දූෂණ චෝදනා හමුවේ සිංගප්පූරු සංචාරක ඇමැති ඉල්ලා අස්වෙයි

409

ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් පවතින බවට නම් දරා ඇති සිංගප්පූරුවේ සංචාරක කර්මාන්තය භාරව සිටි කැබිනට් ඇමැතිවරයා වන සුබ්‍රමනියම් ඊශ්වරන් ඔහුට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් ඊයේ (18 දා) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ල වී ඇති අතර ඔහු එම සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු යයි ප්‍රකාශ කර තිබේ.

සිය ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු කැබිනට් ඇමැති ඊශ්වරන්ට එරෙහිව සිංගප්පූරුවේ පැවැති ෆෝමියුලා 1 ගොන්ප්‍රි මෝටර් රථ තරගාවලියේ දී ප්‍රබල දේපළ හිමිකරුවකු වන ඔන්ග් බෙන්ග් සෙන්ග්ගේ ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැටදහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් ගුවන් ගමන්, හෝටල්වල නවාතැන් ගැනීමේ පහසුකම් හා ගොන්ප්‍රි තරග නැරඹීමේ ටිකට් පත් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනා ඇති බවට ඔහුට එරෙහිව චෝදනා පත්‍ර නිකුත් කරමින් බලධාරීන් පවසා තිබේ. ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පුරු අගමැති ලී සීයෙන් ලුන් වෙත යවමින් තමා එල්ල වී ඇති දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමා නිර්දෝෂී අයකු බවත් හිටපු ඇමැතිවරයා පවසා තිබේ. සිංගප්පූරුව ලොව ඉහළම වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින රටක් ලෙස හැඳින්වෙන අතර එරට කැබිනට් ඇමැතිවරයකුගේ ආරම්භක මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 45,000 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පවසයි. එවැනි විශාල වැටුපක් සිංගප්පූරු ඇමැතිවරුන්ට ලබා දෙනුයේ දූෂණ හා වංචා ක්‍රියාවන් ඇති වීම් වැළැක්වීම සඳහා බව පැවසෙයි.

අවසන් වරට සිංගප්පූරු ඇමැතිවරයකුට දූෂණ චෝදනා එල්ල වී තිබුණේ 1986 වසරේදී වන අතර එහිදී ජාතික සංවර්ධන ඇමැති ටේ චියන්ග් වැන්ට එරෙහිව අල්ලස් චෝදනා ඉදිරිපත් වී තිබිණි. එහෙත් එම ඇමැතිවරයාට එරෙහිව චෝදනා පත්‍ර නිකුත් කිරීමට පෙර ඔහු සිය දිවි නසා ගෙන තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment