දෙවැනි වාරිකය ගන්න ජනපති 26 දා අයි.එම්.එෆ් ගිවිසුමකට අත්සන් කරයි

165

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම සාකච්ඡාවලට සහභාගි වෙයි.

මෙම සාකච්ඡාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍රවල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කරුණු දක්වා තිබේ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කර ගෙන නොමැති බව අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ. මෙහිදී සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙළ ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය. එසේම දෙපාර්ශ්වය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද රත්නායක මහතා කියා ඇත.

රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව කියා ඇති සාගල රත්නායක මහතා බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බව ද පවසා ඇත. ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධී මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවයි. එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද රත්නායක මහතා කියා තිබේ. ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව කියා ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment