දික්කසාදය…

74

මෙහි මුල් කොටස ඊයේ (25දා) පළ විය

විවාහය යනු එක්තරා ගිවිසුමකි. සංස්කෘතිය අනුව පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ගිවිස ගැනීම් තුළ වෙනස්කම් තිබුණ ද දෙදෙනකු විවාහ වන්නේ බොහෝ අපේක්ෂාවන් හිත තබා ගෙනය. ජීවත්වන කාලය පුරාවටම දෙදෙනා එක්ව සිටින්නට විවාහය තුළින් අදිටන් කර ගනිති. නමුත් විවිධ හැලහැප්පීම් නොගැළපීම් තුළ දික්කසාදයකින් එම සම්බන්ධය බොහෝ අවස්ථාවන්වලදී කෙළවර වෙයි. දික්කසාදය යනු විවාහයක අවසානයක් බවට පත්වන නීතිමය ක්‍රියාවලියකි. දෙපාර්ශ්වයම එකඟ නම් සම්මුති දික්කසාදයක් ලෙස සලකා බලයි. මෙම දික්කසාද වීම් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල පෙරට සාපේක්ෂව විශාල වර්ධනයක් දක්නට ලැබෙයි. මේ හේතුව මත දික්කසාදය පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජය තුළ වැඩිදුරටත් කතාබහ කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති අතර ප්‍රජාව දැනුවත් කිරීම ද ඉතා වැදගත්ය.
මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියන ලද සටහනකි.
දික්කසාදය…
  1. සමාජමය සහ අධ්‍යාත්මික වශයෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දෙන්නේ කොහොමද ? යළි ජීවිතය ගොඩනඟා ගන්නේ කෙසේ ද ?

මෙය ඉතාමත් වැදගත්ම කාරණාවක් වෙනවා. ආර්ථික, සමාජීය, සංස්කෘතික බලපෑම්, ගෘහස්ථ හිංසනය, ලිංගික හිංසනය, පවුල තුළ ඇතිවන අර්බුද නිසා දික්කසාද වීම් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජමය වශයෙන් ඇතිවන බලපෑම සලකා බැලීමේ දී දික්කසාදයට මුහුණ දෙන පුද්ගලයන් කෙරෙහි පවුල් සංස්ථාව තුළ මෙන්ම බාහිර සමාජයේ පිළිගැනීම අඩු වීම මෙහිදී ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අධ්‍යාත්මික වශයෙන් සලකා බැලීමේ දී ද එකී පාර්ශ්වයන් දැඩි අපහසුතාවකට පත්වෙනවා. දික්කසාදයකින් පසු කිසිම දෙයක් තේරුම් ගත නොහැකි ජීවිතය හිස් වූ හැඟීමක් ඇතිවෙනවා. මානසිකව කඩා වැටීම ඔස්සේ සියදිවි හානි කර ගැනීම් ද ඇති වන්නට පුළුවන්. මෙවැනි වූ සියලුම ප්‍රතික්‍රියාවන්ට මූලික වශයෙන් ස්වයං අවබෝධය ඉතාමත් වැදගත් වෙයි. ඇතැම් විට තමන් අදහන ආගමට අනුව සියලු දේ අවබෝධ කර ගැනීම, මානසික වශයෙන් විධිමත් උපදේශන ලබා ගැනීම වැදගත් වෙයි. මේ හේතුව මත නව සමාජමය දායකත්වයක් මෙවැනි පාර්ශ්වයන්ට ලබාදීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.

  1. ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක දික්කසාදය සම්බන්ධව නීතිමය පසුබිම පිළිබඳ හැඳින්වීමක් කරන්න

විවාහ වන සෑම කෙනකුටම එම විවාහය කිසියම් අපහසුවක් හෝ දරා ගැනීමට නොහැකි එකක් වෙනවනම් එයින් ඉවත්වීමට දික්කසාද වීමේ අයිතිය නීතියෙන් ලබා දීලා තියෙනවා. ඉස්සර වගේ නොව වර්තමානයේ විවාහයට නීතිමය පසුබිමක් තියෙනවා. දැනට ක්‍රියාත්මක විවාහ නීති බොහොමයක් ආරම්භ කරල තියෙන්නේ යටත් විජිත සමයේ දී. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව තුළ විවාහ වීම මෙන්ම දික්කසාද වීම සඳහා බලාත්මක වන අවස්ථා තුනක් තියෙනවා. ඒ සාමාන්‍ය නීතිය, උඩරට නීතිය සහ මුස්ලිම් නීතියයි.

ශ්‍රී ලංකාවේ දික්කසාදයක් ලබාගැනීමට හැකිවන්නේ අනාචාරය, ද්වේශ සහගතව හැරයෑම, ලිංගික බෙලිහීනතාව යන කාරණා මත පදනම්වය. මේ අතරින් ලංකාව තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්වන්නේ අනාචාරයේ හැසිරීම පිළිබඳවයි. දෙපාර්ශ්වයේ කිසියම් අයකු එවැනි ආකාරයෙන් හැසිරෙන්නේ නම් එය අදාළ සාක්ෂි ඔස්සේ ඔප්පු කරමින් දිසා අධිකරණයේ දී දික්කසාද වීම සිදු කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම දරුවන් සිටින පවුලක් නම්, ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර දරුවන්ට නියමිත වන්දි ගෙවීම් ද එම විවාහක යුවලට නියම කරනු ලබනවා. වයස අවුරුදු 18 ට වැඩි දරුවකු වුවත් තවමත් ඉගෙන ගන්නේ නම් එම දරුවාට අදාළ වන්දි මුදල අඛණ්ඩව ලබාදීමට දෙමාපියන්ට සිදුවෙනවා. ඒ වගේම දික්කසාදයක් තුළ දෙමාපියන්ගෙන් වෙන් වන දරුවන්ගේ අයිතිය මාතෘ පාර්ශ්වයට පැවරෙන බව බොහෝ දෙනාගේ මතය නමුත් එය එසේ නොමැත. එය පීතෘ පාර්ශ්වයට ද හිමි විය හැකිය. කෙසේ නමුත් මව සහ පියා යන දෙදෙනාම දරුවකු පෝෂණය කිරීමට නොහැකි තත්ත්වයක සිටින්නේ නම්, එකී දරුවන් ළමා පරිවාසයකට අධිකරණය විසින්ම යොමු කරනු ලබයි.

සමාජයේ බොහෝ සෙයින් පිළිගනු ලබන කාරණාවක් වන්නේ යම් දික්කසාද වීමක් තුළ දී සිද්ධියට අදාළ වන්දි ගෙවීම අනිවාර්යෙන් පිරිමි පාර්ශ්වය මූලිකව සිදු කළ යුතු බවයි. එය කිසිසේත්ම එසේ වන්නේ නැත. එය කාන්තා පාර්ශ්වයට ද අදාළ වන කාරණාවකි. කාන්තාව ආර්ථික වශයෙන් ශක්තිමත් නම්, එම වන්දි ගෙවීම කාන්තාවට සිදුකිරීමට ඉඩහසර ලැබෙනවා.

ඉහත සඳහන් කළ පරිදි දික්කසාදය ලබා ගැනීමට නම් අනාචාරය, ද්වේශසහගත හැරයෑම සහ ලිංගික බෙලහීනතාවය යන කුමන හෝ සාධකයක් පදනම් විය යුතුයි. නමුත් එකී සාධක හැරුණු කොට ද්විත්ව පාර්ශ්වයේම කැමැත්ත අනුව දික්කසාද වීම කළ හැකි නමුත් ඒ සඳහා තවමත් විධිමත් නීතමය පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟී නොමැති අතර මේ පිළිබඳව අද නීතිවේදීන් කරුණු සාකච්ඡා කරමින් පවතී.

සංස්කෘතිකමය වශයෙන් සලකා බැලීමේ දී දික්කසාද වීම එතරම් යෝග්‍ය දෙයක් නොවූවත් විවාහය තුළ දිගින් දිගටම ගෘහස්ථ හිංසනයට ලක්වෙනව නම්, කායික හෝ මානසික වේදනාවන්වලට ලක්වෙනව නම්ල නීතිඥවරයකුගේ සහය ලබාගනිමින් දික්කසාදය සඳහා ඉල්ලුම් කිරීම සිදු කිරීමට අයිතිය ඕනෑම අයකුට අද තියෙනවා.

කොහොම වුවත් දික්කසාදයකට යෑමට පෙර ඒ සඳහා විකල්ප විසඳුම් ක්‍රමෝපායන්වලට යෑම ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. බොහෝ දෙනා මෙම කාරණාවේදී මානසික වශයෙන් කඩා වැටෙනවා. ඒ හේතුවෙන් විවිධිමත් විශේෂඥ මානසික උපදේශන සේවාවක් ලබා ගැනීම දෙපාර්ශ්වයටම උචිත කරුණක් වෙනවා. අද වන විට අප රටේ එවැනි වූ කටයුතු සඳහා විවිධ ආයතන සැකසිලා තියෙනවා. රාජ්‍ය, රාජ්‍ය නොවන මට්ටමින් මෙය ක්‍රියාත්මක වෙනවා. නමුත් එයින් ප්‍රයෝජන ගන්නේ ලංකාවේ ජනගහනයෙන් ඉතා අඩු පිරිසකි.

සටහන – දේශාන් එරන්ද
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment