තාක්ෂණික කමිටු අධීක්ෂණය නැතිව කෝටි 60ක සීටී ස්කෑන් ගන්න හදනවා – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

35

විධිමත් තාක්ෂණික කමිටු අධීක්ෂණයකින් තොරව රුපියල් කෝටි හැටකට වැඩි වටිනාකමින් යුත් සීටී ස්කෑන් යන්ත්‍ර 03ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය රෝහල් සඳහා මෙම සීටී ස්කෑන් යන්ත්‍ර ත්‍රිත්වය මිලදී ගැනීම සඳහා දෙවැනිවර පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේදී අදාළ විකිරණ තාක්ෂණවේදී නිලධාරියා ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ද එම සංගමය චෝදනා කරයි.

මුල් අවස්ථාවේ පත් කළ අදාළ කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර තිබුණ ද දෙවනවර නැවත පත් කළ ක්‍රමයෙන් අදාළ නිලධාරියා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ කාගේ වුවමනාවකට දැයි ප්‍රශ්නගත බවද එම සංගමය පවසයි.

රෝහලක පරීක්ෂණ සේවා ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පිරිවිතරයන් ගෙන් යුක්ත යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම එය අවසාන භාවිතකරු වන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු අත්‍යවශ්‍ය බව එම සංගමය කියයි. එසේ සිදු නොවන අවස්ථාවල මෙලෙස නාස්ති කිරීමට සැරසෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් බවත් සෞඛ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පියවර ගතයුතු බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment