තායිලන්තයේ දුර්ලභ නිවුන් අලි උපතක්

185

තායිලන්තයේ බැංකොක් අගනුවර සත්ත්වෝද්‍යානයක සිටින ඇතින්නක් විසින් දුර්ලභ ගණයේ නිවුන් අලි පැටවුන් දෙදෙනකු ඊයේ (14දා) බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චුරි’ නමැති ඇතින්න විසින් මෙසේ බිහිකර ඇති නිවුන් අලි පැටවුන් දෙදෙනා ගැහැණු හා පිරිමි අලි පැටවුන් වන අතර ලොව අලි උපත් අතර නිවුන් පැටවුන් මෙන්ම විෂම ලිංගික නිවුන්නු විරල බව වාර්තා වේ.

චම්චුරි ගැබ් ගෙන සිටි අවස්ථාවේ ඇයට ලැබීමට සිටිනුයේ නිවුන්නු බව හඳුනාගෙන නොසිටි අතර අයුත්තයා අලි විමනේදී ප්‍රථම අලි පැටවා පිටතට ගැනීමෙන් පසු සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් එම පැටවා ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී ඇතින්න විසින් තවත් අලි පැටවකු බිහි කර තිබේ. දෙවැනි අලි පැටවා බිහි කිරීමෙන් පසු ඇතින්න බියට පත්ව කලබල කිරීමට පටන් ගෙන ඇති අතර එම අවස්ථාවේ ඇත් ගොව්වන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇයව පාලනය කර තිබේ. එහිදී ඇත්ගොව්වකු තුවාල ලබා ඇති බව වාර්තා වී ඇත. මෙම දුර්ලභ නිවුන් අලි දරු උපත සිදු කළ ඇතින්න මෙන්ම අලි පැටවුන් දෙදෙනාද සුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව පුරා අලි උපත්වලින් නිවුන් උපත් වාර්තා වනුයේ සියයට එකක් තරම් සුළු ප්‍රතිශතයක් බව පශු වෛද්‍යවරු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment