොහිදින් කාජා සාකීර් යන විත්තිකරුවන් තිදෙනාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි. නීතිඥ ඩිල්මි පරණවිතාන, අජිත් වික්‍රමසිංහ, නිරංජන් ඊරියගොල්ල හා නීතිඥ වසිමුල් අක්‍රම් යන මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක