මහ බැංකුවට බෝම්බ ගැසූ දෙන්නත් නිදහස්…හමුදා සෙබළුන්ට නිදහස ලැබෙන්නේ කවදාද?

286

එල්ටීටීඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා හමුදා උතුරේ දෙමළ ජනතාවට මෙන්ම සමස්ත රටවැසියනට නිදහස දිනා දුන්නේ ඉකුත් 2009 වසරේදීය. එහෙත් යුද්ධය නිමා වී වසර 14 ක් ගෙවී ගිය අද දිනයේ ඒ පිළිබඳ ලවක් දෙවක් නොදත් ඇතැමුන් කියන්නේ නිදහස නොව, රජයේ හමුදා යුද්ධයේ අවසන් කාලයෙදී දෙමළ ජන සංහාරයක් කළ බවකි.

මේ ජනසංහාර කතාව යනු මෙරට යුද්ධය අවසන් වී වසරක් පමණ ඉක්ම යෑමේදී මතුවී ආ එකකි. එකී ප්‍රකාශය මුලින්ම කරනු ලැබුවේ උතුරේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ය. එහි නිර්මාතෘන් වූයේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවය.

අද දවසේ එකී ඊනියා ප්‍රකාශයට යළි තටු දෙන ප්‍රබලම චරිතය බවට පත්ව සිටින්නා කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝය. ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව ටෲඩෝ දන්නා ඉටිගෙඩියක් නැත. ඔහු දැන සිටින එකම දෙය වී තිබෙන්නේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කැනඩාවේ බලවත්ව සිටින්නේ යැයි යන්නය. ඒ බව දන්නා ටෲඩෝලා දේශපාලන බලය හමුවේ මෙවන් දේ ප්‍රකාශ කිරීමේ අරුමයක්ද නැත.

එසේ වුවද ස්වාධීන රාජ්‍යයක ස්වෛරීත්වයට මේ අන්දමින් අභියෝග එල්ල කිරීම තවත් රටක රාජ්‍ය නායකයකුට තරම් නොවන්නකි. ඒ අවබෝධය කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට තිබිය යුතුය. මේ බව දැන දැනත් ජස්ටින් ටෲඩෝ වැන්නවුන් බලය හමුවේ එවැනි නොමනා ප්‍රකාශ කිරීමේදී ලංකාවේ අය එවැන්නන් දෙස බලා කීවේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියාය.

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ වැන්නවුන් එසේ ව්‍යාජයන්ට තටු දෙද්දී කොටි හිතවාදී ඩයස්පෝරාවේ නිර්මාණයක් වූ මෙකී දෙමළ ජනසංහාර කතාව ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් අවසානයේ එය ජිනීවා මානව හිමිකම් කොමිසම වෙතටද රැගෙන ගියේය.

ජාතිවාදය හා බෙදුම්වාදය කරපින්නාගෙන ගිය ඔවුන් එසේ විජාතික ප්‍රජාවක් ඉදිරියේ ඉපදුන භූමියට දෙස්දෙවොල් තබමින් ද්‍රෝහීන්ව කටයුතු කරන අතරේ කියන්නට වූ තවත් කතාවක්ද විය. එය වූයේ බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරපියව් යන්නය.

ඔවුන් මෙහිදී දේශපාලන සිරකරුවන් ලෙසින් හඳුන්වනු ලැබුවේ කවරෙක්ද? ඔවුහු සියලු දෙනා භිහිසුණු බෝම්බ ප්‍රහාර එල්ල කරමින් දකුණේ නිරායුධ මිනිසුන් අමු අමුවේ මරා දැමීමට කටයුතු කළ දරුණු ගණයේ ත්‍රස්තවාදීහු වූහ.

මහ බැංකුව, පිටකොටුව බෝධිය, දුම්රියපළවල්, බස් රථ දුම්රිය මැදිරි ආදී ලෙසින් එකී ත්‍රස්තවාදීහු එදා විවිධ තැන්හි බෝම්බ පුපුරවා හරිද්දී ඒවායේ ගොදුරු බවට පත්ව මියගියෝ අපේ දරුවෝය. මව්වරුය. පියවරුය. කෙටියෙන්ම කිවහොත් ඔවුහු සියලු දෙනා මේ රටේ සිටි නිරායුධ අහිංසක පුරවැසියෝ වූහ.

පසුගිය අරගලයේදී රැල්ලට ගොස් පල්ලියෙන් බණ අසා පන්සලේ ගීතිකා කියන්නට සැරසෙමින් යටට ඇන්ද එක ගලවා වැටේ එල්ලා අපි එක්කොම රජවරු යැයි කියා හුරේ දැමූ වත්මන් ‘ටික්ටොක්’ පරපුරේ මෝඩ පැටව් නොදැන සිටියාට එකී ප්‍රහාරයන්හි වින්දිතයන්ව වේදනා විඳින මිනිස්සු තවමත් මේ රටේ සිටින්නාහ.

දකුණේ ජනතාව ඉලක්ක කර ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් එවැනි නරුම ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙසින් හැඳින්වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් ඔවුන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම් හමුවේ එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ආරම්භ විය.

මහ බැංකුවට බෝම්බ ගැසූ දෙන්නත් නිදහස්…හමුදා සෙබළුන්ට නිදහස ලැබෙන්නේ කවදාද?

අපේ මතකය නිවැරදි නම් ඒ ආරම්භ සිදුවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වීමට ආසන්නව තිබියදීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනධිපති වීමෙන් පසුවද එය සිදුවෙමින් තිබුණා අපට මතකය. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද එය සිදු කරමින් ඇත.

කොටි සිරකරුවන් නිදහස් කිරීමේ එකී වැඩපිළිවෙළ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළ ප්‍රබල කොටි සාමාජිකයකු වූ මොරිස් නමැත්තා නිදහස්ව ගියේය.

එසේම කොළඹ පුරහලදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් ඇයට එක් ඇසක් පවා අහිමි කරනු ලැබූ ත්‍රස්තවාදී සිරකරුවන් දෙදෙනකුද ඒ අන්දමට නිදහස් කරනු ලැබිණි.

කොටි සිරකරුවන් නිදහස් කර යැවීමේ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ යටතේ කොටි ත්‍රස්තවාදීන් ගණනාවකට පසුගිය කාලයේ එසේ නිදහස හිමිවිය. මේ අතරේ 1996 ජනවාරි 31 වැනිදා කොළඹ මහබංකු ගොඩනැගිල්ලට භිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර එය පුපුරවා හරිමින් ජීවිත රැසක් වැනසීම හමුවේ අධිකරණයෙන් වරදකරුවන් කර දීර්ඝ කාලීන සිරදඬුවම් විඳමින් සිටි ත්‍රස්තවාදී සිරකරුවන් දෙදෙනාද ඉකුත් සතියේදී ඒ අන්දමට නිදහස්ව ගියේය.

මාරාන්තික ප්‍රහාර එල්ලකරමින් දකුණේ ජනතාව පොකුරු පිටින් ඝාතනය කරනු ලැබූ ත්‍රස්තවාදී සිරකරුවන් මේ අන්දමට නිදහස් කර යැවීම නිවැරදි වන්නක්ද? ත්‍රස්තවාදී සිරකරුවන්ට මෙසේ නිදහස හිමිවෙද්දී ඇතැමෙකු තුළ එවැනි ගැටලුවක් මතුවිය හැකිය.

තිස් වසරක් පුරා මේ රට ගිලගෙන තිබූ කොටි ත්‍රස්තවාදය සහ යුද්ධය අපට ඉතිරිකර ඇති දේ බොහෝය. ඒ සියල්ල ඉතා කටුක අමිහිරි වේදනා ගෙන දෙන දේය. එය සත්‍යයකි. එහෙත් බෙදුම්වාදී දේශපාලනඥයන් ඉල්ලා සිටියද එසේ නොකළද කොටි සිරකරුවන් ලෙසින් බන්ධනාගාරගතව සිටි මේ මිනිසුන්ට මීටත් වසර පහ හයකට ඉහතදී එකී නිදහස හිමිවූයේ නම් එය ඉතාම නිවැරදි යැයි අපේ හැඟීමය.

ඔවුන් මහා අපරාධ සිදුකළ බව සැබෑවකි. එකී අපරාධ හමුවේ දකුණේ මිනිසුන්ගේ සිත් හිරිවැටී ගිය බවද සැබෑවකි. ඔවුන් එල්ල කළ ප්‍රහාර හමුවේ ගලා ගිය රතු ලෙයින් මේ පොළොව සේදී ගිය බවද සැබෑවකි. මේ සියල්ල සිදුවූයේ ත්‍රස්තවාදය සහ යුද්ධය හමුවේය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් සිය ඉලක්කය ජයගනු පිණිස මේ මිනිසුන්ගේ මොළ සෝදා ඔවුහු දකුණට එවූහ. ඒ හදවත්වල ශේෂවී වී තිබුණේ වෛරයම පමණි. ඔවුහු හදවතේ වූ ඒ වෛරය දකුණේ අහිංසක ජනතාව ඉලක්ක කර මුදා හැරියහ. අවසානයේ ඔවුන්ට සිදුවූයේ ඒ කළ වැරදි නිසා සිරගත වන්නටය.

එසේ එල්ටීටීඊ සිරකරුවන් ලෙසින් සිරගත වූ ඔවුන් සිර මැදිරියක් තුළ විඳවූ ජීවිත කාලය වසර පහළොව, විස්ස සහ විසිපහ ආදී ලෙසින් ගෙවී ගියේය. ඉතින් යුද්ධය නිමාවී මේ වන විට දාහතර වසරක්ම අවසන්ව තිබේ නම් ඔවුන්ව තවදුරටත් සිරගතකර තබා ගනුයේ කුමකටද?

එදා ප්‍රභාකරන් විසින් සෝදා දැමූ ඔවුන්ගේ මොළ යළි ප්‍රකෘතියට පත්වන්නට ගෙවී ගිය ඒ කාලය හොඳටෝම ප්‍රමාණවත්ය. ඔවුන්ටද දරුපවුලක් තිබීමට පුළුවන, දෙමාපිය ඥාතීන් සිටීමට පුළුවන. එනිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවිතයේ ඉතිරි කාලය සිය හිතෛෂීන් සමඟ ගත කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දීම ඉතා වටිනා ක්‍රියාවක් බව අපි කියන්නෙමු.

අප එසේ කියන්නේ සදාකාලික වූ බුදු වදනට අනුව වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැති නිසාය. ඔවුන් සිරකර තබා ගනිද්දී එල්ලවූ ප්‍රහාර හමුවේ වැනසී ගිය ජීවිතවලට යළි පණ නොලැබෙන්නේ නම්, දෑත් දෙපා අහිමි වූවන්ට ඒ කිසිත් යළි නොලැබෙන්නේ නම් ඒ මිනිසුන් සිරකරගෙන තබා ගැනීමේ ඇති ප්‍රතිඵලය කුමක්ද?

මෙරට බන්ධනාගාර දෙස බලා අප හැමදාමත් කියන පරිදි මේ මොහොතේත් කියන්නේ කිසිවකුත් කරන වරදක් හමුවේ සදාකාලික සිරකරුවකු විය යුතු නැතැයි කියාය. ජීවිතය යළි සකසාගෙන සමාජගත වන්නට සියලු වැරදිකරුවනට අවස්ථාවක් ලැබිය යුතුය.

යමෙක් සිරගතව කිරීමෙන් පසු වසර දහයක් පමණ ගතවෙද්දී එකී ජීවිතය යළි නිවැරදි මාවතට ගෙන එන්නට අපට නොහැකි නම් ඉන් කියැවෙන්නේ අපේ අසමත්කමය. රාජ්‍යයයේ නොහැකියාවය. අවම තරමේ වසර පහළවකින්වත් එය සිදුකළ නොහැකි නම් මේ රටේ බන්ධනාගාර කියන කොටසින් පුනරුත්ථාපනය යන්න ඉවත් කිරීම සිදු කළ යුතුම දෙයකි.

සුන්දර වදන් තිබුණාට වැඩක් නැත. අවශ්‍ය වන්නේ එකී වදන් අරුත් ගැන්වීමය. එය සිදු නොවන්නේ නම් එයින් ලෝකයට කියැවෙන්නේ රාජ්‍යයේ පවතින ක්‍රමවේදයේ ඇති බංකොලොත් බව නොවේද?

එනිසා මේ අන්දමට එල්ටීටීඊ සිරකරුවන් නිදස් කර යැවීමේ කිසිදු වරදක් නැත. තවත් එවැනි සිරකරුවන් සිටීනම් ඒ සියලු දෙනා නිදහස් කර යැවීමට දෙවරක් නොසිතා කටයුතු කරන්නැයි අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කියන්නෙමු.

එහෙත් මෙහිදී අපට මතුවන එකම එක ප්‍රශ්නයක් ඇත. මෙසේ නිදහස් කර යැවිය යුත්තේ එල්ටීටීඊ සිරකරුවන් පමණක්ද? නැත. යුද්ධය හේතුවෙන් දැනට සිරගතව සිටින සියලු හමුදා සාමාජිකයන්ටද ඒ නිදහස ලබා දීමට රනිල් වික්‍රමසිංහ රජයේ වගකීමය.

එල්ටීටීඊ සිරකරුවාත් හමුදා විරුවනුත් මේ වන විට සිරගතව සිටින්නේ අමිහිරි යුද්ධයේ හේතු කාරණා නිසා නම් එල්ටීටීඊ සිරකරුවන්ට පමණක් නිදහස හිමිවීම කිසිසේත්ම සාධාරණ නැත.

එල්ටීටීඊ සිරකරුවන් වෙනුවෙන් දෙමළ දේශපාලනඥයන් හඬ නඟද්දී දේශපාලන වේදිකාවල රණවිරුවන් කියමින් පපුවට අත තබා වැළපී බලයට පැමිණි අපේ දකුණේ බොහෝ දේශපාලනඥයෝ නිහඬවම සිටින්නාහ. බලයට පැමිණීමට රණවිරු දුක, ඔරුව කරගෙන ග`ගෙන් එගොඩ වූ ඔවුහු අද ගොඩගිය ඔරුව ගඟ දියේ පා කර දැමූ අකෘතඥයෝ බවට පත්ව සිටින්නාහ.

යුද්ධය හේතුවෙන් බන්ධනාගාරගතව මේ මොහොත වන විට දුක් විඳිමින් සිටින හමුදා සහ පොලිසියේ සියලු සාමාජිකයන් ගණන කීයක්දැයි යන්න අපට නිවැරදි වැටහීමක් නැත. එහෙත් යුද හමුදා සාමාජිකයන් අට දෙනකු හා එක් පොලිස් නිලධාරියකු දැනට විසිවසරකටත් වඩා අධික කාලයක සිට සිරගතව සිටින බව අපි දනිමු. එයින් එක් පිරිසක් වන්නේ චෙම්මනි ඝාතන සිද්ධිය හමුවේ විසිහත් වසරක කාලයක සිට සිරගතව සිටින කෝප්‍රල් රාජපක්‍ෂ, ලාන්ස් කෝප්‍රල් ඩී. එම්. ජයතිලක, සෙබළ ජේ. එම්. ජයසිංහ, සෙබළ ඒ. එස්. පී. පෙරේරා සහ පොලිස් කොස්තාපල් ප්‍රදීප් ගුණසේකර යන අයය.

7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කළ එම හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරියා චෙම්මනි සිද්ධිය හමුවේ අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසු 1996 වසරේදී ඔවුන්ට මරණ දඬුවම නියම කරනු ලැබීය. සිරගත කාලය තුළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ අසාධාරණයක් හමුවේ විසිහත් වසරක කාලයක සිට සිරගතව සිටින ඔවුන් අද මූලික අයිතිවාසිකම් පෙත්තසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පවරා ඇත.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයෙන් සිය ගණනක් අහිංසක ජනතාව මරා දැමූ කොටි ත්‍රස්තවාදීන් දෙදෙනාට නිදහසක් හිමි වන්නේ නම් මේ පිරිස තවත් සිරගතව සිටිය යුතුද?

කිසිසේත්ම නැත. සිරගතව සිටි කොටි සාමාජිකයනට ලැබුණු නිදහස මොවුන්ටද හිමිවිය යුතුය. මෙසේ සිරගතව සිටින නව දෙනා අතරින් අනෙත් සිව්දෙනා වන්නේ අත්අඩංගුවට ගනු ලැබූ කොටි කාන්තාවක් මිය යෑම හේතුවෙන් මරණීය දණ්ඩනය හිමිවූ කෝප්‍රල් ගාමිණී, ලාන්ස් කෝප්‍රල් සරත්චන්ද්‍ර, ලාන්ස් කෝප්‍රල් කිත්සිරි සහ සෙබළ නිශාන්ත යන සිව් දෙනා වන්නාහ.

ලැබුණු දඬුවම අභියෝගයට ලක් කරමින් ඔවුන් විසින් මීට වසර පහළොවකට පෙර අභියාචනයක් ඉදිරිපත් කර ඇතත් වසර පහළවක් ගතවීත් අදටත් එකී අභියාචනයට පිළිතුරක් ලැබීද නැත. එක් කොටි කාන්තාවක් මිය යෑම හමුවේ ඔවුන් වසර පහළවක් ගතවී අදටත් සිරගතව සිටියදී මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කළ කොටි සාමාජිකයන් නිදහස් වන්නේ නම් එහි ඇති සාධාරණය කුමක්ද?

නිදහස ලැබූ කොටි සාමාජිකයන්ට මෙන්ම එකී හමුදා සාමාජිකයන්ටද දරු පවුල් ඇත. දෙමාපියන් ඇත. සමීපතමයන් ඇත. විසිවසරකටත් අධික කාලයක සිට සිරගතව සිටින ඔවුන්ට එකී සමීපතමයන් සමඟ ඉදිරි ජීවිත කාලය ගත කිරීමට අවස්ථාව ලබා දී කොටි සිරකරුවන් නිදහස් කළාක් සේම නිදහසක් ලබා දීම ඉතාම සාධාරණය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමාව යටතේ මහ බැංකු ප්‍රහාරයේ කොටි සිරකරුවන් දෙදෙනා නිදහස් කළාක් සේම හමුදා සාමාජිකයන් වෙනුවෙන්ද සාධාරණය ඉටුකරනු ඇතැයි අපේ විශ්වාසයය.

එකී හමුදා සාමාජිකයන් පමණක් නොව, කිසියම් වරදක් හමුවේ වසර පහළවකට වැඩි කාලයක් සිරගතව සිටින සියලු දෙනා නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් එය යහපතක්ම වනු ඇතැයි අප මේ අවස්ථාවේ යළි යළිත් සඳහන් කරන්නේ සමස්ත බන්ධනාගාර පද්ධතියම රටට බරක් වී තිබෙන නිසාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment