දෙසැම්බර් 31දායින් පස්සේ මහ ඡන්දයත් ඉවරයි අස්වැසුමත් ඉවරයි රනිල් වික්‍රමසිංහත් නැහැ

964

ජාජබ නායක අනුර කුමාර දිසානායක වවුනියා කාන්තා සමුළුවේදී කියයි
ඔය බඩු බෙදීම්වලට ඉඩම් ඔප්පුවලට අහු වෙන්න එපා

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕනෑ. නමුත්, රංගේ බණ්ඩාර කියා තිබුණා, ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා. මම අවධාරණයෙන් රංගේ බණ්ඩාරට කියන්නේ, එහෙම කරන්න නම්, ලංකාවේ තවදුරටත් ඉඩ නැහැ කියලා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූවේ ඉකුත්(25)දා පැවති එම බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

වජිර අබේවර්ධන කියනවා, තව අවුරුදු දොළහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා. තවත් වෙලාවක වජිර අබේවර්ධන කියනවා, අනෙක් අපේක්‍ෂකයන් කවුරුවත් නොඉල්ලා, රනිල්ට විතරක් ඉල්ලන්න දෙන්න කියලා. ඒ කියන්නේ ඡන්දයකින් රනිල්ට ජය ගන්න බැරි බව ඔවුන් දන්නවා. ඒවාගේම සජිත් ප්‍රේමදාසගේ රැස්වීම්වල ජසයා හා ලෙන්චිනා වාගේ ගතියක් දැනෙනවා. ලෙන්චිනා විතරයි අඩු. ලංකාවේ මුළු දේශපාලනයම අද ජාතික ජන බලවේගය වටා කේන්ද්‍රගත වී තිබෙනවා. මීට පෙර යුතුකම් ඉටු කරන්න, කළගුණ සලකන්න වාගේ දේවල් කියමින්, විවිධ කාලවල විවිධ පක්‍ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් මෙතැනට එකතු වී ඉන්නවා. මෙතෙක් අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් අපත් එක්ක එකතුවීම නිසයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ. මීට පෙර විශාල ලෙස දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ සහ වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් අය අප වටා එක් වී ඉන්නේ ඇයි?

කවුරුත් වැඩියෙන් ම මහන්සි වෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. නමුත්, අද පාසල් අධ්‍යාපනය කඩාවට්ටා, ටියුෂන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල බරක් දරන්න ඔවුන්ට සිදු වී තිබෙනවා. දරුවකු ඉගෙන ගන්න එක අද ගෙදරට බරක් බවට පත් කර තිබෙනවා. දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් ලබාදීම දෙමවුපියන්ට ලොකු බරක් වී තිබෙනවා. ඒ බරෙන් ඔබව නිදහස් කර ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරන බව අපි සහතික වෙනවා. ඊළඟට දරුවන්ට හොඳ රස්සාවක් ඕනෑ. ඇත්තම කියනවා නම්, අවශ්‍ය වෙන්නේ හොඳ රස්සාවක් නොවෙයි, හොඳ ආදායම් මාර්ගයක්. නමුත්, අද වන විට තරුණයන් උත්සාහ කරන්නේ දෙමවුපියන්, හැදුණු පරිසරය දාලා, කොහොම හරි රට අත්හැර යන්නයි. ඒ නිසා දෙමවුපියන් අසරණ වෙලා. හොඳ ආදායම් මාර්ගයක් හොයා ගන්න නිසි මාර්ගයක් නැහැ. දෙමවුපියන්ට බයක්, සැකක් නැතිව දරුවන්ට අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීම අපි භාර ගන්නවා. ඊළඟට අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන විට පරම්පරා කීපයක්ම ජීවත් වන්නේ මුළු ජීවිත කාලයේම පොරබැදුවත්, බාගෙට හැදුව ගෙයකයි. ඒ නිසා අපි මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව ජීවත් වෙන්න නිවාසයක් ලබාදීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. ඒ වාගේ ම අද වන විට ජනගහනයෙන් සියයට හතළිස් අටක් බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටින ජනතාව එයින් මුදා ගන්නා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කරනවා. මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා යහපත් සෞඛ්‍ය පුරුදු, හොඳ ආහාර වේලක් ලබාදීම, ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීම සහ සෞඛ්‍ය පර්යේෂණ නිසි ලෙස සිදු කිරීම රජයේ පොදු වගකීමක් ලෙස භාර ගන්නවා. මේ නිසා පුරවැසියන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දී, නිරෝගී ජීවිතයක පළමු අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. දැන් අවුරුදු හැත්තෑපහක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත්, ඒ වයසේ ජීවත් වන අපේ ගමේ තාත්තා කෙනකුගේත් තත්ත්වය කොහොමද? ආණ්ඩුවලට ඡන්දය දුන් අපේ ගමේ අය අඩු කාලයක් ජීවත් වී, ඡන්දය ගත් අය වැඩි කාලයක් ජීවත් වන සෞඛ්‍ය ක්‍රමයක් තියෙන්නේ. ජාතික ජන බලවේගය මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රටේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් පිහිටුවනවා.

මේ ගම්වල ජීවත් වන ගොවි ජනතාව අද යල කන්නයේ වගා කර මහ කන්නයේ ණය වෙන ජීවිත ගත කරන්නේ. කෘෂිකර්මාන්තය දියුණු කිරීම අපේ ආර්ථික වැඩපිළිවෙළේ අත්තිවාරම කර ගන්නවා. එය ආදායම් මාර්ගයක් පමණක් නොවෙයි, රටට ආහාර නිෂ්පාදනය කිරීමේ අත්තිවාරමත් වෙනවා. අප විනෝදය, සතුට වාගේම ආගමික වශයෙන් වන්දනා ගමන් යා හැකි, අවශ්‍ය නම්, දඹදිව යන්න හැකියාව තිබෙන ජීවිත ගොඩනඟනවා. අපට දැන් ඒ ජීවිතය උරුම නැත්නම්, අපේ දරුවන්ට හෝ එවැනි ජීවිත ලබාදෙන්න ඕනෑ.

අද පාලකයන් කරන්නේ ගම්වලට ඇවිත්, හාල් බෙදලා, නැවත වරක් ඡන්දය ගන්න බැලීමයි. මාසයකට හාල් බෙදන්න අයවැයෙන් කෝටි 550ක් වැය කළත්, කෝටි 650ක විතර වියදමක් ඒ වෙනුවෙන් වැය කරනවා. තව පැත්තකින් සීනි බදු වංචාව කෝටි 1500 කියන්නේ, මාසයකට හාල් බෙදන්න කෝටි හයසියයක් වියදම් වෙනවා කියලා ගත්තොත්, සීනි බදු වංචාවෙන් ගසාකෑ මුදලින් එක් පවුලකට හාල් කිලෝ විසිපහ ගාණේ දෙන්න පුළුවන්. බැඳුම්කර වංචාවත් ඒ වාගේ. අපි ජනතාවට අවධාරණය කරන්නේ ඔය බඩු බෙදීම්වලට අහු වෙන්න එපා කියලා. ඉඩම්වලට ඔප්පුත් දෙනවාලු. ‘අස්වැසුම’ මුදල වැඩි කර දෙනවාලු. මේ වාගේ ‘අස්වැසුම’ දෙන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා වන තුරු විතරයි. ඒ වෙන කොට මහ ඡන්දයත් ඉවරයි; අස්වැසුමත් ඉවරයි; රනිල් වික්‍රමසිංහත් නැහැ. රනිල් 1977 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්නවලට ඇත්ත උත්තර ලබා දුන්නා නම්, මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තියන්න ඕනෑ.

අපේ ආණ්ඩුවක පළමුවැනි වගකීම ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය මූලික වගකීමක් ලෙස ගැනීමයි. හැම පුරවැසියකුටම ආහාර ලැබෙන, අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදෙන සහ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන වැඩපිළිවෙළ අපි තහවුරු කරනවා. මේ රට දුප්පත්, හිඟාකන්න ඕනෑ රටක් නොවෙයි. ජනතාව මේ විදියට දුක් විඳින්න ඕනෑ රටක් නොවෙයි. ජනතාව බඩගින්නේ ඉන්න ඕනෑ රටක් නොවෙයි. ස්වාභාවික සම්පත් සියල්ලෙන් ම අනූන රත්නදීපයක් මේක. ඒ වාගේ රත්නදීපයක කන්න නැතිව මිනිස්සු මැරෙනවා. බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා. හරිහමන් නිවහනක් නැති මිනිස්සු ඉන්නවා. අපි, ඔබ හැම දෙනාම එකතු වී හැම දෙනාටම ජීවත් විය හැකි රටක් ගොඩනඟමු. මෙතෙක් රට පාලනය කළ අය ජනතාව භේදභින්න කර විශාල යුද්ධයක් නිර්මාණය කළා. උතුරේත්, දකුණේත් දේශපාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් යුද්ධයක් නිර්මාණය කළා.

අපට තිබෙන ප්‍රධාන අරමුණ නැවත ගැටුම් ඇති නොවන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමඟිය ගොඩනඟන රටක් නිර්මාණය කිරීමයි. අපේ පරම්පරාව යුද්ධ කළත්, අපේ දරුවන්ට යුද්ධය කරන්න ඉඩ දෙන්න බැහැ. සිංහල අම්මා, තාත්තාට වාගේ ම දෙමළ අම්මා, තාත්තාටත් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නැති වීම, බෙහෙත්-හේත් නැති වීම, විවාහයක් නැති වීම වාගේම මානසික නිදහසක් නැති වීම ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ බෙදෙනවා වෙනුවට සමඟියෙන් ඉන්න රටක් ගොඩනැඟීමයි. නැවත නොබෙදෙන රටක් ගොඩනැඟීමේ වගකීම ජාතික ජන බලවේගයට තිබෙනවා. ඒ නිසා අපි එකට එකතු වී ආණ්ඩුවක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ආරාධනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment