ජනකගෙන් කප්පම් ගත් තවත් 2 ක් අල්ලයි

453

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් ලක්‍ෂ 15 ක කප්පම් මුදලක් ලබාගත් බව කියන සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෝ දෙදෙනා අවුරුදු 38, 40 වයසේ පසුවන පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම සැකකරුවන් සමග මේ වන විට කප්පම් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

බ්ලූමෙන්ඩල් සංඛ නමැති පාතාල නායකයා ලෙස රංගනයේ යෙදෙමින් සංවිධානාත්මක පිරිසක් විසින් ජනක රත්නායක මහතාට දුරකථනයෙන් කතා කර රුපියල් ලක්‍ෂ 25 ක කප්පම් මුදලක් ඉල්ලා ඇත.

රත්නායක මහතා ඝාතනයට වෙනත් පිරිසක් රුපියල් අසූ ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් තමන්ට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් එම කොන්ත්‍රාත්තුව භාර නොගැනීමට නම් තමන්ට රුපියල් ලක්‍ෂ 25 ක් ලබාදිය යුතු බවත් කියමින් මෙම පිරිස ඔහුට තර්ජනය කර තිබේ.

එහිදී රත්නායක මහතා කප්පම් මුදලෙන් රුපියල් 15 ලක්‍ෂයක් කප්පම්කරුවන්ට කිරුළපන ප්‍රදේශයේදී ලබාදී තිබිණි. පසුව මේ සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා විසින් පොලිස්පතිවරයාට සහ කිරුළපන පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කප්පම් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාත් සමග මේ වන විට මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කප්පම් සිද්ධියේ ප්‍රධානම සැකකරු මේ වන විට අතුරුදන්ව ඇති අතර එම සැකකරු සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment