කලාවේ අවකලාව නොහොත් කූට ලේඛන කලාව

788

හෝඩිය සොයා ගැනීමත්, කූට ලේඛන සැකසීමත් සමාන්තර ඉතිහාසයක් ඇති සිදුවීම් දෙකකි. K M Koppenhaver නමැති ඇමරිකන් පර්යේෂකයා විසින් ලියන Forensic Document Examination නමැති පොතේ සඳහන් වන පරිදි අත් අකුරු හෝ වෙනත් විධිවල රූපාක්ෂර බිහිවූ කාලයේ පටන් මිනිස්සු ව්‍යාජ ලේඛන සැකසූහ. වැඩිපුරම මේ ව්‍යාජ ලේඛන සකස් කරන ලද්දේ මුදල් වංචා කිරීමටය. ක්‍රිස්තු පූර්ව 80 දී රෝමන්වරු අනුන්ගේ ඉඩකඩම් අයිතිකර ගැනීම සඳහා හොර ඔප්පු ලියූ බවට සාක්ෂි තිබේ. මේ නිසා ව්‍යාජ ලේඛන සැකසීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකමින් එයට එරෙහිව නීති රීති සැකසීම ක්‍රිස්තු පූර්ව 80 දී රෝම රාජ්‍යයේදී සිදුවිය. ව්‍යාජ ලේඛනයක් යනු එක්කෝ කිසියම් නීත්‍යනුකූල මුල් ලේඛනයක හොරට සෑදූ පිටපතකි. එසේත් නැත්නම් ආණ්ඩුවේ ආයතනයකින් කිසියම් දෙයක් ලබා ගැනීම සඳහා සිවිල් පුද්ගලයකු විසින් රජයේ ලේඛනයක් සේ පෙනෙන පරිදිම ව්‍යාජ ලෙස සකසන ලද ලියවිල්ලකි. මේ රටේ ඕලන්ද පාලනය පැවති කාලයේදී ව්‍යවහාර මුදල් ලෙස පාවිච්චි කරන ලද්දේ ලෝකඩ කාසි වර්ගයකි. මේ ලෝකඩ කාසි අතර Bar coin නමැති කාසි විශේෂයක් විය. මේ කාසියේ මූණත අගය ඉතාම වැඩිය. සිංහල මිනිස්සුත් ඕලන්ද ජාතිකයෝත් Bar Coin නමැති මේ මුදල හොරට අච්චු ගැසූහ. මෙහිදී අච්චු ගැසීම යනුවෙන් සඳහන් කරන්නේ මුද්‍රණය කිරීම නොව අනුපිටපත් සැකසීමය. එම මුදල හොරට අච්චු ගසා අසුවෙන සිංහලයන්ට දරුණු වධ දී මරණ ලද අතර එම වරදම කළ ඕලන්ද ජාතිකයන්ට දඩ මුදලක් පනවන ලදී. අදටත් හොර සල්ලි අච්චු ගසන්නා රුපියල් 100 කොළ හොරට මුද්‍රණය කරන්නේ නැත. ඔහු නිතරම යොමුවෙන්නේ රුපියල් 5000 කොළ හොරට අච්චු ගැසීමටය.

සිර දඬුවම් නියමකර තිබූ චූදිතයකුට උසාවියෙන් පැනවූ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මාර්ගයෙන් යොමුකිරීම ඇතුළු චෝදනා යටතේ CID‍ ය මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය රිමාන්ඩ් කර තිබේ. ඇයට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව කූට ලේඛන සකස් කිරීමය. ඇය මෙම කූට ලේඛනය සකස්කරදී ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනා 8 න් 7 කටම වරදකරු වූ පුද්ගලයකු වෙනුවෙනි. කූට ලේඛන සැකසීම යනු එකෙනෙහිම ඇප නොදෙන වරදකි. මෙයට අමතරව පෙරකී විත්තිකරුගේ නඩු ගොනුවද අස්ථානගත වී තිබේ. නඩු විභාගයෙන් වරදකරු වීමෙන් පසු පෙරකී විත්තිකරු ඇපෑලක් ගොනුකර ඇප ලබා ඇත. මෙවැනි අවස්ථා වලදී විත්තිකරු පිට රට යෑම අධිකරණය මගින් අත්හිටුවනු ලබන්නේ ඔහු ගියොත් ගියාම වන බැවිනි. මාකඳුරේ මධූෂ්ලා සමග හසුවූ කන්ජිපානි ඉම්රාන්ට ඇප ලැබුණු අතර එදිනම රාත්‍රියේදී ඔහු බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන්නේය. හරක් කටා සම්බන්ධයෙන්ද මෙවැනිම වැඩපිළිවෙළක් යොදා ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වුවද රෙජිස්ට්‍රාර්වරිය ආගමන විගමන දෙපාර්තමේන්තුවට යැවූ ලිපිය අවම වශයෙන් රුපියල් ලක්ෂ 50 ක්වත් වටී. මේ ලිපිය කඩේකට දී රුපියල් ලක්ෂ 50 ක් ලබාගැනීමට නොහැකි නමුත් අදාළ විත්තිකරුට ලබාදී එම මුදල ලබාගත හැකි බව උපකල්පනය කිරීමට පුළුවන. රෙජිස්ට්‍රාර් තනතුර යනු උසාවියක තිබෙන වඩාත් බලගතු තනතුරු වලින් එකකි. පෙරකී රෙජිස්ට්‍රාර්වරිය මෙම ලිපිය සකස් කළේ යහළුවකුට උදව් කිරීම පිණිසය. එය සම්පූර්ණයෙන්ම අපතේ ගිය ව්‍යායාමයක් බවට පත් වන්නේය.

ඕනෑම කාරණයකදී ඔරිජිනල් ලේඛනයක් ලබාගැනීමට වඩා ලෙහෙසියෙන් කූට ලේඛනයක් ලබාගැනීම පහසුය. ඔරිජිනල් ලේඛනය ලබා ගැනීමට රුපියල් 20 කුත් මාස තුනකුත් වැය වන්නේ නම් එහිම කූට ලේඛනය ලබාගැනීමට වැය වන්නේ පැය දෙක තුනකුත් වැඩි මුදලකුත් පමණි. නූපන් අයටත් උප්පැන්න සහතික ලබා ගැනීමට ලංකාව හා ඉන්දියාව යන රට වලින්ද අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයකින්ද යන තැන් වලින් පුළුවන. මෙසේම නොමළ එකාට මරණ සහතික ගැනීමටද මේ රටවලදී පුළුවන. නොමළ එකෙකුට මරණ සහතිකයක් ලබාගන්නේ ඇයි? එමගින් ජීවතුන් අතර සිටියදීම යම් යම් මූල්‍ය වාසි ලබා ගැනීමට නොමළ එකාට පුළුවන. හොර උපාධි සහතික, හොර ප්‍රතිඵල ලේඛන, හොර ඔප්පු, හොර පාස්පෝට්, හොර අයිඩෙන්ටි කාඩ් යනාදිය සෑදීම ශ්‍රී ලංකාව තුළ වෙනම කර්මාන්ත ස්ථරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. එය විශාල ආර්ථික ක්‍රියාදාමයකි. සමහරවිට පාස්පෝට් කන්තෝරුව සතියකදී ලබන ආදායම හොර පාස්පෝට් කාරයින්ට දවස් හතරකින් ඉපැයිය හැකිය. මිනිසුන් ව්‍යාජ ලේඛන සඳහා යොමුවන ප්‍රධාන හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න අදාළ ලේඛනයට අවශ්‍ය වෙනත් ලේඛන ඔහු සතුව නොතිබීමය. දෙවැන්න තනි වංචාවය. හොර උප්පැන්න සහතික හැදීම අපූරු කලාවකි. කෙනකුට 1950 උප්පැන්නයක් අවශ්‍ය නම් ඒ කාලයේ මුද්‍රණය කළ හිස් උප්පැන්න සහතික පෝරමයක් ගෙන එය අරළු තැම්බූ වතුරේ බහා දෙදිනක් පල්කොට වැලේ දමා පවනේ වේලා ගනු ලැබේ. එවිට මෙම පෝරමය තනිකරම 1950 උප්පැන්න පෝරමයක් බවට පත්වේ. මේ 1950 දී උප්පැන්න සහතික පිරවීමට පාවිච්චි කළ ඉංග්‍රීසි වැල් අකුරෙන් ලිවීමට දත් ශිල්පීහු සිටිති. පුරවා සීල් එක යොදා අවසන් කළ පසු මෙය කූට ලේඛනයක් බව කිව හැක්කේ රස පරීක්ෂකට පමණි. කූට ලේඛන සෑදීම යනු කලාවේ අවකලාවකි. එයින් වැදෙන කරන්ට් එක තෙකලා විදුලි සැරයක් හා සම වන අතර එයින් සමාජයට සිදුවන හානිය මකලාවත් යළි ගොඩගැනීමට නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment