පැය තුනකට හතරක් මැරෙන ‘අනතුරු’ ගැන භයානක කතාව

358

අනතුරු නිසා වසරකට 18000 ආසන්න ජීවිත රටට අහිමි වෙයි..

2023 වර්ෂයේ මාස කිහිපයට අනතුරුවලින් රෝහල්ගතව ඇති සංඛ්‍යාව මිලියන තුන පනී…

අනතුරුවලට පත්වන පුද්ගලයන් සනීප කරන්න රජය දරන වියදම අති විශාලයි…

ජනතාව අනතුරු වළක්වා ගැනීමට අවධානය යොමු කරනවා ඉතා අඩුයි…

ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුව අනතුරු…

ඇසිපිය හෙළන ඇසිල්ල අනතුරකට ප්‍රමාණවත්ය. බලාපොරොත්තු නොවූ හේතුවක් මත ඇති වන අසාමාන්‍ය තත්ත්වය එතරම් ම ප්‍රබලය. ඕනෑම මොහොතක ‘ඕනෑම සත්වයකුට’ අනතුරක් සිදු විය හැකිය. එමෙන්ම අනතුරු වර්ග දෙකකි. දැනුවත්ව සිදුවන අනතුරු සහ නොදැනුවත්ව සිදුවන අනතුරු ය. තවත් කෙනෙකුට හානියක් කිරීමේ අදහසින් පහරදීම්, වෙඩි තැබීම්, ස්ත්‍රී දූෂණ හෝ වෙනත් ආකාරයකින් අනතුරකට ලක් කිරීම් මෙන්ම සියදිවි හානි කරගැනීම් සහ ජීවිතය නැති කරගැනීමට තැත් කිරීම ‘දැනුවත්ව සිදුවන අනතුරු’ ගනයට අයත් වේ.

මාර්ග අනතුරු, නොසිතු හේතු මත වැටීම්, කැපීම්, පිළිස්සීම්, සතුන් සාපා කෑම්, සර්පයින් දෂ්ට කිරීම්, සතුන් පහරදීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම, විවිධ රෝගී තත්ත්වයන් නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා තත්ත්වයට පත්වීම් එකී නොකී විවිධ අනතුරු අයත් වනුයේ ‘නොදැනුවත්ව සිදුවන අනතුරු’ යටතට ය. වාර්තා වන අනතුරුවලින් 90% ක් නොදැනුවත්ව සිදුවන අනතුරුය. නොදැනුවත්ව සිදුවන අනතුරුවල මරණ ප්‍රතිශතය 65% කි. දැනුවත්ව සිදුවන අනතුරුවල මරණ ප්‍රතිශතය 35% කි. ඒ අතරින් වැඩි ප්‍රතිශතයක් වාර්තා වනුයේ සියදිවි හානි කරගැනීමෙනි. ගෙල වැලලාගැනීම්, විෂ ශරීරගත කරගැනීමෙන් මිය යන සංඛ්‍යාව ද ඉහළ මට්ටමක පවතින බව සැබෑය.

එමෙන්ම සමස්ත අනතුරුවලට භාජන වීමේ බහුතරය පිරිමි පුද්ගලයන්ය. ප්‍රතිශතයක් ලෙස 65% කි. කාන්තාවන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාව 35% කි. අනතුරු හේතුවෙන් පිරිමි පුද්ගලයන් මරණයට පත්වීම ප්‍රතිශතයක් ලෙස 80% කි. කාන්තාවන් මිය යෑමේ ප්‍රතිශතය 20% කි. එමෙන්ම මෙරට රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බහුතරය අනතුරුවලට භාජන වී තුවාල ලැබූ සහ කැඩීම්, බිඳීම් වූ පුද්ගලයන්ය. ඒ අතරින් බහුතරය රෝහල්ගත වී ඇත්තේ විවිධ හේතු නිසා වැටීමෙන් ඇති වූ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමටය. 2022 වර්ෂයේ වාර්තා වන තොරතුරු මත වැටීම් නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 27% කි. මාර්ග අනතුරු හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 17% කි. සතුන් සාපා කෑම නිසා 12% ක්ද, විවිධ හේතු මත කැපීම් හේතුවෙන් 9% ක් සහ ජීවත්වන පරිසරයේදී සිදුවන වෙනත් අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇති සංඛ්‍යාව 13% ක් බව වාර්තා වේ. සමස්ත අනතුරු හේතුවෙන් වාර්ෂිකව මිලියන 1.3 ට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වාර්තා විය. එහෙත් 2023 වර්ෂයේ මේ වන විට අනතුරු හේතුවෙන් රෝහල්ගත කරන සංඛ්‍යාව මිලියන තුන ඉක්ම ගොස් තිබීම දැවෙන ගැටලුවක් බව සැබෑය.

පැය තුනකට හතරක් මැරෙන 'අනතුරු' ගැන භයානක කතාව

අනතුරු හේතුවෙන් මිය යන බහුතරය මාර්ග අනතුරුවලට ලක්ව බරපතළ තුවාල ලබන පුද්ගලයන්ය. එය ප්‍රතිශතයක් ලෙස 30% ට ආසන්නය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන බහුතරය පදිකයන්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන්ය. මාර්ගයේදී බහුලව අනතුරට ලක්වනුයේ යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථකරුවන්ය. එමෙන්ම මෙරට මාරාන්තික රිය අනතුරු බහුලව සිදුවනුයේ ඒ 1 මාර්ගයේ කඩවත සිට කෑගල්ල දක්වා නිට්ටඹුව, ගම්පහ සහ වරකාපොළ පොලිස් වසම් තුළදී බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. කොළඹ පුත්තලම මාර්ගයේ මීගමුවේ සිට පුත්තලම දක්වා මාර්ගය ද අනතුරු බහුල ප්‍රදේශයකි. කොළඹ සිට රත්නපුරය මාර්ගයේ හෝමාගම සිට රත්නපුරය දක්වා මෙන්ම කොළඹ සිට ගාල්ල, මාතර මාගර්යේ පානදුර සිට ගාල්ල දක්වා මාර්ගය ද නිරන්තරයෙන්ම මාරාන්තික රිය අනතුරු සිදු වන බවට හඳුනාගෙන තිබේ. වසරකට වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවෙන් 60% කට වැඩි ප්‍රමාණයක් සිදු වනුයේ ඉහත සඳහන් මාර්ග තුළදීය. එමෙන්ම මෙරට මාර්ග පද්ධතිය තුළ සෑම විනාඩි 15 ට වරක් රිය අනතුරක් සිදු වේ. සෑම විනාඩි අනූවකට වරක් බරපතළ රිය අනතුරක් වේ. සෑම පැය තුනකට වරක් වාහනයකට යට වී එක් පුද්ගලයෙක් මිය යයි. සෑම දිනකම මිනිස්සු අට දෙනෙක් මහ මඟ මැරෙති. බරපතළ රිය අනතුරු හේතුවෙන් මාරාන්තික තත්ත්වයට පත් වන සෑම විසිදෙනකුගෙන් එක් අයකුම සදාකාලික අබ්බගාතයන් හෝ අංගවිකල තත්ත්වයට පත් වේ. තත්ත්වය අතිශය බරපතළය.

එහෙත් රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබාගන්නා බහුතරය සතුන් සපා කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ය. එම සංඛ්‍යාව වසරකට ලක්‍ෂ තුනකට ආසන්නය. විවිධ සතුන් සපා කෑම් අතරින් සුනඛයන්ගේ සපා කෑම අතිශය ඉහළය. දඩාවතේ යන සුනඛයන්ට වඩා වගකීමකින් තොරව නිවෙස්වල ඇති කරන බල්ලන්ගෙන් මිනිසුන්ට වන හානිය වැඩිය. සතුන් සපා කෑමෙන් මෙන්ම විවිධ අනතුරුවලට භාජන වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයට පත්ව පෞද්ගලික අංශයෙන් සහ බටහිර නොවන වෙනත් ප්‍රතිකාර ක්‍රමවලින් සහ ගෘහස්ථ අත් බෙහෙත් කරන රෝගීන් සංඛ්‍යාව වසරකට මිලියන හතරකට ආසන්න ය. කොරෝනා වසංගතය පැතිර යෑමත් සමඟ 2020 – 21 වර්ෂවලදී එම රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කළ ද, 2022 වර්ෂයේ සිට නැවත වර්ධනයක් පෙනුම් කරන බව වාර්තා වේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අනතුරු හේතුවෙන් වසරකට දහඅටදහසකට ආසන්න මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වන බව ද වාර්තා වේ. එමෙන්ම සෑම පැය තුනකට සැරයක් පුද්ගලයන් හතරදෙනකුගේ හුස්ම නතර කිරීමට තරම් අනතුරු ප්‍රබලය.

වාර්තා වන ආකාරයට අනතුරුවලින් 50% ට වැඩි සංඛ්‍යාවක් සිදුවනුයේ නිවසේ හෝ ඒ අවට පරිසරයේදීය. කොරෝනා වසංගතය පැතිර යමින් රට වසා තැබුණු කාලයේ ගෘහස්ථ අනතුරු 65% න් පමණ ඉහළ ගිය බව ද වාර්තා වේ. එමෙන්ම මෙරට අනතුරු බහුලවම වාර්තා වනුයේ අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සතියේ සහ දෙසැම්බර් නත්තල් උත්සවය පැවැත්වෙන කාලයේදීය. පෙර වසරවලට සාපේක්‍ෂව පසුගිය වර්ෂයේ සිංහල අවුරුදු සමයේ රතික්‍ද්ක්‍දා සහ වෙනත් ගිනිකෙළිවලින් සිදු වූ හානිය අවමය. උත්සව කාලයට වාර්තා වන මාර්ග අනතුරු, පහරදීම්, වැටීම් නිසා සිදුවන අනතුරු පෙර වසරවලට සාපේක්‍ෂව පසුගිය වර්ෂයේදී ඉහළ අගයන් ගන්නා බව ද සැබෑය. එමෙන්ම සෞඛ්‍ය අංශවල අනුමානයට අනුව 2019 වර්ෂයට පෙර වසරවලට සාපේක්‍ෂව 2025 වර්ෂය වන විට මෙරට සමස්ත අනතුරු සංඛ්‍යාව ලක්‍ෂ දෙකහමාරකින් පමණ වැඩි වීමට ඉඩ ඇත. එහෙත් අනතුරු සම්බන්ධයෙන් මෙරට දැනුවත්භාවය අතිශය අල්පය. අනතුරු නිසා මෙරට ආර්ථිකයට, සෞඛ්‍ය සේවයට සිදුවන බරපතළ හානිය, අනතුරට පත්වන පුද්ගලයන්ට සහ පවුල්වලට සිදුවන හානිය ගැන රටේ ජනතාවගේ අවධානය යොමු නොවී ද බරපතළ තත්ත්වයකි. පෙළගැසෙන කතාවට කරුණු ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

පැය තුනකට හතරක් මැරෙන 'අනතුරු' ගැන භයානක කතාව

“ගොඩක් අනතුරු වළක්වාගන්න පුළුවන්. සමහර අනතුරු වළක්වා ගන්න මහ ලොකු දේවල් කරන්න ඕන නෑ. ඕනෑම මොහොතක අනතුරක් සිදුවිය හැකි බව සිතේ ධාරණය කරගෙන පරිස්සමට දෛනික කටයුතු කරගෙන ගියා නම් යම් ආවරණයක් තියෙනවා. අවධානයෙන් සිටීම තුළ අනතුරක් සිදු වුණත් එයින් සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. යතුරුපැදි ධාවනයේදී නියම ප්‍රමිතියෙන් යුක්ත හෙල්මටයක් පැළඳ සිටීමේදී අනතුරක් වුණත් හානිය අවම වෙනවා. ගෘහස්ථ ගෑස් ටැංකියේ රෙගියුලේටරය අවුරුදු පහකට සැරයක්, හෝස් එක අවුරුදු දෙකකට සැරයක් මාරු කරන්න කියලා එහි සටහන් කර තියෙනවා. ඒත් අපේ රටේ කීයෙන් කී දෙනා ද නියම කාලයට හෝස්, රෙගියුලේටරය මාරු කරන්නෙ. යම් නිවසක සුරතලයට ඇති කරන බල්ලව දඩාවතේ යවන්නෙ නැතිව රැක බලාගන්නවා නම් ඒ සතාගෙන් අනුන්ට කරදරයක් වෙන්නෙ නෑ. නාන කාමරය භාවිතයේදී ඉහිරෙන වතුර පිහදාලා එන්න පුංචි කාලෙ ඉඳලා ළමයින්ට පුරුදු කරනවා නම් පවුලේ සාමාජිකයන් බාත්රූම් එක තුළ ලිස්සා ඇද වැටී අනතුරට පත්වීම වැළකෙනවා. නාන කාමරයක ලිස්සා වැටීමෙන් මරණයට පත්වීම හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමට තිබෙන ප්‍රවණතාවය ඉතා වැඩියි…”

“නිදිමතේ වාහන පැදවීම, ජංගම දුරකථනයට අවධානය යොමු කරගෙන වාහන පැදවීම, අනාරක්‍ෂිත ස්ථානවල දිය නෑමට යනකොට ඒ තුළ අනතුරක් තිබෙන බව තේරුම් ගන්න ඕනෑ. බොහෝ ප්‍රදේශවල අනාරක්‍ෂිත ළිං, ජලය පිරුණු වළවල් තිබෙනවා. ඒ වටා පොඩි වැටක් ඉදිකිරීමෙන් විය හැකි බරපතළ අනතුරක් වළක්වා ගන්න පුළුවන්. ඒත් රටේ ජනතාව අනතුරු වළක්වා ගැනීමට අවධානය යොමු කරනවා ඉතා අඩුයි. ‘සුරක්ෂිත ප්‍රජාව’ යනුවෙන් අනතුරු වැළැක්වීමේ වැඩසටහනක් රට පුරා අපි කරගෙන යනවා. එම වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගන්න ඕනෑ. ඒ වගේම මිනිසුන් හිතන්න පුරුදු වුණා නම්, බොහෝ අනතුරුවලින් වැළකී ඉන්න පුළුවන්. නොවැළැක්විය හැකි හේතුවක් මත අනතුරක් සිදු වූ විට තුවාලකරුවන්ට ප්‍රථමාධාර ලබාදීම සහ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකරවීම සම්බන්ධයෙන් රටේ සියලු පුරවැසියන් දැනුවත් කරවීමට දීප ව්‍යාප්තව සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ…”

බොහෝ අනතුරුවලට ප්‍රධාන මනුෂ්‍ය දෝෂය. අධික කෝපය, දරාගැනීමේ ශක්තිය හීනවීම, අවසිහිය, අවධානය නොමැතිවීම, නිදිමත, කලබලය, එකිනෙකා පාරයා යෑම, අධික වේගයෙන් රිය පැදවීමට ඇති කැමැත්ත සහ ආතතිය වැනි විවිධ මානසික තත්ත්වයන් අනතුරුවලට ප්‍රධානය. මේ වන විට ලෝකයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වී ඇත්තේ අනතුරුය. උද්ගතව ඇති ප්‍රබල සෞඛ්‍ය ගැටලුවට විසඳුම් සොයන ලෝක විද්වතුන් පෙන්වා දෙන ආකාරයට බොහෝ අනතුරු වළක්වාගත හැකිය. එහෙත් අපේ මිනිසුන් අනතුරේ සේයාව නොදකින්නේ ය. නොපෙනෙන අනතුරු ගැන මිනිසුන්ගේ අවධානය යොමු නොකෙරෙන්නේය. අනතුරු සම්බන්ධයෙන් නිවැරැදි කියැවීමක් නොමැති නිසා අවදානම් චර්යාවන්වලට මිනිස්සු යොමු වෙති. අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මෙරට සෞඛ්‍ය අංශයෙන් ද සාර්ථක වැඩසටහන් කෙරෙන බවක් නොපනේ. ඩෙංගු, මැලේරියා රෝගය පාලනය කිරීමට වෙනම අධ්‍යක්‍ෂවරු පත් කර තිබෙන රටේ වසරකට දහඅටදහසක් මිය යන ‘අනතුරු’ වැළැක්වීමට වෙනම අධ්‍යක්‍ෂවරයෙක් පත් නොකිරීම බරපතළ තත්ත්වයකි.

පැය තුනකට හතරක් මැරෙන 'අනතුරු' ගැන භයානක කතාව

එමෙන්ම වසරකට අනතුරු හේතුවෙන් මිය යන ප්‍රමාණය යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා විශාලය. අනතුරු හේතුවෙන් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පිරිසෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරට වැඩ කරන ශ්‍රම බළකායේ සම්පත්දායකයන්ය. වයස අවුරුදු 15 ත් 55 ත් අතර ශක්තිමත් මිනිසුන්ය. මේ මිනිසුන් අකාලයේ මිය යෑම රටේ ආර්ථිකයට විශාල බලපෑමකි. එමෙන්ම අනතුරු හේතුවෙන් බරපතළ තත්ත්වයට පත්වන පුද්ගලයන් සුවපත් කිරීමට මෙරට රජය දරන වියදම අති විශාලය. හදිසි අනතුරු නිසා තුවාල ලබන රෝගීන්ට ලබාදෙන දැඩිසත්කාර ප්‍රතිකාර, ඔවුන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණය, එම රෝගියා සඳහා සිදු කළ ශල්‍යකර්මවල වියදම රජයේ රෝහල්වලදී ගණනය කිරීමක් නොකෙරේ. එමෙන්ම පෞද්ගලික රෝහලක හෝ රජයේ රෝහලක ප්‍රතිකාර සඳහා වියදම් වන්නේ රටේ ජනතාවගේ මුදල්ය. බෙහෙත් සඳහා පිටරටට ගලා යන්නේ ඩොලර්ය. අනතුරුවලට ලක්ව ජීවිත අහිමි වන සියයට අනූවක්ම දුප්පත් මිනිසුන්ය. පවුලක කාසේරුකාව බිඳී ගිය පසු ඒ පවුල සමාජ, ආර්ථිකමය වශයෙන් අගාධයටම තල්ලු වී යන්නේය. ඒ තුළින් මෙරට ආර්ථිකයට වන බලපෑම සුළු පටු නැත. එමෙන්ම අනතුරු නිසා අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත් වන පුද්ගලයන් ආඝාත තත්ත්වයන්ට පත්ව සදාකාලික රෝගීන් වන පිරිස ඉතිරි ජීවිත කාලයම ගෙවනු ලබන්නේ රටේ ආර්ථික ක්‍රියාවලියට දායක නොවන යැපෙන්නන් ලෙසටය. ජීවිත කාලයක් පුරා ඔවුන්ව නඩත්තු කිරීමට රජයට වෙනම පිරිවැයක් දැරීමට සිදු වේ. එහෙයින් අනතුරු නිසා රටේ සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට සිදු වන බලපෑම කිසිදු ලෙසකින් තක්සේරු කළ නොහැකි තරම්ය. අනතුරු වැඩිවීම තුළ අනතුරුවලට පත්වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට දැරීමට සිදුවන වියදම ද රටට දරාගැනීමට නොහැකි වන බව සැබෑය.

ලාදුරු, පෝලියෝ රෝගය, මැලේරියාව බින්දුවට ඇද දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහිත මෙරට අනතුරු අවම කිරීම බරපතළ කටයුත්තක් නොවන බව සැබෑය. ගැටලුව වී ඇත්තේ ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ට, නිලධාරීන්ට මෙන්ම ඖෂධ ආනයනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අනතුරු වැළැක්වීම දැවැන්ත පාඩුවක් වීමය. ඖෂධ සහ විවිධ උපකරණ ආනයනය සීමාවීම ඔවුන්ට අනතුරකි. එම ව්‍යාපාරිකයන්ගේ දෝලපිදේණිවලින් සතුටට පත්වන සෞඛ්‍ය බලධාරීන්, නිලධාරීන් සහ ඇතැම් වෛද්‍යවරු මෙරට අනතුරු වැළැක්වීමට ඉඩ නොදෙති. අනතුරුවල බරපතළකම දුටු ශ්‍රී ලංකා මානව සුරැකුම් පදනමේ සභාපති වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා විසින් 2004 වර්ෂයේ සිට අනතුරු වැළැක්වීම සඳහා යෝජනා මාලාවක් සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කළේය. 2008 වර්ෂයේ පැවැති දේශපාලන අධිකාරිය විසින් එම යෝජනා මාලාව කෙරෙහි අවධානය යොමු කරමින් කොමිෂන් සභාව විසින් අනුමත කර තිබියදී එවකට සිටි සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් කකුලෙන් ඇද තිබේ. අනතුරුව තට්ටු මාරුවට වෙනස් වූ කිසිදු ආණ්ඩුවක් හෝ සෞඛ්‍ය බලධාරියෙක් ශ්‍රී ලංකා මානව සුරැකුම් පදනමේ අනතුරු වැළැක්වීමේ යෝජනා මාලාව ගැන අවධානය යොමු කර නැත. ඉනිදු පැහැදිලි වනුයේ දකින සහ කතා කරන අනතුරට වඩා එම ඛේදවාචකය යට තිබෙන අනතුර අතිශය ප්‍රබල බව ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment