තවත් සර්ව – පාක්ෂික සමුළුවක් ඉවරයි

231

ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය බදාදා (ජුලි 26) සවස 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වූ සර්ව පාක්‍ෂික සමුළුව තවත් කතා සාප්පුවක් පමණි. කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ තවත් අසාර්ථක ප්‍රයත්නයකි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද්‍රවිඩ ජාතික සංධානය සමග රට බෙදීමට රහස්‍ය ගිවිසුමක බැඳී සිටින බවට චෝදනා කරන පසුබිමක එතුමාගේ වැඩපිළිවෙළ එම සංධානය ප්‍රතික්ෂේප කිරීම දේශපාලන කපටි කමක්ද? ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් සුමන්තිරන් ජනාධිපතිවරයාගේ යෝජනා සාකච්ජාව අවසන් වී විනාඩි 10 යෑමට පෙර කුණු කුඩයට දැමීය. එය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ කළ රංගනයක්ද ? එජාප නායකයා ජනාධිපති කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එතුමාගේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කර ඇත. සමගි ජන බලවේගයේ සහයෝගයක්ද නැත. එබැවින් මෙම සර්වපාර්ෂික ක්‍රියාදාමයද තවත් රැවටිල්ලක් ලෙස අතීතයට එක්වී හමාරය.

ඉන්දියාවේ මැදිහත්වීමෙන් 1978 ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත කරළියට පැමිණ ඇත. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු තෙවන වරටය. ඔහු එම තනතුරට පත්වී හරියටම වසරකට පසුවය. පසුගිය ජනවාරි මාසයේදී යාපනයේදී පැවැත්වූ ජාතික තෛපොංගල් උත්සවයේදී ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසීය. නමුත් සිදුවූ දෙයක් නැත. ඉන්පසුව ජනාධිපතිවරයා නිදහස් දින ජාතිය අමතමින් ඒකීය රටක් තුළ උපරිම වශයෙන් බලය බෙදන බවට තෛපොංගල් දින ප්‍රකාශය තහවුරු කරනු ලැබීය. නැවතත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු ප්‍රකාශයක් කළේ පසුගිය ජුලි 18 වැනි දිනය. ඒ උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමගය. ඊට අමතරව නොයෙකුත් අවස්ථාවල 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙම ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුව එම ආන්දෝලාත්මක ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළේ 1987 නොවැම්බර් 14 වැනි දිනය. ඒ ඉන්දු-ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඉන්දියානු හමුදා යටතට පත් කිරීමෙන් මාස 5 කට පසුවය. ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවන කැරැල්ල තීරණාත්මක තර්ජනයක් එවකට රජයට එල්ල කර තිබිණි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂයේ රැස්වීමට ජවිපෙ 1987 අගෝස්තු මාසයේ එල්ල කළ ග්‍රේනේඩ් ප්‍රහාරය මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයාගේ ජීවිතය අහිමි කළේය. තත්ත්වය එතරම්ම භයානක විය.

අතිශය බිහිසුණු කැරැල්ල ජවිපෙ සාධාරණීකරණය කළේ 13 ක්‍රියාත්මක කිරීමෙන් සහ ඉන්දීය හමුදා කැඳවීමෙන් ජයවර්ධන ජනාධිපතිවරයා රටේ ඒකීය භාවය නැති කළ බවට චෝදනා කරමිනි. එජාපයේ ප්‍රති ප්‍රහාරය ඊට නොදැවෙනි විය. ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස එම කැරැල්ල වාර්තා කිරීමේ අවස්ථාව මෙම ලියුම්කරුට හිමිවිය. විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේ මාතර තිබූ කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයාගේ අවමඟුල වාර්තා කිරීමේ අවස්ථාව මෙම ලියුම්කරුට හිමිවිය.

දහතුන්වැනි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළු කළ ජයවර්ධන හෝ ඊට පසුව පත්වූ කිසිදු ජනාධිපතිවරයෙකු එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළේ නැත. ප්‍රබල ඉන්දියානු බලකිරීම් නොතකා ඉඩම් සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටියේය. එවැනි තත්ත්වයක් යටතේ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ පසුව මහින්ද රාජපක්ෂ 13 වැනි සංශෝධනයට එහා යමක් ඉන්දීය නායකත්වයට පොරොන්දු වූයේ ඇයි ?

එම සංශෝධනය බලාත්මක කළ අවස්ථාවේදී ඉන්දීය හමුදා සහ ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය අතර දරුණු සටන් ඇවිලී තිබිණි. ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ත්‍රස්තවාදීන් කටයුතු කළානම් 13 වැනි සංශෝධනය පොලිස් සහ ඉඩම් බලතල සමග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකිව තිබිණි. එම තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ඉන්දියාව හරහාම ලබාගත් අවි ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව ඉන්දියානු හමුදාවට භාර දීම ප්‍රතික්ෂේප කිරීම ද අවධානයට ලක් කිරීමෙනි. කෙටියෙන් කිවහොත් 13 වැනි සංශෝධනය හරහා ලැබීමට නියමිත බලය බෙදීමෙන් ද්‍රවිඩ ප්‍රජාව සෑහීමකට පත් වූයේ නැත. උතුරු නැගෙනහිර සංග්‍රාමික ක්‍රියාදාමයක් තුළ උදුරා ගැනීමට හැකි බවට උදුරා ගැනීමට හැකි බවට විශ්වාශයක් ඔවුන්ට තිබිණි.

අවසානයේදී ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය හමුදාමය ක්‍රියාදාමයක් තුළ පරාජය වූයේ 2009 මැයි මාසයේදීය. එම ත්‍රස්තවාදීන් ගේ පරාජයත් සමග ද්‍රවිඩ ජාතික සංධානය නැවතත් රජය සමග දේශපාලන සාකච්ජාවකට අවතීර්ණ විය. ඊට පෙර ආර්. සම්පන්තන් නායකත්වය දුන් ද්‍රවිඩ ජාතික සංධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ලෙස පිළිගෙන තිබිණි. එමගින් තමන්ගේ දේශපාලන අයිතිය ත්‍රස්තවාදීන්ට භාර දී තිබිණි. එදා ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ සම්බන්ධන්ගේ සංධානය අද 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කර ගැනීමේ ව්‍යායාමයේ නායකත්වයට පත් වී ඇත. ඒ ඉන්දියාවේ ශක්තිමත් මැදිහත්වීමත් සමගය. දහතුන්වැනි සංශෝධනය සම්බන්ධයෙන් නව දිල්ලියේ උනන්දුව කිසිදා හීනවූයේ නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක ක්‍රියාදාමයකට නායකත්වය දීමට සූදානම් බව අවධාරණය කර ඇත. ඉන්දියාවේ දෙදින සංචාරයකට පිටත්ව යෑමට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා අවධාරණය කළේ උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත්ය. ඒ සාකච්ජාව සිදු වුයේ ජුලි 18 දිනය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තමන්ට කළ හැකි සහ නොහැකි කරුණු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද ඒ අවස්ථාවේ කළේය.

පළමුවෙන්ම එතුමා අවධාරණය කළේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ හැකි වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් බවය. නමුත් එතුමාගේ පක්ෂයට වර්තමාන පාර්ලිමේන්තුවේ ඇත්තේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු පමණි. එබැවින් පිළිවෙළින් ආසන 100 සහන 50 පමණ හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගය නොමැතිව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ කිසිසේත් ඉදිරියට ගෙන යෑමට නොහැකිය. භූමියේ සැබෑ තත්ත්වය එයයි.

● 13 ට එක යමක්…

තවත් සර්ව - පාක්ෂික සමුළුවක් ඉවරයි

දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට වඩා යමක් උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ කතා කරන ජනතාවට ලබා දීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එවැනි එකඟතාවක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

ජනාධිපති මාධ්‍ය අංශය ජුලි 18 දින නිකුත් කළ නිවේදනයකට අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා අනුව පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇත. ඒ අනුව ඉඩම් සම්බන්ධයෙන් බලතල බෙදීම තවදුරටත් ප්‍රශ්නයක් නොවේ. නමුත් පොලිස් බලතල ලබාදිය හැකි වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඊට අමතරව පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග සහ විජයදාස රාජපක්ෂ. එම සාකච්ජාවට සහභාගි විය.

ඩග්ලස් දේවානන්දා (හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙකු), රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන් (ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ප්‍රාදේශීය නායකයෙකු) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, සී. වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන් (හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙකු) , චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලයිඅරසන්, කේ. දිලීපන් සහ ජී. කරුණාකරන් ජනතා නියෝජිතයන් එම අවස්ථාවට සහභාගි විය.

ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් සහ ඔහුගේ පක්ෂය නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරයා එම සාකච්ජාවට සහභාගි වූයේ නැත. එම පක්ෂයට වික්‍රමසිංහ ජනාධිපතිවරයා යෝජනා කරන කිසිවක් සෑහෙන්නේ නැත. ඊළම ම බලකර ඉල්ලා සිටී.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇඟට නොදැනී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ වගකීම පාර්ලිමේන්තුව මත පටවා ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ජනතාව බලාපොරොත්තු වූ සංහිඳියාව ඇති වූයේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ බෙදුම්වාදී ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ ජාතික සංධානය ඇතුළු කණ්ඩායම යුද අපරාධ චෝදනා ජාත්‍යන්තරයට ගෙන යෑමයි. එම කණ්ඩායම්වලට ත්‍රස්තවාදය පරාජය කිරීම කිසිසේත් දරා ගැනීමට හැකිවූයේ නැත. බටහිර සහ දේශීය යුද විශේෂඥයන් අවධාරණය කළ පරිදි ත්‍රස්තවාදය හමුදාමය ක්‍රියාමාර්ගයකින් කිසිසේත් නිරාකරණය කළ නොහැකි බව දේව වචනයක් සේ විශ්වාස කළ ඔවුන්ට වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය අදටත් අදහාගත නොහැක.

සංහිඳියාව ඇතිකිරීමට ප්‍රධානතම බාධකයක් වී ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අතරේම ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා සහ දේශපාලන නායකත්වය යුද අපරාධ දඬුකඳේ ගැසීමට වෑයම් කිරීමයි.

● ද්‍රවිඩ ජාතික සන්ධානයේ කෙරුවාව

බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටින බොහෝ කණ්ඩායම් කරන අදහස් ප්‍රකාශ කිරීම්වලට අනුව ආරක්ෂක හමුදා දශක තුනක් සටන් කර ඇත්තේ ද්‍රවිඩ සිවිල් ජනතාව සමග බවට හැඟීමක් ඇතිවේ. ඉන්දියානු හමුදාමය මැදිහත්වීම සම්බන්ධයෙන් කතාවක් ඇත්තේම නැත. මෙම පුද්ගලයන්ට වගවීම සහ වගකීම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් හතරවන ඊළාම් යුද්දය (2006-2009) පිළිබඳව පමණක් බව අමුතුවෙන් කිව යුතු නැත. ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී ක්‍රියාදාමයට තමන්ද කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් දායක වූ බවට ඒ කිසිවෙකුට මතක නැත. ඔවුන්ගේ රාජ්‍ය සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවම වශයෙන් මතක් කිරීමක් හෝ කිරීමට අවශ්‍යතාවක් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ කෙරුවාව දැන ගැනීමට 2004 මහා මැතිවරණය සම්බන්ධයෙන් යුරෝපීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ප්‍රසිද්ධ කළ වාර්තාව සෑහේ. සම්බන්ධන්ගේ පක්ෂය එම මැතිවරණයේදී එවකට එකතු කර තිබූ උතුරු නැගෙනහිර පළාතේ ආසන 22 ජයග්‍රහණය කළේ ත්‍රස්තවාදීන්ගේ පූර්ණ සහයෝගයෙන් බවට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් කළ චෝදනාව කෙතරම් බරපතළද? නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තුව සුපුරුදු නිද්‍රශීලී ප්‍රතිපත්තිය අනුගමනය කළේය. අදටත් ඒ තත්ත්වයේ වෙනසක් නැත.

ඊට පසු අවුරුද්දේ පැවැත්වූ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට උතුරේ ද්‍රවිඩ ජනතාවට බල කළේ ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාව මත ද්‍රවිඩ ජාතික සංධානය බව සම්බන්ධන්ට මෙන්ම එවකට එම පක්ෂයේ නොසිටි මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ට මතක් කර දිය යුතුව ඇත. එදා ප්‍රභාකරන් – සම්බන්ධන් නඩය පරාජය කළේ එජාප ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහවයි. ඒ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයේ හුදෙකලා කිරීමට වඩාත් පහසු තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවට එරෙහි යුද්ධය සාර්ථකව අවසන් කළ හැකි බවට ඔවුන් කළ අධි තක්සේරුවයි.

වික්‍රමසිංහට උතුරේ ජන්දය අහිමි කර මහින්ද රාජපක්ෂ ගේ 2005 ජයග්‍රහණය තහවුරු කළ බෙදුම්වාදීන් එම ජනාධිපතිවරයා දේශපාලන නායකත්වය දුන් හතරවන ඊළාම් යුද්දයෙන් පරාජය විය. යුද්දයෙන් ලබා ගැනීමට නොහැකි වූ ස්වයං තීරණ ගැනීමේ අයිතිය තමන් පරාජය කළ වික්‍රමසිංහ නායකත්වය යටතේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා ලබා ගැනීමට ගන්න උත්සාහය දෛවයේ සරදමකි.

ද්‍රවිඩ ජනතාවගෙන් බහුතරයක් ත්‍රස්තවාදීන්ගේ සංග්‍රාමික දක්ෂතාව පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළ බව කිසිසේත්ම රහසක් නොවේ. නෝර්වීජියානු මැදිහත්වීමෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ 2002 පෙබරවාරි මාසයේදී අත්සන් කළ සටන් විරාම

ගිවිසුමෙන් ප්‍රභාකරන් 2003 අප්‍රේල් මාසයේදී ඉවත් විය. ඒ නැවත යුද්දයට මාර්ගය විවෘත කිරීමටය. ද්‍රවිඩ ජාතික සංධානය ත්‍රස්තවාදීන් සමග එක ස්ථාවරයකට පැමිණ තිබිණි. දෙපාර්ශ්වයම 13 වැනි සංශෝධනය යටතේ බලය බෙදීමෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ කළේය.

බලය බෙදීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සමග සාකච්ජා කළ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 1993 මැයි මාසයේදී විනාශ කළ ප්‍රභාකරන් 2001 දෙසැම්බර් මාසයේදී මරාගෙන මැරෙන මිනිස් බෝම්බයකින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මරා දැමීමට උත්සාහ කළේය. ඇය අනූ නවයෙන් ජීවිතය බේරා ගත්තේය.

බලය බෙදීම සම්බන්ධයෙන් සැලකිය යුතු වැඩ කොටසක් කළ නිලන් තිරුචෙල්වම් මන්ත්‍රීවරයාට ද තම ජීවිතය පුජා කිරීමට සිදුවිය. ඒ මීට වසර 24 කට පෙරය. ඒ ඝාතනයත් මරාගෙන මැරෙන ද්‍රවිඩ බෝම්බකරුවෙක් කළ ‘හපන්කමකි.‘ අද සංහිඳියාව සම්බන්ධයෙන් පෙනී සිටින එකෙකුට යුද්දය කෙසේ හෝ ජයගත හැකි බවට ඔවුන් විශ්වාස කළ කාලයේ කළ අපරාධ කිසිවක් මතක නැත.

● පළාත් එකතු කළ නොහැක

පසුගිය ජුලි 18 වන දින පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා ද්‍රවිඩ පක්ෂ නියෝජිතයන්ට ප්‍රධාන කරන දෙකක් අවධාරණය කළේය. එනම් උතුරු සහ නැගෙනහිර පළාත් දෙක නැවතත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි. එලෙසෙම යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශීය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරීක්ෂකයන්ගේ වාර්තා පමණක් ලබා

ගැනීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම කරුණු දෙක සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ඉතාමත් වැදගත්ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මහජන නියෝජිතයන්ගේ ස්ථාවරයද එයම විය යුතුය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1988 සැප්තැම්බර් මාසයේ දී නැගෙනහිර පළාත උතුරු පළාත සමග එක්කළේ ඊට පෙර වසරේ අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුම අනුවය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වූ පරිදි නැගෙනහිර පළාතේ ජනමත විචාරණයක් 1988 දෙසැම්බර් 31 ට පෙර පැවැත්වීමට නියමිත විය. ඒ නැගෙනහිර ජනතාව උතුර සමග සදාකාලිකව එක්වීමට කැමතිද /අකමැතිද යන බව ප්‍රකාශ කිරීමටය. එම ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලව දිගින් දිගටම ජනාධිපතිවරුන් කල් දැමීය. එම තත්ත්වය වෙනස් වූයේ රටේ ඉහළම අධිකරණය 2006 ඔක්තෝබර් මාසයේදී නීති ප්‍රකාරව නැගෙනහිර උතුරෙන් වෙන් කිරීමත් සමගය.

විදේශීය විනිසුරුවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධාරණය කළ කාරණාව 2015 ඔක්තෝබර් 1 වන දින ඔහුගේම නියෝගය මත (යහපාලන අග්‍රාමාත්‍යවරයා ලෙස) ශ්‍රී ලංකාව ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව සමග කළ ඒකාබද්ධ යෝජනාවට පටහැනිය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජුලි 18 වන දින සංහිඳියාව ඇතිකිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ කරුණු කාරණා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් මෑතකදී ඉදිරිපත් කළ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බව පිළිගත යුතුය.

නමුත් අතිශය අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ 13 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විපක්ෂයත් සමග බලාපොරොත්තුවන එකඟතාව කිසිසේත් ලබා ගත නොහැක. නමුත් ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය නැවත කරළියට ගෙන ඇත්තේ එම තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයකින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment