බෝංචි වගාවට හෙණහුරු අපලය වැලිමඩ සාණුවේ ගොවීහු අසරණ වෙති

48

බෝංචි වගාවේ අස්වැන්න හටගන්නා අවදියේ පත්‍ර කහපාට වීම මත අස්වැන්න අවම වීමෙන් තමන් මහත් ආර්ථික අපහසුවට පත්වන බව වැලිමඩ සානුවේ එළවළු ගොවීන් මැසිවිලි නඟති.

බෝංචි වගාවේ මුල් අවධියේ කිසිදු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව පවසන ගොවියෝ කියා සිටින්නේ අස්වැන්න හටගන්නා මුල් සමයේදී මෙසේ කොළ කහපාට වීම ආරම්භ වන බවත්ය. මේ නිසා බෝංචි මල් පරවී විනාශයට පත් වන බවත් ඉතිරිවන මල්වලින් හට ගන්නා කරල්ද ප්‍රමිතියෙන් තොර වීම නිසා අලෙවි කරගත නොහැකිව ඇතැයිද ගොවියෝ පවසති.

නියං සමයේ බෝංචි වගාවට මෙසේම කොළ කහපාට වන වෛරස් රෝගයක් පැවතියද වර්ෂාවත් සමග එය පාලනය වෙන මුත් මෙම කොළ කහපාට වීමේ රෝගය වර්ෂා සමයේද පවතින බවත් ගොවියෝ පවසති.

විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ. පී. සෝමචන්ද්‍ර මහතා පවසනුය් මෙසේ වර්ෂා සමයේ මෙසේ බෝංචි කොළ කහපාට වන්නේ වගා බිමේ පවතින අධික ජලය නිසා, බෝංචි වගවේ මූල පද්ධතිය කුණුවීමට ලක්වන නිසා බවයි. ඒ සඳහා වගාවේ මුල් අවදියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන දිලීර නාශකයන් දියකර බෝංචි වැල්වල මුල් ආශ්‍රිතව හොඳින් තෙත්වන ලෙසින් දැමීම හා වගා බිමේ අධිකව පවතින ජලය බැසයෑම සඳහා කාණු පද්ධතිය ගැඹුරු අන්දමට සැකසීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකි බවට ඒ මහතා පවසයි.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment