ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ගොවිපළ කටයුතු සඳහා සූර්ය බලශක්තිය

225

ගොවිබිමක සූර්ය බල විදුලිය පද්ධති ස්ථාපනය මත වැදගත් ප්‍රතිලාභ රැසක් හිමිවේ. වඩාත්ම කැපී පෙනෙන වාසිය වන්නේ පාංශු සෞඛ්‍යයයි. එනම් පසෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට ඒවා උපකාරීවීමයි.

කෘෂි හා වැවිලි කටයුතු හිදී බිම් සැකසීමේ සිට නිමි නිෂ්පාදන සැකසීම දක්වා විවිධ යන්ත්‍රෝපකරණ භාවිතයට ගැනේ. එමෙන්ම ලොකු කුඩා රථවාහන උපයෝගි කරගෙන එම නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන හෝ පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම සිදුකරයි. මෙම ක්‍රියාකාරකම් බොහොමයක් ඉටුකර ගැනීම උදෙසා බලශක්තිය උත්පාදනය කරගන්නේ පොසිල ඉන්ධන දහනය කිරීමෙනි. එම තත්ත්වය යටතේ ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 23% සඳහා සෘජුවම කෘෂිකර්මය, වන වගාව සහ ඉඩම් පරිහරණ කටයුතු දායකවන බව සංඛ්‍යා ලේඛණ දත්ත පෙන්වා දෙයි. පැරිස් සම්මුතියට අනුව 2023 වන විට ගෝලීය උණුසුම 1.5C ට වඩා වැඩි නොවී තබා ගැනීමට මේ ආකාරයෙන් වායු විමෝචනය 45% කින් අඩුකරගත යුතුබව අවධාරණය කෙරුණි. 2050 වනවිට එම අගය ශූන්‍යය විමක් ද අපේක්ෂිතයි.

ඒ අනුව බලශක්ති උත්පාදනය සඳහා ගල් අඟුරු, ද්‍රව ඉන්ධන සහ මීතේන් වායුව පරිහරණයට යොදා ගැනීම නතර කිරීම එක් ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇත. මෙහිදී කෘෂිකර්මාන්තය ආශ්‍රිත කටයුතු පුනර්ජනනීය බලශක්ති ඇසුරෙන් ඉටුකරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ. එහෙත් ඒ උදෙසා එකම පිළිතුර එය නොවිය හැක. එසේ වුවද අනාගත පරම්පරාව වෙනුවෙන් ගෝලීය පරිසරය දුෂ්‍ය කිරීමෙන් වැළකී සිටිමට එය යම්තරමකට දායකවනු ඇත. එයට යථාර්ථවාදී විසඳුමක් ලෙස සූර්ය බල ශක්තිය උපයෝගිකර ගැනීමට ලොව රටවල් රැසක් අවධානය යොමුකර තිබේ. ඒ අතර බොහෝ ගෘහස්ථ හා කර්මාන්තශාලා කටයුතු සඳහා සූර්ය බල විදුලිය මෑත කාලයේ ලෝකය පුරාම ඉහළ ජනප්‍රියත්වයක් අත්පත්කර ගනිමින් සිටී.

සාපේක්ෂව එකවර බහුලව ලබාගහැකි බලශක්ති ප්‍රභවයක් වන සූර්යාලෝකය ඇසුරෙන් විදුලිය බලය නිපදවා ගැනීම උදෙසා සූර්ය පැනල පද්ධති ස්ථාපිත කිරීමට විවෘත පරිසරයක් යොදා ගැනේ. මෙහිදී ගොඩනැඟිලි පියසි, ජලාශ මතුතල හෝ භූමියෙන් ඉහළ වපසරිය ඒ සඳහා වඩාත් භාවිතයට ගැනේ. විශේෂයෙන්ම ඒ උදෙසා ගොවිබිම් ආශ්‍රිතව සූර්ය කෝෂ පුවරු ස්ථාපිතකර විදුලිය නිපදවා ගැනීම සමගින් කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම Agrivoltaics යථාර්ථයක් බවට දැන් පත්ව ඇත. ඇමෙරිකාව, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඔස්ටේ්‍රලියාව, ජපානය සහ චීනය ආදී බොහෝ රටවල් දැනටමත් මෙලෙස සූර්ය බල විදුලිය නිපදවීම හා භාවිතය ප්‍රවර්ධනය කරමින් සිටී. බෝග වගාවේදී සෙවණ සපයා ගැනීම, ජලය වාෂ්පීකරණය අඩුවීම, ආන්තික කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම හා ගොවිපළ ආලෝක කිරීම ආදී විවිධ ප්‍රතිලාභ රැසක් ඒ ඔස්සේ අත්පත්කරගත හැකිවීම මෙම ක්‍රමවේදය ජනප්‍රියවීමට හේතුකාරකවී තිබේ. එමෙන්ම කෘෂිකාර්මික උපකරණ බල ගන්වන විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය බල විදුලිය ආදේශකර ගැනීම තුළින් ඉන්ධන හෝ ජලවිදුලිය මත වන බලශක්ති පිරිවැය කපාහැරීමට ද එමඟින් ගොවිපළ හිමියන්ට අවස්ථාව උදාවීම වඩාත් වාසිදායකවී ඇත.

ගොවිතැන උදෙසා බීජ, පොහොර සහ උපකරණ මිලදී ගැනීම් සඳහා වාර්ෂිකව දරන පිරිවැයෙන් පීඩාවට පත්වී සිටින මෙරට ගොවීන්හට මෙය නවමු අත් දැකීමක් වනු ඇත. එසේ වුවද තම වගා බිමේදීම බලශක්තිය නිපදවා අතිරේක ආදායමක් සමග බෝග අස්වනු රැස්කරගත හැකිවීම කෙතරම් වාසිදායකද යන්න සිතා බැලීම ඉතා වටී. සූර්ය බල විදුලිය තම කටයුතු උදෙසා උපයෝගිකර ගැනීම දෙස ගොවිජනතාව විමසිලිමත් වියයුත්තේ මෙවැනි වටපිටාවක් තුළයි. විශේෂයෙන්ම වර්තමානය වනවිට පරිසර දූෂණය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට එරෙහිව ගෝලීය බලපෑම වඩාත් ඉස්මතුවීම හේතුවෙන් විවිධ කාර්යයන් උදෙසා පුළුල් ලෙස සූර්ය බල විදුලිය භාවිතා කිරීමට යොමුවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතියි. ඒ සමගම කෘෂිකාර්මික අංශයේ විවිධ යෙදුම් උදෙසා සූර්ය බල විදුලිය ආදේශ කරගැනීම පුළුල්වී තිබේ. උදාහරණ ලෙස විදුලි සැපයුම සීමාසහිත හෝ නොමැති බොහෝ ගොවිපළවල ජල පොම්ප ක්‍රියාකරවීමට, පශු සම්පත් සහ කිරි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ජලය උණුසුම් කිරීමට මෙන්ම බිත්තර රක්කවන යන්ත්‍ර උදෙසා අවශ්‍ය උණුසුම නිපදවා ගැනීමට ද සූර්ය බල විදුලිය යොදාගැනීම පෙන්වා දිය හැකිවේ. එසේම මෙම බලශක්ති භාවිතය ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උචිත පරිසරයක් ගොඩනැඟෙනු ඇත.

එමෙන්ම කෘෂිකාර්මාන්තයේ දී ධාන්‍ය වියළීම සඳහා හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම භාවිතයට ගැනුණි. කෙසේ වුවද සුළඟට නිරාවරණය වීම, කෘන්තකයින් මගින් හා වෙනත් අපද්‍රව්‍ය ආදියෙන් දූෂ්‍යවීමේ අවදානමට ඒවා ලක්වෙති. එහෙත් නූතන තාක්ෂණික දියුණුවත් සමඟ සූර්ය ශක්තිය උපරිම ලෙස උපයෝගිකර ගතහැකි සූර්ය වියළන යන්ත්‍ර දැන් භාවිතයට යොදා ගෙන තිබේ. මෙවැනි පද්ධති ඇසුරෙන් විජලන ක්‍රියාවලිය වේගවත් කිරීමට හා ආහාරවල පැහැය සහ ගුණාත්මක බව රැකගැනීමට හැකිවී ඇති අතර ඒ උදෙසා වැයවන කාලය අඩු කරගැනීමට ද හැකිවී තිබේ. මෙලෙස විජලනයකර ඇසුරුම් කරන ලද ආහාර සඳහා අද හොඳ වෙළෙඳපොළක් ද පවතී.

විශේෂයෙන්ම හරිතාගාර වගාකටයුතුවලදී ඇතැම් බෝග සහ ශාකවල නිසි වර්ධනය සඳහා උණුසුම අත්‍යවශ්‍ය වේ. බොහොමයක් හරිතාගාර උදෙසා හිරු එළිය භාවිතා කරන්නේ ආලෝකය සඳහා මිස උණුසුම් කිරීම සඳහා නොවේ. බොහෝවිට ඒවායෙහි අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීමට ඉන්ධන සහ වායු උපයෝගීකර ගැනේ. එහෙත් සූර්ය හරිතාගාර බෝග සඳහා අවශ්‍ය ආලෝකය සහ උණුසුම යන දෙකම එකවර සපයාගැනීමට හැකි ව්‍යුහයකි. සූර්ය හරිතාගාරයක විදුලිය නිපදවීමට සූර්ය කෝෂ පුවරු සහ විදුලි බලය ගබඩා කිරීම සඳහා බැටරි යොදා ගැනේ. ඒ උදෙසා විදුලිය උත්පාදනය කරන විනිවිද පෙනෙන තරංග ආයාම වරණීය ප්‍රකාශ වෝල්ටීයතා Wavelength-Selective Photovoltaic සූර්ය පැනල භාවිතා කරයි. මෙම පුවරු ආලෝකයේ නිල් සහ කොළ තරංග ආයාමයන්ගෙන් ප්‍රමාණයක් අවශෝෂණය කර විදුලිය ජනනය කරන අතරම ඉතිරිය මගින් බෝග වර්ධනය වීමට ඉඩකඩ සලසයි. එය සම්ප්‍රදායික ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිවලට වඩා අඩු වියදමකින් විදුලිය ජනනය කරන කාර්යක්ෂම නව්‍ය තාක්ෂණයකි. ඒ අනුව නිපදවන විදුලිය හරිතාගාරයේ උෂ්ණත්වය පාලනය කිරීමට, විදුලි පහන් සහ විදුලි පංකා ඇතුළු ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධති උදෙසා යොදාගත හැකිවේ.

එමෙන්ම දුරස්ථ ප්‍රදේශවල පිහිටි ගොවිපළ අවශ්‍යතා උදෙසා විදුලි සැපයුම සීමාසහිත විය හැකි අතර විදුලිය ඇනහිටීමකදී ගොවීන්ට ගොවිපළවල තම උපකරණ සහ මෙවලම් ක්‍රියාත්මක කිරීමේ ගැටලුවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවේ. එහෙත් ගොවිපළ පරිශ්‍රයේම සූර්ය පැනල පද්ධති ස්ථාපනය කර විදුලිය සපයාගන්නේනම් ඊට සාර්ථක විසඳුමක් එමගින් ලැබෙනු ඇත. බොහෝ අවස්ථාවලදී ගොවීන් තම ගොවිපළවල ශීතකරණ සහ සිසිලන පද්ධති නොමැතිකම හේතුවෙන් විශාල පාඩුවලට මුහුණ දෙති. ශීතකරණ පද්ධතියක් තිබුණද නිරන්තර විදුලිය විසන්ධිවීම් සහ පැය ගණන් විදුලිය ඇනහිටීම් සමඟ ගබඩාකරන ලද නිෂ්පාදනවල ගුණාත්මක බව පිරිහීමට ලක්වේ. සූර්ය බල විදුලියෙන් ක්‍රියාත්මක වන සිසිලන පද්ධඅඅති මෙම ගැටලුව විසඳීමට ප්‍රශස්ථ විකල්පයක් වන්නේ එබැවිනි. එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් ලෙස ගොවිපළ ආශ්‍රිතව දිවා කාලයේ නිපදවන සූර්ය බල විදුලිය බැටරි තුළ ගබඩාකර රාත්‍රියේදී වුවද භාවිතයට හැකිවේ. ගොවිපළක තෝරාගත් ස්ථාන සිසිල් කිරීම හෝ උණුසුම් කිරීම සහ දිවා ආලෝකකරණය සඳහා සූර්ය බල විදුලිය යොදා ගැනීම වඩාත් වාසිදායකවේ. නැතහොත් අතිරික්ත විදුලිය නිෂ්පාදනය ග්‍රාමීය සැපයුම් ජාලයට යොමුකර තම විදුලි පිරිවැය අඩුකර ගැනීමට අවස්ථාව වුවද සලසාගත හැකිය. ඒ අනුව උත්පාදනය කරන ඕනෑම අතිරික්ත සූර්ය විදුලිය ප්‍රමාණයක් ප්‍රධාන විදුලිබල පද්ධතියට Feed-in-tariff හෝ Net metering ක්‍රමවේදය යටතේ යොමුකළ හැකි අතර සාමාන්‍යයෙන් එසේ යොමුකරන බලශක්තිය සඳහා දීමනාවක් හෝ අනෙකුත් අවස්ථාවන්හිදී භාවිතා කරන විදුලිය ඒකක ප්‍රමාණයට හිලව් කිරීමකට වුවද හැකියාව පවතී. එහෙත් මේ උදෙසා ලංවිම සමග ගිවිසුම් ගතවීම පූර්ව අවශ්‍යතාවයකි. ගොවිපළ තුළ විදුලිය ජනනය කරගෙන ප්‍රධාන විදුලි බල ජාලයට සම්බන්ධ නොකර භාවිතයට ගන්නේ නම් සූර්ය පුවරු උපදවන විදුලිය දින කිහිපයක් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් බැටරි සංඛ්‍යාවක් (බැටරි බැංකුවක්) හා විශේෂිත ඉන්වර්ටරයක් ඒ උදෙසා සපයාගත යුතුවේ.

ගොවිබිමක සූර්ය කෝෂ පුවරු ස්ථාපනය කරනුයේ පොළව මත වගාකිරීමට හැකියාව පවතින ආකාරයෙනි. නැතහොත් වගා ව්‍යුහයන්ගේ පියසි මත ය. එහෙත් සූර්ය පැනලයට හෝ පැනල පුවරු පේළි අතර ගොවිතැන සියලු බෝග සඳහාම සුදුසු නොවනු ඇත. සෑම දෙයක්ම සෙවණෙහි හොඳින් වර්ධනය නොවේ. නමුත් අත්හදා බැලීම්වලින් සනාථ වන්නේ සමහර පලතුරු සහ එළවළු පුදුම සහගත ලෙස අස්වනු ලබා දෙන බවයි. එමෙන්ම තෘණ වගා ක්ෂේත්‍රයන්හි පරතර සහිතව සූර්ය කෝෂ පුවරු ස්ථාපිත කිරීමේ හැකියාවද පවතී. විශේෂයෙන්ම ඉස්සන් සහ මාළු ඇති කරන ගොවිපළ ජලාශ මත පාවෙන පරිදි සූර්ය කෝෂ පුවරු රැඳවීමෙන්ද විදුලිය ජනනය කරගත හැකිවේ. එමෙන්ම සූර්ය බලශක්ති සංවර්ධකයන්ට තම ඉඩම බදු දීමෙන් ගොවීන්ට අමතර මුදල් උපයා ගැනීමට වුවද හැකියාව පවතියි. ගොවියෙකුගේ වාර්ෂික ආදායම අනපේක්ෂිතවිය හැකිය. එනමුත් අයහපත් කාලවලදී ඔවුන්ගේ මූල්‍ය ගැටලු උදෙසා ස්ථිරසාර විසඳුමක් මේ ඔස්සේ උදාකරගත හැකිවේ.

සීමිත ඉඩකඩක් සහ බලශක්ති ආනයන මත දැඩි ලෙස රඳා පවතින ජපානය 2030 දී එහි බලශක්ති අවශ්‍යතාව 36% සිට 38% දක්වා ප්‍රමාණයක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. 2050 වන විට කාබන් උදාසීනතාවයට ළඟාවීමට ජපානයේ වගා කළ හැකි ගොවිබිම්වලින් 5% ක් හෝ හෙක්ටයාර 200,000 ට සමාන සූර්ය කෝෂ පුවරු භාවිතකර එරට විදුලිය අවශ්‍යතාවෙන් 20% ක් ජනනය කිරීමට අදහස් කරයි. දකුණු කොරියාව සිය පුනර්ජනනීය බලශක්ති සැලැස්ම යටතේ 2030 වන විට ගිගාවොට් 10 ක ධාරිතාවක් වගාබිම් ආශ්‍රිතව ඉලක්කකර තිබේ. ගිගාවොට් 2 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික ගොවිබිම් පරිවර්තනය සඳහා ඉතාලිය යුරෝ බිලියන 1.1 (ඩොලර් බිලියන 148 ක් පමණ) ආයෝජනය කිරීමට සැලසුම්කර තිබේ. ජර්මනියේ Fraunhofer ISE ආයතනය ප්‍රකාශකරන පරිදි කෘෂිකාර්මික ගොවිබිම් ආශ්‍රිත කලාපයන්හි දේශගුණික විපර්යාස අවමකර වඩාත් ඔරොත්තු දිය හැකි පරිසරයක් බිහිකර ගැනීමට මේ අනුව හැකියාව පවතී. ලොව ප්‍රමුඛතම සූර්ය කෝෂ පුවරු නිෂ්පාදකයා වන චීනය, Ningxia හි කාන්තාරයේ වර්ග මීටර් මිලියන 20 ක (හෙක්ටයාර 20,000) භූමි ප්‍රමාණයක් ආවරණය කර සූර්ය බල විදුලිය නිපදවීම සහ කෘෂිකාර්මික කටයුතු එකවර කරගෙන යනු ලැබේ. Fraunhofer ISE ආයතනයට අනුව 2020 වනවිට එම ආකාරයේ ගොවිපළ ඇසුරෙන් දළ වශයෙන් ගිගාවොට් 1.9 ක ධාරිතාවක් චීනය නිපදවා තිබේ.

කෙසේ වුවද සූර්ය කෝෂ පුවරු භාවිතා කිරීමේ ශක්‍යතාව රටකින් රටකට මෙන්ම එක් එක් ප්‍රදේශ අනුව රඳා පවතින අතර ඒවායේ කාර්යක්ෂමතාව බොහෝ පාරිසරික තත්ත්වයන් මත බලපැවැත්වේ. එබැවින් දුර්වල විශ්ලේෂණයන් නිසා සිදුවන පාඩු වළක්වා ගැනීමට එම තත්ත්වයන් කල්තියා අවබෝධකර ගැනීම ඉතා වැදගත් වේ. නිවැරදි සූර්ය බල විදුලි පද්ධතියක් දිගුකාලීන ලාභදායී ව්‍යපෘතියක් වනු ඇත. ඒ අනුව පොදු කාර්ය පිරිවැය කපා හැරීමට සහ ගොවීන් මුහුණ දෙන බොහෝ ගැටලු විසඳාගත හැකි ජයග්‍රාහී මූලාශ්‍රයක් ලෙස සූර්ය බල විදුලිය කෘෂිකාර්මික ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට උපකාරීවන නව මාවතක් ගොවිජනතාවට එළිපෙහෙළි කරනු ඇත.

ගොවිබිමක සූර්ය බල විදුලිය පද්ධති ස්ථාපනය මත වැදගත් ප්‍රතිලාභ රැසක් හිමිවේ. වඩාත්ම කැපී පෙනෙන වාසිය වන්නේ පාංශු සෞඛ්‍යයයි. එනම් පසෙහි ගුණාත්මකභාවය පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට ඒවා උපකාරීවීමයි. කෙසේද යත් සූර්ය පැනල ජල වාෂ්පීකරණ අනුපාතය අඩු කරයි. ආර්ද්‍රතා මට්ටම වඩා ඉහළ මට්ටමක තබා ගැනේ. ගොවිපළ ස්වභාවික සම්පත් මතවන පීඩනය අඩු කරයි. එමෙන්ම ගොවිබිම් ආශ්‍රිත සූර්ය බල විදුලි පද්ධති මත තවත් ප්‍රධාන වාසියක් වන්නේ ගොවිපළ හිමිකරුවන්හට මෙන්ම අවට නිවැසියන්හට වඩාත් පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමයි.

බෝග හෝ පශු සම්පත් නඩත්තු කරන මහා පරිමාණ ගොවිපළ මෙන්ම කුඩා වගා බිමක් සඳහා වුවද සූර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපනය කිරීම ඉදිරි වසර ගණනාවක් උදෙසා ශ්‍රම සහ පොදු කාර්ය වියදම් පියවාගත හැකි ආයෝජනයකි. එමෙන්ම බෝග වගාවන්ට කිසිදු බලපෑමක් නොවන ආකාරයට පරිසර හිතකාමී ලෙස කිසිදු බාධාවකින් තොරව දිගු කාලයක් ගොවිපළ ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑමටද හැකි වේ.

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment