දිනූ කඩඉම් වැනූ හසරැළි – උසස් ලෙසින් සමත් වූ උසස් පෙළ දරුවෝ…

3311

වෛද්‍ය පර්යේෂණවලින් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා

ජීව විද්‍යාවෙන් පළමු ස්ථානයට පත් ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පහන්මා උපනි ලිනෝරා

වෛද්‍ය පර්යේෂණ කරලා ඒ පැත්තෙන් ඉදිරියට යෑමට තම බලාපොරොත්තුව යැයි අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ පළමු ස්ථානයට පත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලිනෝරා සිසුවිය කීවාය.

සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය.

මුල ඉඳලා තමන් ගැන විශ්වාසය තියාගෙන වැඩ කරන්න. අනික් අය වට්ටන්න හදාවි. ඒ කිසිවක් ගණන් ගන්න එපා. මම හැමදාම හොඳට නිදාගත්තා. විභාගයට මුහුණදීලා විභාග ශාලාවෙන් එළියට බහිනකම් දිගටම එක අරමුණකින් අධ්‍යාපන කටයුතු කළා. විෂයන් තුනට අදාළ ප්‍රශ්න පත්‍ර 06ම ඉවර වෙනකම් එක අරමුණකින් වැඩ කළා.

ඇත්තටම විද්‍යා විෂය ධාරවෙන් ලංකාවේම පළමු වැනියා වීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි. ප්‍රථිපල එනකම් භයෙන් තමයි හිටියේ. වෛද්‍ය පර්යේෂණ කරලා ඒ පැත්තෙන් ඉදිරියට යෑමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ගණිතය තමයි මට හොඳට පුළුවන්. නමුත් වෛද්‍ය විද්‍යා පැත්තෙන් ඉදිරියට යෑමට ඇති බලාපොරොත්තුව නිසා තමයි විද්‍යා විෂය ධාරාවන් තොරාගත්තේ. උපකාරක පංතිවලට සහභාගි වුණා. එමෙන්ම හැමදාම පාසල් ගියා. ඇඩ්මිෂන් ගත්තාට පසුවත් පාසල් පැමිණියා. මගේ මව්පියන් මගේ ගුරුවරු එක වසරේ සිට මට අධ්‍යාපනය ලබාදීපු සියලු‍ ගුරුවරු මෙන්ම මගේ මිතුරියන් මට ගොඩක් උදව් කළා යැයි ඇය කිවාය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්

ප්‍රදේශයේ දුෂ්කර බවත් දරාගෙන කොහොම හරි විභාගයට පෙනී සිටියා

දිනූ කඩඉම් වැනූ හසරැළි - උසස් ලෙසින් සමත් වූ උසස් පෙළ දරුවෝ…

ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ප්‍රථම ස්ථාන හිමිකර ගත් ගිනිගත්හේන
මධ්‍යම මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා

අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදී අංශයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ශෙහානි නවෝද්‍යා සිසුවිය දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගෙන ඇත.

ගිනිගත්හේන හැබ්බැකන්ද ප්‍රදේශයේ පදිංචි ශෙහානි නවෝද්‍යා සිසුවිගේ පවුලේ පියා, මව සහ සහෝදරයෙකු සිටින අතර ඇයගේ මව්පියන් සුළු පරිමාණයෙන් තේ වගා කරමින් ජිවන උපාය සිදු කරගෙන යනු ලබයි. වසරේ වැඩි කාලයක් වර්ෂාව ඇද හැලෙන අතිශය දුෂ්කර ප්‍රදේශයක් වන ගිනිගත්හේන හැබ්බැකන්ද ප්‍රදේශයේ පදිංචි ශෙහානි නවෝද්‍යා සිසුවිය තමන් ලබාගත් ප්‍රතිඵලය ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ

මම හොද ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා. ඒ නිසා හැමෝම ඒ ගැන කතා වෙනවා. ප්‍රතිඵල දැනගත්තට පස්සේ මට හොඳටම සතුටු හිතුණා. මට මේ ප්‍රතිඵලය ලබාගන්න උපකාර කළ මව්පියෝ, සහෝදරයා, පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරුන්, බාහිර පන්ති ගුරුවරුන්ට මම ස්තුතිය පුද කරනවා.

ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන විෂයක්. ඒ නිසා ගුරුවරු මට ගොඩාක් උපකාර කළා. ඒඅයගේ කැප කිරීම් මත මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා. සමාන්‍ය පෙළ විභාගය සමත් වීමත් එක්කම මම ඉංජිනේරු තාක්ෂණ විෂය කරනවා කියලා හිතාගෙන හිටියේ. කොහොම හරි හොඳ ප්‍රතිඵලයක් ගන්නවා කියලා හිතන් හිටියා. මම පදිංචි ප්‍රදේශය හරිම දුෂ්කරයි. ඒනිසා මට බාහිර පන්තිවලට සහභාගි වෙන්න අභියෝගයක් වුණා. බස් එහෙම තියෙන්නේ වේලාවට. මාර්ගය අබලන්. අවුරුද්දේ වැඩි කාලයක් මෙහෙට වහිනවා. එකත් ලොකු අභියෝගයක් වුණා. කාලයක් අපිට මාර්ගගථ ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කළා. මගේ ගෙදරට දුරකථන සංඥා අඩුයි. ඒවත් දරාගෙන කොහොම හරි විභාගයට පෙනි සිටියා.

මගේ අම්මට තාත්තට කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් අපි පොඩි කාලයේ ඉදන්ම හොඳින් ඉගෙන ගෙන හොඳ තැනකට ගෙන්න ඕනි කියලා අරමුණක් තිබුණා. ඒ නිසා මෙම ප්‍රතිඵලයේ ගෞරවය ඒ දෙන්නට යන්න ඕනි. මගේ අරමුණ විශ්ව විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන කථිකාචාර්යවරියක් වෙන එක තමයි.
නුවරඑලිය නාලක රත්නායක

පාසල් අධ්‍යාපනය වගේම බාහිර පන්ති දැනුමද මෙම ජයග්‍රහණයට හේතු වුණා

දිනූ කඩඉම් වැනූ හසරැළි - උසස් ලෙසින් සමත් වූ උසස් පෙළ දරුවෝ…

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් පළමු වැනියා වූ ඇහැලියගොඩ
ජාතික පාසලේ කිරුළු සිහිල්දිය පල්ලියගුරු

2023 වසර අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල 2024.05.31 දින නිකුත් කළ අතර ජෛව පද්ධති තාක්ෂණවේද විෂයෙන් ශ්‍රී ලංකාවේ පළමු වැනියා ඇහැලියගොඩ ජාතික පාසල තුළින් බිහිවී ඇතැයි ඇහැලියගොඩ ජාතික පාසලේ විදුහල්පති වයි. ගුණසීල දැරණියගල මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙසේ ලංකාවේ පළමු වැනියා වූයේ අවිස්සාවේල්ල පුවක්පිටියේ පදිංචි කිරුළු සිහිල්දිය පල්ලියගුරු සිසුවායි. ඔහුගේ පියා ශ්‍රී ලංකා රේගුවේ ලිපිකරුවකු ලෙස සේවය කරන කපිල පල්ලියගුරුයි. මව වන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කරන ඩබ්.කේ.ආර්. මංගලිකා මහත්මියයි. කිරුළු සිසුවාට වැඩිමහල් සහෝදරයෙක්ද සිටියි. කිරුළු සිසුවා ‘දිවයින’ට ප්‍රකාශ කර සිටියේ පාසල් අධ්‍යාපනය වගේම බාහිර පන්තිවලින් ලැබූ දැනුම කාලය කළමනාකරණය කරගෙන කටයුතු කිරීමෙන් මෙම අවස්ථාව ලැබූ බවයි. ඔහු ශ්‍රී ලංකාවේ පළමු වැනියා යැයි දැනගැනීමත් සමග මහත් සතුටක් ලැබූ බවත් ඔහුගේ ඉලක්කය වී තිබී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමයි. ඔහුගේ අංශ භාර ගුරුවරිය වූයේ පී. කරුණාවතී ගුරු මෑණියන් වන අතර උසස් පෙළ අංශ භාර ගුරුවරයා වූයේ විද්‍යාලයේ සහකාර විදුහල්පති නිහාල් රණවීර මහතායි.

පින්තූරයෙන් කිරුළු සිහිල්දිය පල්ලියගුරු සිසුවා සිය දෙමාපියන්, විදුහල්පති හා උසස් පෙළ තාක්ෂණ අංශයේ ගුරු මණ්ඩලය සමග.
ඇහැලියගොඩ – බී. ජී. විමලවංශ, උපාලි ප්‍රේමතිලක

ඉංජිනේරුවෙකු වී යාපනයටම සේවය කරනවා

දිනූ කඩඉම් වැනූ හසරැළි - උසස් ලෙසින් සමත් වූ උසස් පෙළ දරුවෝ…

ඉංජිනේරු අංශයෙන් යාපනයෙන් පළමු ස්ථානය ගත්
මීසාලේ වීරසිංහම් මහ විද්‍යාලයේ මතියලගන් දිනෝජන්

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉංජිනේරු අංශයේ පළමු ස්ථානය යාපනය මීසාලේ වීරසිංහම් මහා විද්‍යාලයේ මතියලගන් දිනෝජන් ශිෂ්‍යයාට හිමි වී තිබේ.

මම කුඩා කාලයේ සිටම ගණිතයට උනන්දුවක් දැක්වූ නිසා උසස් පෙළට ඉංජිනේරු අංශයෙන් විභාගයට පෙනී සිටියා. ඉන් විශාල ජයක් මට හිමි වුණා. ඉංජිනේරුවෙකු වී යාපනයටම සේවය කිරීම මගේ එකම අරමුණයි යනුවෙන් ඔහු ප්‍රකාශ කොට සිටියේය.
දිනසේන රතුගමගේ

අමතර පන්ති යෑමක් නැතිව නිවසේ සිටම ඉගෙන ගත් නිසා කාලය ගොඩක් ඉතුරු වුණා

දිනූ කඩඉම් වැනූ හසරැළි - උසස් ලෙසින් සමත් වූ උසස් පෙළ දරුවෝ…

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් ගම්පහ
ප්‍රථම ස්ථානය දිනූ රත්නාවලියේ තිලිණි චතුරිකා

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් සමස්ත දිවයිනෙන්ම හයවන ස්ථානයත් ගම්පහ රත්නාවලී බාලිකාවේ තිලිණි චතුරිකා පතිරණ ශිෂ්‍යාව හිමි කරගෙන ඇත.

තිලිණි චතුරිකා පතිරණ තම ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම ඒ සාමාර්ථ ලබාගෙන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වුණා. මම භෞතිකව අමතර පන්තිවලට සහභාගි වුණේ නැහැ. පාසල් අධ්‍යාපනයට අමතරව යූටියුබ් වීඩියෝවලින් අමාරු විෂය කරුණු හැදෑරුවා. නිවසේ සිට ඉගෙනුම් කටයුතු සිදු කළ නිසා කාලය ගොඩක් ඉතුරු වුණා.

මට විදුහල්පතිනි වසන්තා කුමාරි මැඩම්, පන්ති භාර ඉමාලි කෝරලගේ මැඩම්, ශ්‍රේණි භාර මනෝරි අලගියවන්න මැඩම්, දර්ශනී විතාන මැඩම්, රංශිකා ප්‍රේමචන්ද්‍ර මැඩම්, ශාලිකා මැඩම්, හසිනි මැඩම් ඇතුළු ආචාර්ය මණ්ඩලය මගේ ජයග්‍රහණයට ගොඩක් උදව් කළා. ඒ සියලු‍ දෙනාටම මම ස්තූති කරනවා. මගේ පියා ජී.පී.එච්. ශාන්ත. ඔහු ව්‍යාපාරිකයෙක්. මව තනුජා දිසානායක. ඇය ගෘහණියක්. මගේ ජයග්‍රහණය ගැන මව, පියා සහ සහෝදරිය ගොඩක් සතුටු වුණා. එයාලගේ කැපවීම්වලට වටිනාකමක් දෙන්න පුලු‍වන් වුණා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට දිගු කාලීන බලාපොරොත්තු නැහැ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා.”‍

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment