දවල්ට වෙලාවක් නැති නිසා රෑට රෑට බන්ධනාගාරයට රිංගන ඇමැතිවරු…සුරූපිනිය ඇතුළට ගිහින් නැහැ

1155

කාලයෙන් කාලයට මාතෘකා වෙනස් වෙමින් උණුසුම් වන මෙරට දේශපාලනයේ දැන් අලූත්ම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාය.

සිය හැසිරීම හමුවේ මේ වන විට ඔහුට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුව ඇත. විපක්‍ෂයේ මයික් ටයිසන්ලා නම් කියන්නේ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් සියල්ල නිවැරදි නොවන නිසා ලොහාන් රත්වත්ත මහතා වහා අත්අඩංගුවට ගෙන නෛතික කි‍්‍රයාමාර්ග ගත යුතු බවය. යමෙක් වරදක් කළහොත් නීතිය කි‍්‍රයාත්මක වීම සිදුවිය යුතුය. එහෙත් විපක්‍ෂය කියන ආකාරයට හැමදාම කටයුතු සිදුවූවේ නම් මේ රටේ වරදකාරී දේශපාලනඥයන් අල්ලා සිරගත කිරීමට වෙනම බන්ධානාගාරයක් තිබිය යුතුය. මන්ද මෙරට දේශපාලක කුලකය තුළ ඇති අනීතික චරිත ගොඩ ඒ තරමටම විශාලය.

ලොහාන් රත්වත්තේ මහතා මේ අන්දමට උණුසුම් මාතෘකාවක් වීමට හේතු වූයේ කුමක්ද? පළමු කාරණය වූයේ ඔහු සිය ඇමැති බලතල පෙන්වා සිය මිතුරන් තිදෙනකුද සමඟ එල්ලූම් ගහ බැලීම සඳහා අවේලාවේ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමය. ඒ දිනය ඉකුත් 05 වැනිදා විය. එදින සන්ධ්‍යාවේ පස්වරු 4.45 ට පමණ සුඛෝපභෝගී රථයක් හිටි හැටියේ වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රධාන මාර්ග බාධකයෙන් බන්ධනාගාර පරිශ‍්‍ර භූමියට ඇතුළු විය.

එම රථය පදවාගෙන පැමිණියේ සුරූපිනියකි. එහෙත් රථයේ වම්පස ඉදිරි ආසනයේ සිටියේ බන්ධනාගාර රාජ්‍ය ඇමැතිවරයා නිසා මාර්ග බාධකයේ සිටි බන්ධනාගාර නිලධාරියා ඇසුරු සැණින් මඟ අවහිර කර යොදා තිබූ බාධකය ඉවත් කළේය.

මෙසේ බන්ධනාගාර පරිශ‍්‍රයට ඇතුළු වූ රථය එහි ප‍්‍රධාන ලෑලි දොර ඉදිරිපිට නතර කෙරෙද්දී ඇමැතිවරයා ඇතුළු සිව් දෙනකු ඉන් බැස ගත්තේය. එසේ පැමිණි ඇමැතිවරයා ඇතුළු සිව්දෙනාම සිටිනුයේ බමන මතින් බව ඒ මොහොතේ එහි සිටි බන්ධානාගාර නිලධාරීන්ට රහසක් නොවීය. ඒ වෙලාවේ ඇමැතිතුමයි යාළුවෝ තුන් දෙනයි හිටියේ හොඳට බීල. ඇමැතිතුමා දුඹුරු පාට කොට කලිසමක් ඇඳගෙන හිටියේ. යාළුවෝ ඒ වගේ. ඇමැතිතුමයි යාළුවොයි වාහනයෙන් බැස්සට පස්සේ ඒක එලවගෙන ආපු ලස්සන මිස් වාහනේ අරගෙන

ගිහින් අයිනක නතර කළා. එයා වාහනෙන් බැස්සේ නැහැ. එයා වාහනේ ඇතුළටම වෙලා හිටියා. ජංගම දුරකථන, මත්කුඩු, ගිනි අවි වගේ දේවල් බන්ධනාගාරේ ඇතුළට යෑමේ අවදානම නිසා දැන් කාලෙක ඉඳන් වැලිකඩ බන්ධනාගාරෙ ප‍්‍රධාන ලෑලි දොර ළඟ ඉඳන් යකඩ ගේට්ටුව වෙනකන් තියෙන මීටර් දහයක විතරෙ කොටස භාරව ඉන්නේ එස්ටීඑෆ් නිලධාරීන්. එදා එස්ටීඑෆ් එකේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් එක්ක සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් තිදෙනෙක් රාජකාරියේ හිටියා. කොමසාරිස්වරයෙක් හෝ අධිකාරිවරයෙක් ඇරෙන්න වෙන කවුරු බන්ධනාගාරය ඇතුළට යන්න ආවත් එස්ටීඑෆ් නිලධාරීන් හොඳටම චෙක් කරනවා. යකඩ ගේට්ටුවෙන් ඇතුළෙ කොටසේ බන්ධනාගාර ජේලර් තරිඳු ලක්මාල් එක්ක ප‍්‍රධාන දොරටුව භාරව සිටි බන්ධනාගාර නියාමක අනිල් වීරසිංහ සහ දොරටු සහායක අතපත්තු කියන නිලධාරීන් තුන්දෙනා හිටියා.

ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධාගාරයට පැමිණි අවස්ථාවේ ඉන් පිටතදී වූ සිදුවීම් සහ පැවති වටපිටාව එසේ අපට පැහැදිලි කළේ ඒ මොහොතේ එහි සිටි වෙනත් බන්ධනාගාර නිලධාරියෙකි. මේ අන්දමට බන්ධනාගාරයට පැමිණි ලොහාන් රත්වත්තේ මහතා පසුව සිය මිතුරන් තිදෙනාද සමඟ ගොස් එහි ප‍්‍රධාන ලෑලි දොරට තට්ටුවක් දැමීය. ඇමැතිවරයා දොරට තට්ටු කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය හෙවත් එස්ටීඑෆ් නිලධාරියෙක් පැමිණ එය විවර කළ අතර ඒ සමඟම එහි සිටි උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සියලූම එස්ටීඑෆ් නිලධාරීහු ඇමැතිවරයා දැක සැලියුට් කරමින් ආචාර දක්වන්නට වූහ. ඒ හැරෙන්නට වෙන කිසිවක්ම සිදුවූයේ නැත. කිසිදු පරීක්‍ෂාවකින් තොරවම ඇමැතිවරයා ඇතුළු මිතුරෝ පිරිස ප‍්‍රධාන ලෑලි දොර පසු කර යකඩ ගේට්ටුව වෙත යන්නට වූහ. එහිදී ඇමැතිවරයා දුටු යකඩ ගේට්ටුවට ඇතුළතින් බන්ධනාගාරය තුළ රාජකාරි කළ ජෙලර්වරයා ඔහුට ආචාර කරද්දී ගෙට්ටුව භාර නිලධාරියා සහ සහායක නිලධාරියා වහාම කි‍්‍රයාත්මක වී එය විවර කරනු ලැබීය. අවසානයේ බන්ධනාගාර අණපනත් සිහිවී සියලූම නිලධාරීන් තුෂ්නීම්භූතව බලා සිටියදී ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු මිතුරෝ කිසිදු ගැටලූවකින් තොරව බන්ධනාගාරය තුළට පිවිසුනහ.

එසේ ඇතුළු වූ ඔවුහු කෙළින්ම ගමන් කරන්නට වූයේ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලූම් ගස පිහිටා තිබෙන චැපල් වාට්ටුව දෙසටය. ඒ යන අතරතුරදී ඇමැතිවරයා ඇතුළු පිරිසට මුණ ගැසුණේ අලූතින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගත් ආධුනික නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසකි. මීට සති තුනකට පමණ ඉහතදී එම නිලධාරීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරුණේද ලොහාන් රත්වත්තේ මහතා අතිනි. මෙම ආධුනික නිලධාරීන් පිරිස දුටු වහාම ඔවුන්ට සීරුවෙන් සිටිමින් පෙළ ගැසෙන ලෙස නියෝග කළ ඇමැතිවරයා මුලින්ම කරනු ලැබුවේ පැය භාගයක පමණ කාලයක් ගෙන ඔවුන්ට දේශනයක් පැවත්වීමය. පසුව එම නිලධාරීන් පිරිස මුදා හැරිය ඇමැතිවරයා ඇතුළු මිතුරන් චැපල් වාට්ටුව දෙසට ගමන් කර එහි පිටතින් ඇති මාර්ගය ඔස්සේ වැලිකඩ
බන්ධනාගාරයේ එල්ලූම් ගහ ඇති කොටසට ළ`ගා විය. එතැන් පටන් සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවිය.

චැපල් වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් හොල්මන් වී බලාගෙන සිටියදී සිය නිල පිස්තෝලයද අතට ගත් ඇමැතිවරයා සිය මිතුරන්ද සමඟ එක්ව කොකා නොගස්සා අත රැ`දි ගිනි අවිය කරකවමින් සිරකරුවන්ට පෙනෙන්නට බොහෝ දේ කළේය. මෙසේ වැලිකඩ එල්ලූම් ගහ නරඹන්නට ගිය ඇමැතිවරයා ඇතුළු මිතුරෝ නොකළා නම් නොකළ එකම දෙය වූයේ එල්ලූම් ගහේ එල්ලී පණ යන්නේ කෙසේදැයි බැලීම පමණක්ම වූහ. බන්ධනාගාරයට පැමිණීමට පෙර ලබාගත් මධුවිතේ සැර ඒ තරමටම ඔවුන්ව කුල්මත් කර තිබිණි. ටික වේලාවක් එසේ නෙක සංදර්ශන සමඟ වැලිකඩ බන්ධනාගාරයේ එල්ලූම් ගහ සමඟ කල්ගත කළ ඇමැතිවරයා ඇතුළු පිරිස පසුව ඉන් පිටතට පැමිණි සුරූපිනිය එතෙක් නවතාගෙන සිටි රථයේ නැගී පිටිව ගයහ.

දවල්ට වෙලාවක් නැති නිසා රෑට රෑට බන්ධනාගාරයට රිංගන ඇමැතිවරු…සුරූපිනිය ඇතුළට ගිහින් නැහැ

එහෙත් ඇමැතිවරයා එසේ පිටව ගියද ඒ වන විට බන්ධනාගාර ප‍්‍රධානීන් ඇතුළු සියලූ දෙනා සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව කලබල වී සිටීම නිසා බන්ධනාගාරය කඩි ගුලක් සේ ඇවිස්සීය. ඒ කතාව එතනින් නිමාවට පත්විය. එහෙත් ඇමැතිවරයා ඇතුළු පිරිස නැටූ නැටුම බන්ධනාගාර නිලධාරීන් අතරේ මුවින් මුව ගලාගෙන යද්දී කිසිවකුටත් නොදැනීම එය ටිකින් ටික පිටතට ඒමද ආරම්භ විය. ලොහාන් රත්වත්තේ මහතා සිය නිල ගිනි අවියද රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට යන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කතාව එසේ බිෙඳන් බිඳ පොදු සමාජයට කාන්දු වෙමින් තිබියදීය. ලොහාන් රත්වත්තේ මහතාට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන තැනටම වැඩ සිදුවූ මෙකී අනුරාධපුර බන්ධනාගාරයේ කතාව කුමක්ද?

ඒ දිනය ඉකුත් 12 වැනිදා විය. මෙරට සිරකරු දිනය ලෙස නම් කර තිබෙන්නේද සැප්තැම්බර් මස 12 වැනිදාය. එදින පස්වරු 5.00 ට පමණ හිටි හැටියේම අනුරාධපුර බන්ධනාගාර පරිශ‍්‍රයට ලොහාන් රත්වත්තේ මහතාගේ රථය ඇතුළු වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවුණු අයුරිනි. අද ඇතැමුන් කියන්නේ ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට හෙළිකොප්ටරකින් ගිය බවය. නැත. එවැන්නක් සිදුව නැත. හෙළිකොප්ටරයක් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණෙන්නේ නම් එය ගොඩබෑ යුත්තේ බන්ධනාගාර කී‍්‍රඩාංගණයට හෝ බන්ධනාගාර සමාධි ස්මාරකය අසලටය. මේ කියන දිනයේ එවන් යානයක් අදාළ ස්ථානවලට ඉහළින් පියාසර කළේ් නැති බව අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීහු සඳහන් කරන්නාහ. මේ අන්දමට ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණෙන මොහොතේදී ද සිට ඇත්තේ බීමතිනි. එසේ බීමතින් පැමිණි ඇමැතිවරයා බන්ධනාගාරය තුළට යෑමට සූදානම් වීමේදී බන්ධනාගාර අධිකාරිවරයා එයට විරෝධය දැක්වීය. හෙට අනිද්දා විශ‍්‍රාම ගැනීමට නියමිතව සිටින පරිණත නිලධාරියකු වූ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා එසේ ඇමැතිවරයාට විරෝධය දක්වනුයේ ඔහු බීමතින් සිටීම සහ නිල ගිනි අවිය සන්තකයේ තිබීම යන කරුණු පෙන්වා දෙමිනි. බන්ධනාගාර නිලධාරියකුටවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරයට ඇතුළු විය නොහැකි බව පෙන්වා දෙමින් අධිකාරිවරයා එසේ ඇමැතිවරයාට කරුණු පෙන්වා දෙද්දී ඇමැතිවරයාගෙන් ඔහුට එල්ල වන්නේ දැඩි වාග් ප‍්‍රහාරයකි. එසේ අධිකාරිවරයාට බැණවදිමින් බන්ධනාගාරය තුළට පිවිසෙන ඇමැතිවරයා පසුව කෙළින්ම යන්නේ එහි එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සැකකරුවන් රඳවා සිටින එෆ් වාට්ටුව දෙසටය. මෙසේ ඇමැතිවරයා එහි යද්දී කිසිවක් කරකියාගත නොහැකි වූ බන්ධනාගාර අධිකාරිවරයාද ඔහු පසුපස එහි යන්නේය. අවසානයේ එල්ටීටීඊ රැඳවියන් සිටින එෆ් වාට්ටුවට ගිය ඇමැතිවරයා එහි සිටි කොටි රැඳවියන් දෙදෙනකු කැඳවා බිම දණ ගස්සවා එතෙක් සාක්කුවේ දමාගෙන සිය නිල පිස්තෝලය ගෙන ඔවුන්ගේ හිසට එල්ල කර බොහෝ දේ කියන්නේය. ඒ වන විට අධිකාරිවරයාට අමතරව තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු එහි පැමිණෙන අතර ඇමැතිවරයා නිල පිස්තෝලය ගෙන කොටි සැකකරුවන්ට එල්ල කරද්දී බන්ධනාගාර නිලධාරීන් බිරාන්ත වී බලා සිටියේ නිකමටවත් මේ ත‍්‍රස්තවාදී සැකකරුවකු ඇමැතිවරයා අත රැ`දි අවිය ගෙන ඔහුට වෙඩි තබාවිදැයි ලෙසින් ඇතිවූ සැකය නිසාය. එසේ ඇමැතිවරයා ගිනි අවිය අතදරා සිටියදී මත් බව නිසාම වරෙක එය හිටි හැටියේ ඔහු අතින් ගිලිහී බිම පතිත වන්නේය. එහිදී කලබලයට පත්වූ එක් බන්ධනාගාර නිලධාරියකු වහා ඉදිරියට පැන එය අහුලා ගන්නේ ඇමැතිවරයාගේ ජීවිතයට හානියක් වේදැයි ලෙසින් ඇතිවූ දැඩි භීතියද සමඟය. පසුව තවත් රැඳවියන් හය දෙනකු ඒ ආකාරයටම දණ ගස්සවමින් ගිනි අවිය අත තබාගෙන බොහෝ දේ කියන ඇමැති ලොහාන් රත්වත්තේ මහතා අනතුරුව එම ස්ථානයෙන් ඉවත්ව පැමිණ අනුරාධපුර බන්ධනාගාරයෙන් පිටව යන්නේය.

මෙහිදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනකුට ගිනි අවිය එල්ල කිරීම නම් පසුව ඉතා බරපතළ කාරණාවක් බවට පත්විය. ඒ මොහොතේ ලොහාන් රත්වත්ත මහතා තුළ වූයේ බීමත් බව මිස ජාතිවාදී ගැටලූවක් හෝ අන් යමක් නොවුණද රටට එරෙහිව බෙදුම්වාදය අදහන්නෝ එම සිද්ධිය ජාත්‍යන්තරය දක්වා ගෙන යන තැනට කටයුතු කළේය. එසේම වැලිකඩ සිද්ධියද සමඟ අනුරාධපුර බන්ධනාගාරයේ කතාවද බිෙඳන් බිඳ මතුවෙද්දී අවසානයේ ඇමැතිවරයා කළ කී දෑ රටේ ප‍්‍රසිද්ධ මාධ්‍යයකද පළවිය. මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයද ආරම්භ වී තිබීම නිසා ඇතිවූ තත්ත්වය තවත් බරපතළ විය. ඇමැතිවරයාගේ කි‍්‍රයාකලාපය ජාත්‍යන්තර වශයෙන් රටට හානිකර සහ සමස්ත ආණ්ඩුව අපහසුතාවට පත්වන ගැටලූකාරී එකක් බවට පරිවර්තනය වීම නිසාම අවසානයේ ලොහාන් රත්වත්තේ මහතාට සිදුවූයේ බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නටය. දැනට සිදුව ඇත්තේ එපමණය. ඉදිරිය කාලය විසින් තීරණය කරනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment