‘දළතා’ රන් කලං පූජා කළ කළුදිය පොකුණ

513

ඓතිහාසික දඹුලු පුරවරයේ පිහිටියා වූ ඉපැරණිම ආරණ්‍ය සේනාසනයක් වන දකිනිගල වන සෙනසුන මහාවංශයේ දැක්වෙනුයේ දක්ඛිණගිරි වෙහෙර ලෙසය. ලෝක උරුමයක් සේ සැලකෙන සීගිරි බලකොටුව පසුකොට කණ්ඩලම් හන්දියේ සිට කණ්ඩලම් ජලාශය පසුකොට කිලෝමීටර 17ක් ගිය විට අක්කර 89ක් පමණ වන කලාපයක නෂ්ටාවශේෂ බඳු වූ දක්ඛිණගිරි විහාර සංකීර්ණය හා කලුදිය පොකුණ පිහිටා තිබේ.

මහා වනස්පති වෘක්ෂයන්ගේත් තුරු ලපලුපත් අතර ස්වාභාවදහමේ අපූර්වත්වය කැටයම් වූ ක්‍රි. පූ 2 3 සියවසට අයත් වන වන සෙනසුනක් පුරාණ ආරාමයක් වන දකිනිගල වන සෙනසුන ස්වාභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ නිකැලැල් පාරිසරික කලාපයකි.

‘දළතා’ රන් කලං පූජා කළ කළුදිය පොකුණ

සොබාව සෞන්දර්යේ අපූර්වත්වය කැටයම් වූ ක්‍රි. පූ 2 වන 3වන යුගවලට අයත් යැයි සැලකෙන වන සෙනසුනක් හා පුරාණ බෞද්ධ ආරාමයක් ලෙස සැලකෙන දකිනිගල වන සෙනසුන හෙවත් කලුදිය පොකුණ ඓතිහාසික මාතලේ පුරවරයේ දඹුල්ල දිස්ත්‍රික්කයේ කුඹුක්කඳන්ඔය ගම්මානයේ පිහිටියා වූ නොයිඳුල් පාරිසරික කලාපයක් ලෙස හැඳින්විය හැකිය.

දඹුල්ල කුඹුක්කදන්ඔය කරවලගම කඳුවැටියේ උතුරු බෑවුමටත්, නැගෙනහිරින් වෑවල නිකවටන උස් බිම්වලටත්, දකුණ හා බටහිර ඇරාවල සහ කලුන්දෑව දෙසින් වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා මධ්‍යම කඳූවැටියට මායිම් වූ විහාර සංකීර්ණය සහ කලුදිය පොකුණ පිහිටි අක්කර 40 ක පමණ වු වන කලාපය අද පුරාවිද්‍යා සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර තිබේ.

වසර දහස් ගණනක් පමණ ඉපැරණි දැවැන්ත වනස්පතීන්ගෙන් හටගත් දැවැන්ත ඝන උඩුවියන මෙම කලාපයට හිරු එළිය වැටීම පවා නතර කොට තිබේ. මෙහි උඩුවියන් වැස්මත්, සදාහරිත යටි වියනත් විසින් නිර්මාණය කළ සිසිලස මෙම බිමට ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයකි. මෙහි ඇති කිසිදා ජලය නොසිඳින කලු පැහැ ජල පොකුණ නිසාවෙන් මෙම ආරාම සංකීර්ණය දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියව පවතී.

‘දළතා’ රන් කලං පූජා කළ කළුදිය පොකුණ

නෙක නෙක තුරුලතා අතුරින් ගල් පතුරු ගැලවුනු අඩිපාර දිගේ ඉහළට ගමන් කරන විට සීතල කාල වර්ණයෙන් පොහොනා කලුදිය පොකුණ හමුවේ. මේ වන උයනේ නැගී සිටියා වූ මහා වනස්පතීන්ගේ මූල පද්ධතිය තුළින් උල්පත් පාදාගත් කලුදිය පොකුණ වසර පුරාවටම ජලය පවතින කිසිදා ජලය නොසිඳෙන ජල තටාකයකි.

කලුදිය පොකුණේ දිය සීරාවන් උරා ගනිමින් ආරණ්‍ය සේනාසනයේ දෙපස කුඩා ගල් වැලි අතරින් ගලා යන දිය සීරාවකි. මෙමගින් දකිනිගල වන සෙනසුන හෙවත් කලුදිය පොකුණ ආශ්‍රිත පරිසරයට එක් වන්නේ අපූරු සුන්දරත්වයකි.

පුරාණයේ රහතන් වහන්සේ 500 කට අධික ප්‍රමාණයක් වැඩවිසූ බව ජනප්‍රවාදයේ සඳහන් වන මෙහි කටාරම් සහිත පුරාණ ලෙන් 47 ද පවතී. එහි ලෙන් 12 කම සෙල්ලිපි දක්නට ලැබේ. ගල් ලෙන් 47න් 32ක්ම කටාරම් කොට තිබේ. එසේම සිසිල් දිය දහරාවන්ගෙන් වටවූ විහාරමළුවේ ගරාවැටුණු දාගැබක් බෝධිඝරයක් උපෝසථාගාරයක් යනාදී විහාර අංග දැකගත හැකිය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානයක් ලෙස මෙම දක්ඛිණගිරි වෙහෙර සැලකේ.

පාළු නිස්කලංක පරිසරයක පිහිටි භික්ෂූන් වහන්සේ භාවනායෝගීව සිටි ඇතැම් ගල්ලෙන් මැටි සහ ගල් බිත්තිවලින් සම්බන්ධ වී ඇත. ක්‍රි. ව 137- 139 අතර කාලයේ ඉදිකර ඇතැයි සැලකෙන මෙම දක්ඛිණගිරි විහාරය දුටුගැමුණු රජුගේ සොහොයුරෙකු වූ සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එසේම 10 වන සියවසදී පළවන සහ දෙවන සේන රජු විසින් මෙම ආරාම සංකීර්ණයෙහි යම් යම් ප්‍රතිසංස්කරණ කළ බව මෙහි ඇති සෙල්ලිපිවල සඳහන් වේ. දෙවන සේන රජුගේ 8 වන රාජ්‍ය වර්ෂයේ දී දකිණිගල වැඩවිසූ භික්ෂූන් වහන්සේගේ දානය පිණිස දළතා නම් අයෙකු විසින් රත්තරං කලං 23ක් පූජා කළ බව දැක්වේ.

ක්‍රි. පූ 10 වන සියවස තෙවන සේන රජුගේ කාලයේ මධ්‍යකාලීන සිංහල බසින් රචිත කලුදිය පොකුණ අසල පුවරු ලිපිය සඳහන් කරන්නේ දකිගල විහාරයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු නීතිරීති සමුදායකි. යම් කිසිවෙකු විසින් මෙම නීති කඩ කළහොත් ඔවුන්ට මෛත්‍රී බුදුන් දැකගන්නට නොලැබේවායි යන්න එහි අන්තර්ගතය. සීගිරි කුරුටු වල සඳහන් දක්ඛිණගිරි විහාරය මෙය විය හැකි බවත් ඒ අනුව මෙම ස්ථානය ක්‍රි. පූ 8, 9 ,10 සියවස්වල ඉතා දියුණු තත්ත්වයක පැවති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයකි.

තවමත් නිසි පුරාවිද්‍යාත්මක කැණීම්වලට ලක්ව නැති මෙම විහාරාම සංකීර්ණය මිහිකතට යටවී අපේ ඉතිහාසයේ යුග ගණනාවක කතා තිබිය හැකිය. සියවස් ගණනාවක් නොකිලිටිව පැවති මෙම වන සෙනසුනේ ආරක්ෂාව මතු පරපුර සතු බව අප වටහා ගත යුතුය. දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්ව ඇති මෙම සිසිල් පාරිසරික කලාපය මතු පරපුර සඳහා ආරක්ෂා කරදීම මෙම ස්ථානය නැරඹීමට එන සැමගේ පරම යුතුකමකි.

චානිකා මධුෂාණි අබේවික්‍රම
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,මාතලේ
ඡායාරූප – ගාමිණී නිශාන්ත කරුණාරත්න
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment