අඟුරුවාතොට ඛේදවාචකයක් – දින 4ක් අතුරුදන්ව සිටි තරුණ මව හා බිලිඳා මරා දමලා

1325

සැක මස්සිනා අතුරුදන්

ශීතකරණයේ දොරේ ලේ පැල්ලම්

කාන්තාවගේ තුවායත් අස්ථානගත වෙලා

මවගේ සිරුරේ කැපුම් තුවාලත්

රතු ත්‍රීරෝදය ලඳු කැලෑවකට: කකුලකුත් එළියේ සීසීටීවීයේ සටහන් වෙයි

දුරකථන ඇමතුම් පරීක්‍ෂාවටත් පොලිසිය උසාවියෙන් අවසර ඉල්ලයි

මං නැති වෙලාවට ගෙදරට එන මස්සිනා කරදරයක් කියා බිරිඳ දින දෙකකට පෙර කීවා – සැමියා කියයි

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී දින 4ක් තිස්සේ අතුරුදන් වී සිටි රූමත් තරුණ මවගේ (24) සහ මාස 11ක් වයසැති කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ ලඳු කැලෑවක තිබී ඊයේ (21දා) උදේ සොයාගැනුණි.

පොලිස් බුද්ධි නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා සහ අඟුරුවාතොට පොලිසිය සිදුකරන ලද විශේෂ මෙහෙයුමක් අතරතුර දී මෙම මවගේ සහ කුඩා දියණියගේ මළ සිරුරු සොයා ගත් බව ද අඟුරුවාතොට පොලිසිය කියයි.

එම මියගිය කාන්තාවගේ සහ කුඩා දියණියගේ සිරුර හා මුහුණු ප්‍රදේශ හඳුනාගත නොහැකි අන්දමින් සතුන් කා දමා තිබූ බව ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ එම්. වාසනා කුමාරි නමැති මවගේ හා ටශ්මි දිලන්යා නමැති කුඩා දියණියකි. ඔවුන්ගේ සිරුරු නිවසේ සිට මීටර 600ක් පමණ දුරින් වූ ළඳු කැලෑවේ තිබී සොයාගත් බව ද පොලිසිය කියයි. අතුරුදන්ව සිටි කාන්තාවගේ සැමියා පසුගිය 18 වැනිදා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ තම බිරිඳ හා දියණිය අතුරුදන්ව ඇති බවත්, එදින සවස තම මස්සිනා ද නිවසට පැමිණ ඇති බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව අතුරුදන් වූ කාන්තාවගේ සැමියාගේ මස්සිනා (නැඟණියගේ සැමියා) වන හිටපු හමුදා සෙබළා ඇතුළු තවත් පුද්ගලයන් පස්දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන මුදාහැර තිබිණි. මෙම මවගේ හා දියණියගේ මළ සිරුරු ඊයේ හමුවීමත් සමග මස්සිනා වන පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතරේ එම පුද්ගලයා අතුරුදන් වී ඇතැයි අඟුරුවාතොට පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

මියගිය කාන්තාව පදිංචිව සිටි නිවසේ ශීතකරණයේ දොරේ ලේ පැල්ලම් කීපයක් සහ ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කීපයක් දක්නට තිබූ බවත්, ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරන බවත් හෙතෙම කීය. තවද මෙලෙස මියගොස් සිටින කාන්තාව පරිහරණය කළ තුවාය ද අස්ථානගත වී ඇතැයි ද හේ කියා සිටියේය.

සැකකාර මස්සිනා මෙම නිවසට පැමිණ මියගිය කාන්තාවගේ සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී “වැඩක් භාරගෙන තියෙනවා එන්නෙ කීයටද?” අසා ඇති බවත්, තමා රෑ වන බවට පැවසීමෙන් අනතුරුව දුරකථනය ඔහු (මස්සිනා) විසන්ධි කළ බවත් පැමිණිලිකරු හෙළිකර තිබේ.

තමා නිවසේ නොමැති අවස්ථාවල දී මස්සිනා පැමිණ සිටීම කරදරයක් බව බිරිඳ දින කීපයකට පෙර අවස්ථා දෙකක දී තමන්ට පැවසූ බව ද ඔහු කළ අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිදුවීම් මාලාවෙන් පසු පානදුර කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ නිලධාරීන් අතුරුදන් වූ මව හා දියණිය පදිංචිව සිටි නිවසේ පැය 5ක් තිස්සේ රැඳී සිටිමින් පරීක්‍ෂණ සිදු කළ ද ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී තිබිණි.

පසුව හොරණ පොලිස් නිල සුනඛ අංශයේ සිටින “බෲනෝ” නමැති නිල සුනඛයා එම නිවස වෙත ගෙන්වා පරීක්‍ෂා කර ඇත. එහිදී එම කාන්තාවගේ පාවහන් දෙකක් හා පනාවක් ඉව කිරීමෙන් පසු සුනඛයා මද දුරක් ගොස් මස්සිනාගේ ත්‍රීරෝද රථය අසල නතර වී තිබේ. ඒ අනුව මස්සිනා වන පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. ඉන්පසු ඔහු මේ වනවිටත් අතුරුදන් වී සිටින බව පොලිසිය කියයි. ඒ අනුව පොලිසිය මෙම මව හා දියණිය සොයා විමර්ශන කරන අතරේ අදාළ සිරුරු දෙක ළඳු කැලෑවක තිබී සොයා ගන්නා ලදි. දියණියගේ මළසිරුරට මීටර් 15ක් දුරින් මවගේ ිසිරුර තිබී හමු වී තිබේ.

මවගේ සිරුරේ කැපුම් තුවාල ද දක්නට තිබූ බව ද පොලිසිය කියයි. ඒ අනුව මෙය ඝාතනයක් ලෙස සලකා පරීක්‍ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි. මේ අතරේ පොලිසිය ඒ ආසන්නයේ නිවාසවල සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන ද පරීක්‍ෂාවට ලක්කර තිබේ. එහිදී රතු පැහැති ත්‍රීරෝද රථයක් ළඳු කැලෑබඳ ප්‍රදේශයට පැමිණෙන ආකාරයේ දර්ශන පොලිසිය නිරීක්‍ෂණය කර තිබේ. එම ත්‍රීරෝද රථයේ පිටුපස දෙසින් කකුලක් එළියට වැටී තිබෙන ආකාරය දක්නට තිබූ බව ද පොලිසිය කියයි.

එය පදවාගෙන පැමිණි පුද්ගලයා මස්සිනා බවට සැක කරන්නේ යැයි ද පොලිසිය පවසයි. මස්සිනා වන පුද්ගලයා ඊයේ (21 දා) පස්වරුව වන තුරුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.

මේ අතර මස්සිනා නමැති පුද්ගලයාගේ මියගොස් සිටින තරුණ මවගේ හා එම ඥාතීන්ගේ දුරකථන ඇමතුම් පරීක්‍ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇතැයි ද අදාළ නිලධාරියා පැවසීය. මවගේ හා දියණියගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ සිදුකිරීමට නියමිතව තිබිණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මෙම මවගේ හා දියණියගේ මරණයන් හේතුවෙන් අඟුරුවාතොට ප්‍රදේශවාසීහු දැඩි කම්වාපට පත්ව සිටිති.

සිදුකරන පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී මෙය ඝාතනයක්ද? යන්න නිශ්චිතවම හෙළිකර ගත හැකි බව ද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment