දරුවාට ‘යම’ පහරදුන් ‘කුකුල් චමින්ද’ පවුල පිටින්ම අතුරුදන්

2016

සැකකරු සොයා පොලිස් කණ්ඩායම් 2ක් පරීක්‍ෂණ

අවුරුදු 3ක් හෝ 4 වයසැති කුඩා දරුවකුට හිතක් පපුවක් නැති වැඩිහිටි පුද්ගලයකු ඉතා අමානුෂික අන්දමින් පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙයි.

මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අප ඊයේ (04දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් විමසූ විට කියා සිටියේ එම සිද්ධිය වැලිඔය ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

මෙම සිදුවීම මීට දින කිහිපයකට උඩදී සිදුවූවක් බවත්, ඒ සම්බන්ධයෙන් වැලිඔය පොලිසිය පරීක්‍ෂණයක් අරඹා ඇති බවත් හෙතෙම කීය.

එම සිද්ධිය සිදුවූ නිවස වෙත පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඒ වනවිට එම පවුල නිවස වසාදමා එම නිවසින් පලාගොස් ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

කුඩා දරුවාට අමානුෂික ලෙස පහරදී ඇත්තේ දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන අයකු බවත්, එම පහරදෙන දර්ශන ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඇත්තේ වැඩිමහල් දරුවා බවත් විමර්ශනවලදී හෙළි වූ බව ඒ මහතා කීය.

අදාළ පුද්ගලයා වැරෙන් එල්ල කළ පහරින් දරුවා ඉවතට විසිවන අතර, එහිදී කුඩා දරුවා අඬ අඬාම නිවසේ කොනකට ගොස් බත් කටක් කන ආකාරය අදාළ දර්ශනවල සටහන් වී තිබේ.

හයක් හතරක් නොතේරෙන පුංචි දරුවකුට අමානුෂිකව පහරදුන් තිරිසන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

මේ අතර ඊයේ (04දා) සවස් වන විටත් කුකුල් චමින්ද නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබූ බව වැලිඔය පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment