කරාතේ සම්මේලනය සඳහා දින 60 ක් ඇතුළත වහා නිලවරණයක් කැඳවන්න

261

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හිටපු ලේකම් කීර්ති බස්නායක

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ පරිපාලනය සඳහා පත් කර ඇති අතුරු පාලක මණ්ඩලය වහාම විසුරුවා හැර ස්වාධීන නිලවරණ මණ්ඩලයක් යටතේ දින 60 ක් ඇතුළත වහා නිලවරණයක් කැඳවන ලෙස එම සම්මේලනයේ හිටපු ලේකම් කීර්ති බස්නායක මහතා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු ලේකම්වරයා එම ඉල්ලීම කළ අතර එම මාධ්‍ය හමුව සඳහා කරාටේ දෝ සම්මේලනයේ හිටපු නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ පැවැති පරිපාලනය ක්‍රීඩා ඇමැති බලතල යටතේ විසුරුවා හැර පුද්ගලයන් නව (9) දෙනකුගෙන් සමන්විත අතුරු පාලන පාලක කමිටුවක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා පත් කරන ලදී.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදු කොට ඇති මෙම අසාධාරණය සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ද දැනුවත් කිරීමට කරාටේ හිටපු බලධාරීන් පියවර ගෙන ඇත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කීර්ති බස්නායක මහතා,

අපි දැන් ඉල්ලන්නේ දවස් හැටක් ඇතුළත ස්වාධීන කමිටුවක් පත්කර නැවත ඡන්දයක් තියන්න කියලයි. එසේ නොවුණහොත් මේ සිදු කළ අසාධාරණය සම්බන්ධයෙන් නීතිය හමුවට යන්න අපි කටයුතු කරනවා. ලබන නොවැම්බර් මාසයේ අපිට පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ ශූරතාවලියට සහභාගි වෙන්න තිබෙනවා. එම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කරවීම සම්බන්ධයෙන් ද මේ වන විට ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ආසියානු කරාතේ ශූරතාවලියත් ඊට පසුව පැවැත්වෙනවා. ක්‍රීඩකයන් දැන් දෙලොවක් අතර ඉන්නේ.

ජාතික පුහුණු සංචිතය නැවත කැඳවීම ක්‍රීඩකයන්ට කළ ලොකු අසාධාරණයක් ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හිටපු උප සභාපති මහින්ද සුවාරිස් ඇමැති පත්කරලා තියෙන අතුරු කමිටුවේ සභාපති යුද, නාවික, පොලිස් පුහුණුකරු විදිහට ඉඳලා එලියට දාපු කෙනෙක්.

ඔහුට නොයෙක් චෝදනා තියෙනවා. මිනිස් ජාවාරමට සම්බන්ධ වූ කෙනෙක් ලෙසටත් ඔහු හංවඩු ගැසී තිබෙනවා. 2015 වසරේ ජපානයේ යොකෝහමා හි පැවති කරාතේ ශූරතාවලියේදී කෝප්‍රල්වරයෙකු ඔහු අතුරුදන් කළ බවටත් චෝදනා තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුගේ හිතවත්කම මත ඇමැතිවරයාවත් නොමග යවලා ඔහු මෙම තනතුරු ලබාගෙන තිබෙනවා. මේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ අතුරු කමිටු සභාපති දෙදෙනා ගජ මිතුරන්. ඒ වගේම මේ අතුරු කමිටුවේ ඉන්න ඇතැම් නිලධාරීන් ව්‍යාජ ජාතික පදනමක් පිහිටුවා කරාතේ ශූරතාවලියක් පවත්වා හොර සහතික පවා නිකුත් කළා. ක්‍රීඩා අමාත්‍යාංශයත් එහිදී මුළා කළා.

අපි සංගමයට ඉතුරු කරලා තිබෙන සල්ලිවලට තන්හාවේ තමයි මේ අය බලයට ආවේ. මේ අසාධාරණයන් සම්බන්ධයෙන් අපි ජනාධිපති, අගමැති, ක්‍රීඩා ඇමැති ඇමැති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ විපක්ෂ නායක ඇතුළු හැම දෙනාවම ලිඛිතව දැනුවත් කර තිබෙනවා. කවදාවත් ඡන්දයෙන් බලයට පත් වෙන්න නොහැකි මේ අතුරු පාලන කමිටුවේ සාමාජිකයන් නිලවරණයේ ඡන්ද බලය අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව දැනගන්නට තිබෙනවා. අපේ සාමාජික සංඛ්‍යාව 460 කින් යුක්තයි. ඔවුන් හැම දෙනාටම ඡන්ද අයිතිය තිබෙනවා. ඒත් මේ අතුරු පාලන කමිටුව ඡන්ද අයිතිය දිස්ත්‍රික්කයකට එකක් පමණ වන ලෙස සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අපේ ජාතික පුහුණු සංචිතය 15 න් පහළ, 17 න් පහළ, 21 න් පහළ සහ ජ්‍යෙෂ්ඨ කියලා කාණ්ඩ 4 කින් ක්‍රීඩකයන් 89 දෙනකුගෙන් සමන්විතයි. මේ අතුරු පාලන කමිටුව හදිසියේම එම සංචිතය නැවත කැඳවීමට කටයුතු කර තිබෙනවා. සමහර ළමයි යාපනය ඉඳන් එන්නේ. එහෙම ආපු අයවත් ආපහු හරවලා යවලා තියෙනවා. මේ මගින් ඒ ළමයින්ට සිදු වෙන්නේ ලොකු අසාධාරණයක්. මේ දක්ෂ ළමයින් ඉවත් කරල අතුරු කමිටුවේ හිතවත් ළමයින්ව දාගන්න ද මේ හදන්නේ කියලා සැකයක් අපට තිබෙනවා.

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයෙන් උප භාණ්ඩාගාරික වර්ජින් ප්‍රනාන්දු අපි මේ සංගමය බාර ගන්න කොට සංගමය නමින් රුපියලක්වත් තිබුණේ නෑ.

අපි රුපියල් කෝටි දෙකක් ඉතුරු කරල තියෙනවා. සංගමයට ලැබෙන මුදල් සියල්ල සංගමයේ ගිණුමට චෙක් හෝ මුදල් වශයෙන් ලබා ගත්තා මිසක් අපි ඒවා අතපත ගාන්න ගියේ නැහැ. දැන් ඇවිත් ඉන්නේ ඒ සල්ලි ටික මංකොල්ල කන්න බලා ගත්ත පිරිසක්. මේ අතුරු පාලන කමිටුව දේශපාලන ගේම් එකක් ගහන්නේ.

රත්නපුර දිස්ත්‍රික් කරාතේ සංගමයේ සභාපති එන්. එස්. ධම්මික මහතාද එහිදී කතා කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment