ජංගම දුරකථන සේවාවන් ඔස්සේ රක්ෂණ විකිණීම තහනම් වෙයි

709

ජංගම දුරකථන හරහා රක්ෂණ ඔප්පු අලෙවි කිරීම තහනම් කිරීමට රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. වසර ගණනාවක් තිස්සේ රක්ෂණ සමාගම් සිදුකරන මෙම ක‍්‍රියාවලිය විමසා බැලීමෙන් පසු මෙය වහාම නවත්වන ලෙස දන්වා රක්ෂණ සමාගම්වලට නියෝගයක් ද නිකුත්කර තිබේ.

 ජංගම දුරකථන සේවාවන් මගින් දෛනික රක්ෂණ ගිවිසුම් සහ වෙනත් රක්ෂණ ඔප්පු දුරකථන ග‍්‍රාහකයන්ට විකිණීම දිගු කලක් තිස්සේ පැවතින. සාමාන්‍යයෙන් රක්ෂණ ඔප්පුවක් අලෙවි කරන විට ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවාට පැහැදිලි විස්තරයක් ලබා දීමට පළපුරුදු රක්ෂණ නියෝජිතයකු යොදා ගැනීම සිදුවෙයි. එහෙත් ජංගම දුරකථන සේවාවන් ඔස්සේ රක්ෂණ ඔප්පුවක් විකුණන විට අදාළ රක්ෂණය පිළිබඳ පටිගත කරන ලද කෙටි විස්තරයක් පමණක් ග‍්‍රාහකයාට ඇසීමට සලස්වනු ලැබේ. මේ විස්තරය විනාඩි පහකට අඩු කාලයක් තුළ සිදුකෙරෙන බැවින් ඔප්පුව මිලට ගන්නා තැනත්තාට ඒ පිළිබඳව නිසි වැටහීමක් නොලැබෙන බව රක්ෂණ නියාමන කොමිසමේ විශ්වාසය වේ. මෙහිදී තමා ලබාගන්නා ඔප්පුව ගැන නියෝජිතයා සමග කතා බහ කිරීමට හෝ තමාට ලැබෙන වාසි මොනවාද සහ තමාට නොලැබෙන දේ මොනවාද යන්න පිළිබඳව හැඟීමක් නැතිවම රක්ෂණ ඔප්පුව මිලට ගැනීමට ගනුදෙනුකරුට සිදුවේ.

 මේ අනුව මෙතැන් පටන් රක්ෂණ ඔප්පු අලෙවි කිරීමේදී ගනුදෙනුකරුට එය පිළිබඳව නිසි විස්තරයක් ලබාදීමේ වැඩපිළිවෙළකට රක්ෂණ සමාගම් යා යුතුය. මේ වසරේ දෙසැම්බර් පළමුවැනිදායින් පසු කොමිසමේ නියමයන් උල්ලංඝනය කරන රක්ෂණ සමාගම්වලට විරුද්ධව පියවර ගැනීමට තීරණය කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment