මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

916

නැගෙනහිර පළාතේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබක්

ගල් කණු සහ සඳකඩ පහන කඩා දමලා

දාගැබ ළඟට එනකම් ඉඩම් අල්ලලා වගා කරලා…

අවට සැම තැනකම පුරා වස්තු විසිරිලා….

කුමන ජාතියකට අයත් වුවද පුරා විද්‍යා උරුමයන් යනු රටකට මහා සම්පතකි. වත්මන් පරපුරේ යුතුකම වෙන්නේ එවන් මාහැඟි අතීත උරුමයන් අනාගත පරපුරට උරුම කරදීමයි. නමුත් කනගාටුවට කරුණ නම් ඒවා රකින්නට සාදා තිබෙන පුරාවිද්‍යාවේ තොත්ත බබාලාගේ මන්ද බුද්ධික කෙරුවාව නිසා දිනෙන් දින අතීත බෞද්ධ උරුමයන් ඩෝසර් තල පහරට, කුළු ලෙඩි පහරට වැනසී ඒ මත පල්ලි සහ කෝවිල් ඉදිවීමයි. මහා ශිෂ්ටාචාරයක් යළි කිසිදා මතු නොවන සේ වළ පල්ලට දැමීමයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා වස්තු සංහාරය

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

එදා පෙර රජ දවස මඩකලපුව පුරවරයේ මහා වෙහෙර විහාර, ආරාම සංකීර්ණ ඇතුළු පුදබිම් ඉදිව කෙත්වතු ඉදිව මහා සරු සාර, සශ්‍රීක යුගයක් පැවතුණි. අතීතයේ දිගාමඩුල්ලේ මහා සංවර්ධනයක් සමගාමීව මඩකලපුව පුරාවටද දහස් ගණනක් පුදබිම් බිහිව තිබුණි. එම සමයේ මඩකලපුව පවා රුහුණට අයත්ව තිබූ බව ඉතිහාසයේ සාක්ෂි දරයි. ඒ පිළිබඳව සෙල්ලිපි පවා මඩකලපුව ඓතිහාසික කුසලානගල කන්ද පුරාවිද්‍යා භූමියේ දක්නට ලැබේ.

මේ වන විටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන අති විශාල ප්‍රමාණයක් නැවත දකින්නට නොහැකි වන ආකාරයට විනාශ කර තිබේ.

ලැබුණු තොරතුරු මත මුළුමනින්ම වනසා දමන්නට ආසන්නයේ තිබෙන එවන් ඓතිහාසික මහා දාගැබක් සොයා අපි මඩකලපුව එරාවුර් ප්‍රදේශයට ගියෙමු. මඩකලපුව මංගලාරාමාධිපති, අම්පාර සහ මඩකලපුව දෙදිශාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන්, නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගම්පහ නාරද නාහිමි, පූජ්‍ය මහියංගනයේ විමලකිත්ති හිමියන් ඇතුළු හිමිවරුන් සමගින් දිවයිනේ අපිද ඒ ගමනට එක්ව සිටියහ.

එරාවුර් මාවඩිවෙම්බු ප්‍රදේශයට ගිය අපිට ප්‍රධාන මාර්ගයෙන් හැරී මුහුද දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගමන් කරන්නට සිදුවූහ. එතැන් සිට වාහනයෙන් යෑමට නොහැකි විය. එනිසා පා ගමනින් තවත් කිලෝ මීටරයකට අධික දුරක් කැකෑරෙන ගිනියම් අව්වට රත්වුණ වැලි තලාව මතින් පා ඔසවන්නට සිදුවිය.

මාවඩි වෙම්බු ප්‍රදේශයේ ජනතාව මෙම ප්‍රදේශය හඳුන්වන නම වන්නේ විහාර තෝට්ටම් සහ විහාර පුරම් යන නම් වලිනි. ඒ මෙම රජමහා විහාරය නිසාය. ජනතාව මෙම පුදබිමටද විහාරතෝට්ටම් පන්සල යැයි කියති. අතීතයේ රජ දවස මෙම පුදබිමට වෙනත් නමක් භාවිත කරන්නට ඇත.

පරිවාර දාගැබ් සතරක්

අප දුටු දෙයින් විස්මයට පත් වුණෙමු. සේරුවාවිල දාගැබටත් වඩා විශාල වසර සිය දහස් ගණනක් ඉපරණි අනුරාධපුර සමයට අයත් යැයි අනුමාන කළ හැකි මහා දාගැබක් අද ඛේදනීය ඉරණමකට මුහුණ පා තිබේ. එහි දැනට ඉතිරිව ඇත්තේ අඩි 07ක් පමණ උස ප්‍රමාණයට ඉතිරිව ඇති දාගැබේ ගර්භයේ පහළ කොටස ඇතුළු පුරා වස්තු කිහිපයක් පමණි. මුළුමනින්ම ඉදිකර ඇති බවට අනුමාන කළ හැකි මෙම පුදබිමේ දාගැබේ ඉහළ කොටස නොමැත.

එදා මහ වනයට යටව තිබුණ මහා දීඝවාපි පුදබිම සොයා කොහුකුඹුරේ රේවත හිමියන් එම පුරවරයට වැඩම කරද්දි අන්‍ය ජාතිකයන් දීඝවාපිය මහා සෑයේ ගඩොල් රැගෙන යමින් තිබියදී හමුව ඇත. “කොහෙන්ද මේ ගඩොල් කියා අසද්දි” ඔවුන් අතන ගඩොල් කන්දක් තියෙනවා එතනින් ගෙන එනවා යැයි පවසා තිබුණි. එසේ නම් මෙම දාගැබේ ඉහළ කොටසේ ගඩොල් වලටත් ඒ දේම සිදුවූවාදැයි අනුමාන කළ හැක්කේ එම දාගැබේ ගරා වැටුණු කොටස් පහළ ඇත්තේ අඩු වශයෙනි.

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

මෙහි සිව් දෙසින් පරිවාර දාගැබ් සතරක් තිබී ඇත. එක් පරිවාර දාගැබක් නටබුන් මහා දාගැබට යාර 20 කට පමණ දුරකින් පිහිටා තිබේ. මෙම පුදබිමේ අනෙක් තුන් පැත්තම දාගැබේ පාදමට යාර දහයක් පමණ දුරකින් කටුකම්බි වැටවල් ගසා වගා කර තිබෙන නිසා පරික්ෂා කිරීමට නොහැකි විය. ඒවා මේ වන විට යළිත් කිසිදා දකින්නට නොහැකි වන සේ විනාශ කර තිබෙන ආකාරයක් පෙණුනි.

පුරාවස්තු මත ඉදිවන කෝවිල

මෙම මහා දාගැබට මීටර් සියයකට ආසන්න දුරකින් මෑතකදී ඉදිකරමින් තිබෙන කෝවිලකි. එය පුරාවස්තු මත ඉදිවෙමින් තිබෙන බව හොඳින් පැහැදිලි වේ. කෝවිල් භූමිය කටුකම්බි වැටක් ගසා වෙන්කර තිබේ. එම ඉඩම තුළ වැට අයිනේ අලංකාර පාදම් ගල් කිහිපයක් සහ ගල්කණු රැසක් ගොඩ ගසා තිබේ. එම දේවාලයේ වැට ආසන්නයේ පිටතට වන්නට පස් ගොඩැල්ලක් ඇති අතර මෙම මහා විහාර භූමියේ ඉදිව තිබුණ ආරාම ඇතුළු ගොඩනැගිලි යැයි අනුමාන කිරීමට සාක්ෂි තවමත් ඉතිරිව තිබේ.

මෙම මහා දාගැබ පාදමේ සිට මීටර් දහයකට ආසන්න දුරකින් ගසා ඇති වැට මුල පුරාවිද්‍යාවේ මායිම් ගල් දමා අනෙක් පුරාවස්තු විනාශ කරන්නට ඉඩ සලසා දීම ජාතියේම අවසනාවකි.

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

නැඟෙනහිර සිංහල ගම්බිම් රකිමින් උරුමය සුරකින්නට නිරන්තරයෙන් කටයුතු කරන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

මම වසර 30කට අධික කාලයක් භික්ෂුවක් ලෙස නඩු 130කට අධික ප්‍රමාණයකට මුහුණ දීලා මේ ශාසනික විනාශය ගැන ජාතික උරුමයන් විනාශ වීම ගැන අවධානය යොමු නොකරන නිලධාරීන් සමග ගැටෙමින් කටයුතු කරන්නේ මේවා මතු පරම්පරාවට රැකගන්න. අද උදාවෙලා තියෙන්නේ එදා වේල කන්න නැති අසීරු අවධියක්. එවන් අවස්ථාවක අන්‍ය ජාතික අන්තවාදීන් විහාර තෝට්ටම් වැනි මහා වෙහර විහාර විනාශ කරද්දි ඒ මත පුරාවස්තු විනාශ කරලා කෝවිල්, පල්ලි හදද්දි නැඟෙනහිර අලුත් ඉතිහාසයක් ගොඩනගද්දි ඒවා රැක ගන්න සිද්ධ වෙලා තියෙනවා.

විහාර තෝට්ටම් පුදබිම විනාශ කළ අය අත්අඩංගුවට ගත යුතුයි. නිසි පරිදි මැනලා පුද බිමෙහි මුළු ඉඩමේම ඇති පුරාවස්තු ආරක්ෂා කර ගත යුතුයි. මේවා කැණීම් කරලා සංරක්ෂණය කරන්න ඕන. මේවා විනාශ වෙන්න ඇරලා බලන් ඉන්න පුරාවිද්‍යාවට පුළුවන් වුණාට අපිට බැහැ. පුරාවිද්‍යාවට මේවා රකින්න බැහැ කියලා නැගෙනහිරට, උතුරට එන ඕන අයෙකුට පේනවා. එම නිසා දැන්වත් අපිට මෙම ස්ථානයේ පන්සලක් හදන්න අවසර දෙන්න. වසර දහස් ගණනක් වටිනා උරුමයන් අපි රැකලා දෙන්නම් යනුවෙන් අම්පිටියේ සුමනරතන හිමියන් අදහස් දක්වමින් පවසා සිටියහ.

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

කවදත් නැඟෙනහිර උරුමයන් රකින්නට නිරන්තරයෙන් හඬ නගන නැගෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

මේ වන විට නැඟෙනහිර පළාත පුරා පුරාවිද්‍යා උරුමයන් දිනෙන් දින විනාශ වෙමින් තිබෙනවා. ඒවා රැක ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. පුරාවිද්‍යා ඇමැතිගේ සිට පහළ දක්වා පුරාවිද්‍යා උරුමයන් රකින්නට නිසි පූර්වාදර්ශයක් දෙන්නේ නැහැ. අපේ පෞඪත්වය, අභිමානය, යශෝරාවය රකින්නට සැබෑ ලෙසම කටයුතු කරන්නේ නැහැ. වරදාන, වරප්‍රසාද, දොල පිදේනි හමුවේ මහා පරාක්‍රමබාහු රජු වුණත් වළ දාන්න නිලධාරීන් කැමැත්තෙන් ඉන්නේ. අද පුරා විද්‍යා ඇමැතිගේ සිට බොහෝ දෙනෙක් වැඩ බැරි ටාසන්ලා බවට පත්වෙලයි ඉන්නේ. පුරාවිද්‍යා ස්මාරකයක සිට යාර හාර සීයක දුරක් පුරා විද්‍යා ස්මාරකයන් වශයෙන් හඳුන්වනවා. කෝ මෙතන එහෙම එකක් තියෙනවාද? යාර 10ක් දුරින් එළවළු වගා කරනවා.

මේ ආකාරයට මෙම ස්ථානයේ පමණක් නොව නැගෙනහිර පළාත තුළම ඇති තත්ත්වය වන්නේ පුරාවස්තු විනාශ කිරීමය. අක්කරපත්තුව මොට්ටයාගල මේ ආකාරයට ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර දමා තිබේ. වට අඩි හාර පන්සියයකින් යුත් තිරුක්කෝවිල් දාගැබ නිධන් ගැනිම සදහා ඩෝසරයකින් දෙපළු කර ඇත. සාගම දාගැබද මේ ආකාරයෙන් නිධන් හොරුන් විසින් විනාශ කර තිබේ. මේවා මේ ආකාරයෙන් මුළුමනින්ම විනාශ කර දැමුවද පුරා විද්‍යාවට වගේ වගක් නැත. හැබැයි ගැටලුවක්ව ඇත්තේ මේවා රකින්නට හඬ නගන අය පිළිබඳවය.

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සමයේ පුරා වස්තු සංහාරය සිදුවූවේ අඩු වශයෙනි. ඇය එවන් අවස්ථා වලදි ඉතා කඩිනමින් ක්‍රියාත්මක වී නිලධාරීන් දැනුවත් කර අදාළ උපදෙස් ලබා දෙමින් මෙම ඉපැරණි උරුමයන් ආරක්ෂා කරගන්නට මහත් වෙහසක් ගන්නා ලදි.

නමුත් ඇය දැන් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ නැත. වත්මන් ආණ්ඩුකාරවරයාගේ ආගමනයත් සමග ටී. එන්. ඒ. සංවිධානය ඇතුළු අන්තවාදී සංවිධාන ඇතුළු පුද්ගලයන් සිය තක්කඩි වැඩ වෙනදාටත් වඩා ශක්තිමත්ව කරගෙන යනු ලබයි. ඒ අනුව නැඟෙනහිරින් පුරාවිද්‍යා උරුමයන් සංහාරය කිරීම වේගවත්ව ඇත.

වත්මන් ආණ්ඩුකාරවරයාගේ යුතුකම වනුයේ කාගෙත් අත කොළුවක් නොවී සාධාරණ ලෙස සිය රාජකාරිය ඉටු කිරීමය. එසේ නොවුණහොත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

දියුණු තාක්ෂණයක් තිබුණද අතීත රජවරුන් මෙන් මහා දාගැබ් ඉදි කිරීමට අද නොහැකිව ඇත. මහා උරුමයක් වූ ඓතිහාසික දිඝවාපී මහා සෑ රදුන්ද තවමත් වැඩ අවසන් කිරීමට නොහැකිව ඇත. අලුතින් හදනවා වෙනුවට එදා වැව් අමුණු ඉදි කරමින් ගොඩ නැගූ මහා බෞද්ධ ඉතිහාසයේ උරුමයන් ටිකවත් මතු පරම්පරවට දැක ගන්නට වන්දනා මාන කරන්නට රැකගන්න වත්මන් පාලකයන්ට මෙන්ම බලධාරීන් නොහැකිව කාලකන්නින් පිරිසක් බවට පත්ව ඇත.

මතු පරපුර වෙනුවෙන් අමිල වටිනාකමකින් යුත් පුරාවිද්‍යා උරුමයන්වල පල්ලට යවන සහ ඒවා වළක්වන්නට කටයුතු නොකරන තක්කඩි නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන්ගේ හත්මුතු පරම්පරාවටම මතු පරපුරේ ශාපය වැදෙනු ඇත.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment