තොටුපළ අයිනේ සුසුම් හෙළන්නේ…

212

ගල්වැටියත් ජීවිතයත් අතර ධීවරයෝ සටනක

මාරවිල මූදුකටුව ධීවර තොටුපොළ නිසි ලෙස ඉදිකර නොමැතිවීමෙන් එහි ධීවර කටයුතු පවත්වා ගෙනයෑමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇති බව ප්‍රදේශයේ ධීවර ජනතාව පවසති.

වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර ඇති ගල් වැටිය තොටුපොළක් පවතින ස්ථානයක ඉදිකිරීමට උචිත ක්‍රමවේදයකට ඉදි නොකිරීමද මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බව ධීවර ජනතාව පවසති.

ධීවර යාත්‍රා හා තෙප්පම් දෛනිකව දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ධීවර කටයුතුවල නියැලෙන අතර එම ධීවර යාත්‍රා හා තෙප්පම් ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩක් තොමැතිවීමෙන් යාත්‍රා හා තෙප්පම් විශාල ප්‍රමාණයක් ගාල් කිරීමට සිදුව ඇත්තේ මූදුකටුව දේවස්ථානය ඉදිරිපිටය.

ඇතැම් අවස්ථාවල මුහුද ආසන්නයේම ගාල් කර ඇති ධීවර යාත්‍රා මුහුද රළු වනවිට තෙප්පම් හා දැල් අම්පන්නද සමග මුහුදට ගසාගෙන ගෙන යෑම සිදුවේ.

තොටුපළ අයිනේ සුසුම් හෙළන්නේ…

පවතින තත්වය සම්බන්ධව කීප අවස්ථාවකම ධීවර ජනතාව අදාළ බලධාරීන් දැනුවත් කළද මේ වන තෙක් ස්ථිර විසඳුමක් ලබා නොදුන් බවට ධීවර ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධව අදහස් දක්වන නිමල් ජයතිස්ස මහතා පැවසූවේ,

“අපි කොච්චර කල් ඉඳන්ද මේ තොටුපළ හදලා දෙන්න කියන්නේ. මේක සදහටම ඔහොම තමයි හැදිල්ලක් නෑ.

මේ ධීවර ජනතාව මහ ලොකු දේවල් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ තොටුපළක් හදන්න. මං දන්නැහැ රජයට කොයිතරම් මුදලක් මේකට වැය වෙනවද කියල. නමුත් අපි කියන්නේ ලොකු වැඩක් කරන්න නෙමෙයි. ගල්වැටිය වෙනස් කරල මෙතන ඉඩ අරන් දෙන්න කියලයි”

ජෙනට් කාන්ති මහත්මිය පවසන්නේ –

“අපි අසරණ වෙලා ඉන්නේ. අපට රස්සාවක් කරගන්න බෑ. වෙරළක් නෑ. අපේ අය මුහුදට ගිහිල්ල මාලු ටික අරන් ඇවිල්ල හරියට ගාල් කරන්න විදිහක් නෑ. ඒ වගේම මේ ගල් වැටියේ වැදිල බෝට්ටු කැඩෙනවා. ඒවා විනාශ වුණහම හදන්නේ කවුද? අපි මේවා අද ඊයේ නෙමෙයිනේ කියන්නේ. අවුරුදු ගාණක් තිස්සේ කියනවා. සමහර දේශපාලඥයින් එනවා මෙතන බලනවා. හදන්නම් කියනවා. බොරු පොරොන්දු දෙනවා යනවා.

තොටුපළ අයිනේ සුසුම් හෙළන්නේ…

සුදත් සිරිමල් පෙරේරා පැවසූවේ

“ධීවරයාට හැමදාම කුඩම්මගෙ සැළකිලි. අපි ගැන බලන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. ගොවි ජනතාව වගේ තමයි ධීවරයාත් මේ රටට විශාල වශයෙන් සේවයක් කරනවා. උදේ පාන්දර නැගිටලා අපි කොච්චර මහන්සි වෙලාද මේ මාලු ටික අල්ලන් එන්නෙ. ඒ ටික හරියට තෝරන්න විදිහක් නෑ. එතකොට මේ ගල් වැටියෙ බෝට්ටු වැදෙනවා.

ක්වීන්ටස් ප්‍රනාන්දු –

“මම අවුරුදු හතළිහකට වැඩියි මේ රස්සාව කරන්න අරන්. ඒ කාලේ නම් වෙරළක් තිබ්බා. හැබැයි පස්සෙ පස්සේ මේ වෙරළ අපිට ටිකෙන් ටික අහිමි වුණා. ගල්වැටි දැම්මා. මේ ගල්වැටිය අපි කියන දේ අහන්නේ නැතුව තමයි ඉදිකෙරුවේ. මේවා වීදුරු කාමරවල ඉඳන් කරන්න බෑ. මොකද ධීවරයා තමයි දන්නේ මේ වෙරළ කොයි විදිහටද හැසිරෙන්නෙ කියලා. මේවා නිසි ලෙස කෙරුවනම් රජයට මේ වගේ අමතර වියදම් යන්නේ නැහැ. අද බලන්න අන්තිමට වුණේ අපිට වෙරළ නැතුව ගියා. මේ ධීවර යාත්‍රා ගාල් කරගන්න තොටුපළක් නැතුව ගියා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment