දේශපාලන ගැටුම් මැද 2024ට

473

මේ ගෙවී යන්නේ 2023 වසරේ අවසානම සතියයි. අවුරුද්දේ අවසන්ම දින කීපයයි. පසුගිය සතිඅන්ත නිවාඩුවත් 25 වැනිදා නත්තලත් ඊට පහුවදා පෝය දිනයත් එක දිගට යෙදී තිබීම නිසා ගෙවී ගිය සතිඅන්තය දීර්ඝ සති අන්තයක් විය. සතියේ වැඩ කරන දින යෙදී තිබුණේ තුනක් පමණකි. එහෙයින් අපේ රටේ බොහෝ ආයතනවල බොහෝ සේවකයෝ මේ සති දෙකම එක්කර දීර්ඝ නිවාඩුවක් ගැනීම හේතුවෙන් 2023 වසර අවසානයේ යෙදී තිබූ මුළු සතියම අපේ රටේ බොහෝ දෙනකුට දීර්ඝ නිවාඩුවකි.

2024 සඳහා වන අයවැය සම්මත වීමෙන් පසුව මේ වසරේ පාර්ලිමේන්තු සැසිවාරයද අවසන් විය. පාර්ලිමේන්තුව යළිත් රැස් වන්නේ 2024 වසරේ බැවින් දේශපාලනඥයන්ටද දීර්ඝ නිවාඩුවක් ලැබී තිබිණි.

මේ නිවාඩුව ගත කරන්නට පිට පළාත්වලින් පැමිණි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු තම ගම් රටවල් බලා පිටත්ව ගොස් තිබුණි. ඒ අතර වැඩි දෙනෙක් නත්තල හා අලුත් අවුරුදු නිවාඩුව දෙකම එක්කර විදේශ සංචාරයන්හි නිරත වූහ. එබැවින් පසුගිය සතියේම අපේ රටේ දේශපාලන කරලියේ සිද්ධි සිදුවීම් දක්නට ලැබුණේ නැති තරම්ය. ඒත් ආණ්ඩුවේ එක් මෙහෙයුමක් දිගින් දිගටම සිදුවෙමින් තිබෙනු දක්නට ලැබිණි. ඒ වූ කලී නව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් වූවාට පසුව ආරම්භ කළ “යුක්තිය” මත්ද්‍රව්‍ය මැඬලීමේ ජාතික ව්‍යාපෘතියයි.

යුත්තියේ ප්‍රගතියට ජනතාවගේ ප්‍රතිචාර…

යුක්තිය මෙහෙයුම පොලිසිය විසින් මෑතකාලීනව දියත් කළ මත්ද්‍රව්‍ය මැඬලීමේ දැවැන්තම වැඩසටහනයි. දවසින් දවස එම ව්‍යාපෘතිය විසින් අත්කර ගන්නා ලද සාර්ථකත්වය හමුවේ මුළු රටේම මත්ද්‍රව්‍ය ජාවාරම බරපතළ බිඳවැටීමකට ලක්ව ඇති බව පැහැදිලි විය. මෙහෙයුම මගින් දිනපතාම අත්අඩංගුවට ගනු ලබන සිය ගණනක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන්ට අමතරව අත්පත් කරගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ චංචල හා හා නිස්චල දේපළ ද සුළු පටු නොවේ. රුපියල් කෝටි ගණනින් හමුවන ඒ දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළක්ද යුක්තිය පිටුපස ඉටුවෙමින් තිබෙන බව පසුගිය සතියේ වාර්තා විය.

සාමාන්‍යයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕනෑම වසරක අවසන් දින කීපය නිදහසේ ගත කරන්න කොළඹින් බැහැරව යෑම පුරුද්දක් කොටගත් අයෙකි. එක්කෝ මේ කාලයට ඔහු විදේශගතවෙයි. එසේත් නැත්නම් නුවරඑළියට හෝ දියතලාවට යයි. බොහෝ කලක සිට එය ඔහුගේ පුරුද්දක්ව පැවැතියේය.

පසුගිය සති අන්තය ගතකරන්නට ජනාධිපති රනිල් තෝරාගෙන තිබුණේ නුවරඑළියයි. නුවරඑළියේ විවේකීව සිටියත් හැකි සෑම වේලාවකම තම හිතෛෂීවන්ත නිලධාරීන්ට කතා කරමින් ජනාධිපතිවරයා කොළඹ වැඩ කටයුතු ගැන සොයා බලන්නට අමතක කළේ නැත…

“පහුගිය අවුරුදුවල අවුරුද්ද අවසානයේ නිවාඩුව ගත කරන්න කොළඹින් බැහැරව යන්න හුඟක් දෙනෙකු ඉන්ධන ප්‍රශ්න හරස් වුණා. දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. සර්ගේ ආර්ථික ක්‍රමෝපායන අනුමත නොකරන විරුද්ධවාදීන්ට පවා අද නිදහසේ නත්තල් හා අවුරුදු නිවාඩු ගත කරන්න කොළඹින් පිටට යන එක ප්‍රශ්නයක් නෙවෙයි. පිට පළාත්වල සංචාරක නිකේතන ඔක්කොම පිරිලා ඉතිරිලා ගිහින් කියලයි ආරංචි”… නිලධාරීන් ඒ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරමින් කියද්දී ජනාධිපති රනිල් සතුට පළ කළා මිස විවේචනාත්මකව ඒ දෙස බලන්නට ගියේ නැත. ඔහු සමන් ඒකනායකට හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට දුරකථනයෙන් කතා කරමින් කාර්යාලීය රාජකාරි කටයුතු පිළිබඳ විමසා බැලුවේය.

නත්තල් නිවාඩුවට පොහොට්ටුවේ සතුටු පවුල…

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් පිහිටුවා ගත් සතුටු පවුල සංවිධානයේ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය නත්තල් දින කිරිඳිවැල දී ආරම්භ වූයේ ප්‍රසන්න රණතුංග හා ටිරාන් අලස් යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්සකුටිට්ආරච්චි, සුමිත් උඩුකුඹුර, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් මේ සඳහා බොහෝ මහන්සි විය.

“යුක්තිය මෙහෙයුම නැවතිලාද?” ඇමැති ප්‍රසන්න, ඇමැති ටිරාන්ගෙන් ඇසීය.

“එහෙම නෑ… නත්තලයි, පෝයයි නිසා මේ දවස් දෙකේ පොඩ්ඩක් බ්‍රේක් කළා.” ඒ ඇමැති ටිරාන්ය.

“නෑ… මේ සමහරු කියනවා වැඩේ නැවතිලා කියල. ඒකයි ඇහුවේ”

“මේකයි ඇමැතිතුමා, යුක්තියට ගහන්නේ ජාවාරම්කාරයොයි, ඒ හෙංචයියොයි.” ඇමැති ටිරාන් කීය.

“ඒක ඇත්ත ඇමැතිතුමා… යුක්තිය දිගටම කරගෙන

ගියෝත් අහිංසක මිනිස්සු ගොඩ….මේ කුඩු කාරයොයි, පාතාල කාරයොයි නිසා ඉස්කෝල ළමයි විනාශ වෙනවා.

ගම්වල මිනිස්සු මේකට කැමතියි” ඇමැති ප්‍රසන්න කීවේය.

“මම ඇමැතිකමේ ඉන්නකම් මේ වැඩේ දිගටම කරගෙන යනවා. මාස හයෙන් කුඩුයි පාතාලෙයි නැත්තටම නැති කරනවා” ඇමැති ටිරාන් කීවේ තිර හඬිනි.

“දැන් පිටරට ඉන්න පාතාලකාරයන්ට මොකද කරන්නෙ?” ඇමැති ප්‍රසන්න යළි විමසීය.

“ඒ අයටත් බෙදන්නෙ මේ හැන්දෙන්ම තමයි. ඩුබායිවලයි, ප්‍රංශයෙයි ඉන්න 30 දෙනෙක් ගැන අපි විස්තර හොයාගෙන තියෙන්නේ. නීතිමය ගැටලු විසඳුන ගමන් එයාල ගේනවා.” ඇමැති ටිරාන් කීය.

“මේ වැඩේට මම ෆුල් සපෝර්ට් එක දෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවේත් කතා කරමු” ඒ ඇමැති ප්‍රසන්නය.

ඇමැති ටිරාන් තම කතාවේදී සඳහන් කළේත් පවුල සතුටු කිරීම ගැනය. ඔහු සඳහන් කළේ පවුලේ සතුට වෙනුවෙන් පාතාලය හා මත්කුඩු ජාවාරම නතර කිරීමට තමන් නොබියව කටයුතු කරන බවය.

අනතුරුව ඇමැතිවරුන් දෙදෙනාම තේ පානය සඳහා ගියේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයාගේ නිවසටය. එහිදී ඇමැතිවරුන් දෙදෙනා සමඟ කිහිප දෙනකු සෙල්ෆි ඡායාරූප ගත්හ.

“ආ… පිණිමුවයි නත්තල් සීයියයි ෆොටෝ ගන්නවා” තිස්සකුට්ටි කී කතාව ඇමැතිවරුන් දෙදෙනාටත් තේරුණේ නැත. ඔවුහු වටපිට බලන්නට වූයේ එබැවිනි.

“නෑ… සර්… ටිරාන් ඇමැතිතුමා අද වෙන උත්සවයකට නත්තල් සීයට ඇන්දා. මේ කියන්නේ ඒක” මන්ත්‍රී මිලාන් කීය.

“එතකොට පිණි මුවා කවුද?” ඒ ඇමැති ටිරාන්ය.

“ඒ කිව්වේ ප්‍රසන්න ඇමැතිතුමාට” මිලාන් කී කතාවට ඇමැති ප්‍රසන්නටත් හිනාය. කෝකිලා හර්ෂණී, මුදිතා සොයිසා, රාජිකා වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරියන්ද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

ඊළඟ ආණ්ඩුව ගැන මහින්දගේ අනාවැකිය…

සතුටු පවුල උත්සවයේ දෙවැනි දින සමාරම්භයට සම්බන්ධ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.

“සර්… ආපහු ආණ්ඩුවේ තනතුරකට එන්න. ඔබතුමා තමයි රටට හරියන්නේ” ප්‍රදර්ශන භූමියේ සිටි කාන්තාවන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා වටකරගෙන කීය.

“ඔයාල කියනවනම් ආපහු එන්නම්” හිටපු ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.

අනතුරුව ඔහු මිලාන් ජයතිලකගේ නිවසට ගියේය. එහිදී මිලාන්ගේ සිඟිති දියණිය හිටපු ජනාධිපතිවරයා ළඟට ආවේය. හිටපු ජනාධිපතිවරයා දියණිය ඔඩොක්කුවට ගෙන සුරතල් කරන්නට විය.

“සර්… මෙයාට සිංදු කියන්න පුළුවන්” මන්ත්‍රී මිලාන් කීය. ඒ අනුව සිඟිති දියණිය “රැජිණට ඇන්දා” ගීතය මිහිරි හඬින් ගයන්නට විය. දැරියගේ ගීත ගායනය සාවධානව අසා සිටි හිටපු ජනාධිපතිවරයා ඇයගේ හිස අතගා ආශිර්වාද කළේය.

“සර්… විපක්ෂනායකකම ගන්න හදනව කියල ආරංචියක් යනව?” හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයකු විමසීය.

“ආණ්ඩුවෙ ඉඳල විපක්ෂෙට යන්නෙ මොකටෙයි. ඊළඟ පාරත් ආණ්ඩුව පිහිටුවන්නෙ අපි” හිටපු ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි.

“දැන් අරගලකාරයො හොයා ගන්නත් නෑ. මිනිස්සු ඇත්ත තේරුම් අරගෙන තියෙන්නේ සර්” ඒ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරයාය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සමඟ අතීත දේශපාලන කතන්දර කියමින් දෙපැයකට ආසන්න කලයක් මන්ත්‍රී මිලාන්ගේ නිවසේ ගත කළේය.

ඇමැති නිමල් සිරිපාල කට වරද්දා ගත්තාද…

වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට පසුගිය සතියේ මුහුණපාන්නට සිදුවූ අකරතැබ්බයක් ගැන සමාජ මාධ්‍යයේ ලොකු සාකච්ඡාවක් ඇතිවිය. ඒ කතාව පැතිර ගියේ ඔහු පිළිබඳ එක්තරා අන්දමේ අප්‍රසාදයක්ද පෙන්නුම් කරමිනි.

පසුගිය දිනක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අලුතෙන් ආරම්භ කරන වෛද්‍ය පීඨයේ ගොඩනැඟිල්ලක ඉදිකිරීම් ආරම්භ කිරීමට ඔහු බදුල්ලට ගියේ පසුගිය 26 වැනිදා ය. ඔහුගේ ඡන්ද පොරොන්දුවකට අනුව ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙන්නට සැලසුම් කළ ඔහු රුපියල් බිලියන 2.26ක මුදලක් වියදම් කරමින් දස මහල් ගොඩනැඟිල්ලක් සෑදීමට මුල්ගල් තැබුවේය.

ගොඩනැඟිල්ලට මුල් ගල් තබන උත්සවය අවස්ථාවේදී ඔහු උගතුන් වියතුන් රට හැර යෑම සම්බන්ධයෙන් එක්තරා අන්දමක විවේචනාත්මක කතාවක් කළේය.

“අපේ රටේ වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් රට යනවා. මේක මේ රටේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ලෝකයේ වෙනත් රටවලත් සිද්ධ වෙනවා. ඒත් අපේ දොස්තරලා ඉංජිනේරුවෝ රට හැර යන්නෙ පඩි මදි කියලා. තෘෂ්ණාව වැඩි නිසා ලද දෙයින් සතුටු වෙලා තෘප්තිමත් වෙන්න ඒගොල්ලන්ට බෑ. තෘෂ්ණාව තමයි මේ ඔක්කොටම මුල…”

එසේ කතාවට මුලපිරූ නිමල් සිරිපාල ඇමැතිවරයා රුපියල් මිලියන හතරයි දශම පහක් (ලක්ෂ 45ක) ගුවන් නියමුවෝ පවා පඩි මදි යැයි කියා රට යන බව පෙන්වා දුන්නේය.

ඇමැතිවරයාගේ මේ කතාව වෛද්‍යවරුන්ගේ පමණක් නොව බොහෝ සාමාන්‍ය වෘත්තිකයන්ගේ පවා සිත් ගත් කාරණාවක් නොවීය. උත්සවය අතරතුර මේ පිළිබඳ කසුකුසුවක් සභාවෙන් නැඟුනත් උණුසුම් සිදුවීමක් එහි සිදුවූයේ නැත.

එහෙත් ඊට දිනකට පසු මහියංගන ප්‍රදේශයේ පැවති රැස්වීමකට නිමල් සිරිපාල සහභාගි වී තිබුණේ පාසල් 4ක ළමුන් පිරිසකට පාසල් උපකරණ හා පොත් පත් රැසක් බෙදාදෙන අරමුණ ඇතිවය. එම අවස්ථාවේදී සංවිධානාත්මක පිරිසක් මැදිහත් වී නිමල් සිරිපාල ඇමැතිවරයාට විරෝධය දක්වන්නට පටන්ගත්හ. සිද්ධිය පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු නිරීක්ෂකයෝ පෙන්වා දුන්නේ නිමල් සිරිපාල ඇමැතිවරයා ඊට පෙර දිනක කරන ලද ප්‍රකාශයකට උරුණ වූ යම්කිසි පිරිසක් මේ විරෝධතාවය සැලසුම් කරන්නට ඉදිරිපත් වන්නට ඇති බවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පසුගිය සතියේ විදේශගතව සිටියේය. එහෙත් ඔහු නව සන්ධානයේ ලබන වසරේ වැඩ සැලැස්ම ගැන එහි සිට අවධානය යොමු කරමින් සොයා බලන්නට අමතක කළේ නැත.

ඉදිරියේදී එන ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රචාරක කටයුතු ලබන ජනවාරි මාසයේ පළවෙනිදා සිට ආරම්භ කරන්නට නව සන්ධානය තුළ සැලැස්මක් තිබිණි. මේ වැඩසටහන රාජගිරිය ලේක් ඩ්‍රයිව් පෙදෙසේ පැවති කාර්යාලයේදී ලබන ජනවාරි පළවෙනිදා සුභ මොහොතෙන් ආරම්භ කරන්නට සියලු කටයුතු ඒ වනවිටත් සංවිධානය වී තිබිණ. ලාන්සා විමසා බැලුවේ නව සන්ධානයත් සමඟ එක්ව සිටින වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්රැස් කරමින් ලබන වසරේ ඒ කටයුත්ත සැලසුම් කරනා ආකාරය හා පිළිවෙළ ගැනයි. ඒ වන විට ලංකාවේ සිටි අනුර ප්‍රියදර්ශන මහතා අමතමින් වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීය.

ඇමැති ටිරාන්ට නාමල්ගෙන් මල් මිටක්…

පසුගිය සතියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් නාමල් රාජපක්ෂ හමුවන්නට මලලසේකර මාවතේ පිහිටි නිවසට ගොඩ වැදී සිටියහ. මෙහිදී මන්ත්‍රීවරුන්ගේ මාතෘකාව වූයේ මේ දිනවල කාගෙත් කතාබහට ලක්වන යුක්තිය මෙහෙයුම පිළිබඳවය.

“යුක්තිය දැන් ජනතාව අතර කතාබහ වෙනවා”…. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කීවේ ලොකු කතාබහකට ප්‍රවේශයක් ගනිමිනි.

“ඔව් ඒක ඇත්ත.. සමහර ඔය පක්ෂ කියන්නෙ මේක මාධ්‍ය මෙහෙයුමක් කියලා. ඒකට උත්තර දෙන්න වෙයි.” තවත් රාජ්‍ය ඇමැතිවරයකු පැවසීය.

“නෑ මම හිතන්නෙ මේක ටිරාන් ඇමැතිතුමා සද්භාවයෙන් කරන එකක් කියලා. මේක ඇත්තටම හරියට කරයි කියලා විශ්වාසයක් තියෙනවා.” එහෙම කීවේ නාමල් රාජපක්ෂය.

“ඔව් ඒක ඇත්ත… තව මේක ජනතාව අතරට ගෙනියන්න ඕනෙ…” මන්ත්‍රීවරයකු පැවසීය.

“මේ යුක්තිය මෙහෙයුමෙන් අල්ලන අයව පුනරුත්ථාපනය කරන්න ඕනෙ. මම එහෙම කිවුවෙ මම ක්‍රීඩා හා තරුණ ඇමැති කාලෙ පුනරුත්ථාපනය පිළිබඳව වැඩකටයුතු ගොඩක් කළා… ඒ විතරක් නෙවෙයි. මේ අල්ලපු මත්ද්‍රව්‍ය විනාශ කරන එකත් ජනතාවට පෙන්නන්න ඕනෙ…” තවත් රාජ්‍ය ඇමැතිවරයකු පැවසීය.

“ඔව්… ඇත්තටම මේ මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත නැතිවෙනවා. ඔය අරගලයේ වැඩි හරියක් හිටියෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. ඒකනෙ සීයට අටට තිබ්බ වැට් බද්ද ගෝඨාභය රාජපක්ෂ එලවලා දැන් සියයට දහ අටකට නග්ගගෙන දැන් අපිට බනින්නෙ. ඔය අරගල මත්ද්‍රව්‍ය පාවිච්ච් කරලා මිසක් හොඳ සිහියකින් කරන්න පුළුවන් ඒවා නෙවෙයි යැයි නාමල් පවසන විට සියල්ලන්ටම සිනහව නවතාගත නොහැකි විය.

තවත් මන්ත්‍රීවරයකු පැවසුවේ රන්ජන් විජේරත්න මොඩල් එකේ කෙනකුට නම් පමණක් මෙම මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධය කළ හැකි බවය.

“ඔව් ඒක ඇත්ත… ටිරාන් ඇමැතිතුමා මේක කළොත් මෙතෙක් හිටපු හොඳම පොලිස් ඇමැති වෙනවා..” නාමල් පැවසීය.

“අනික අපි දරුවන් සහ දෙමව්පියන් ගැන බලන්න ඕනෙ මොකද මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් බැටකන අය පිළිබඳවත් අපි සොයා බලන්න ඕනෙ නාමල් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැට් බදු යක්ෂයා මොනතරම් කළු වෙයිද…

පසුගිය සතියේ ජනතාව තම තමන්ට හැකි අයුරින් නත්තල සැමරුවත් දේශපාලන කරළියේ සාකච්ඡාවට ලක් වුණ ආර්ථික ප්‍රශ්න ගණනාවක් ද තිබිණි. ඉන් එකක් වූයේ ලබන වසරේ වැඩිවන වැට් බද්ද නිසා භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානමයි.

විපක්ෂයේ දේශපාලන කරළියේ මේ පිළිබඳ හොඳ සාකච්ඡාවක් ඇති විය. පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග වලටද ගෑස් වලටද අලුතෙන් 18% වැට් බද්ද එකතුවීම නිසා අධික මිල වැඩිවීමක් සිදු වෙතැයි විපක්ෂයේ තර්කය වූහ. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයෝ මේ පිළිබඳ ජනතාව සමඟ හැකි සෑම තැනකදීම සාකච්ඡා කරමින් සිටියහ. ඔවුන්ගේ තර්කය වූයේ ලබන වසරේ ජනවාරි පළවෙනිදා සිට පෙට්‍රල් මිල නොසිතූ මිල වැඩිවීමකින් ඉහළ යෑමට නියමිත බවය. ඒ හා සමගම ඩීසල් මිලද ඉහළ යා හැකි බවත් ඊට සාපේක්ෂව බස් ගාස්තු දුම්රිය ගාස්තු ඇතුළු සියලු ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් එළවළු පලතුරු හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලද නොවැළැක්විය හැකි ආකාරයට ඉහළ නඟින්නට පටන් ගන්නා බවකි.

ඒත් මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට යහපත් බලාපොරොත්තුවක් ගෙන දෙමින් කතා කළ විපක්ෂයේ එකම දේශපාලනඥයා වූයේ හර්ෂ ද සිල්වාය. මේ මිල වැඩිවීම් කතාවේ අර්ධ සත්‍යයක් නැතුවාම නොවන බව ඔහු පිළිගත්තේය. එහෙත් ජනතාවට පැහැදිලි වන ලෙස ඒ මිල වැඩි වන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කර දුන්නේය.

“වැට් එක 18% න් ඉන්ධනවලට වැඩි වුණාට ඊට කලින් පනවා තිබූ 8%ක පැල් (PAL) බද්ද බින්දුව බවට පත්වෙනවා. එතකොට ඉතින් ඇත්තටම වැඩි වන්නේ 10%යි. අකමැත්තෙන් හරි රටේ ජනතාවට ඒ මිල වැඩිවීම ඉවසන්න පුරුදු වෙන්න වෙනවා” හර්ෂ පසුගිය දිනවල අවස්ථා ගණනාවකදීම ඒ සත්‍යය ජනතාවට වටහා දෙන්නට උත්සාහ කරනු අපට දැකගත හැකි විය.

ආර්ථික හා දේශපාලන විශේෂඥයෝ කුමක් කීවත් ජනතාවට ප්‍රශ්නය තිබුණේ ඒ කිසිවක් නොවේ. වැඩි වන බඩු මිලට හෝ ඉන්ධන මිලට හෝ භාණ්ඩ හා සේවා ගාස්තු මිලට හෝ සරිලන ලෙස තමන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නොයෑමයි. ජනතාව සිටියේ ඒ පිළිබඳව දෙගිඩියාවකය.

කිසිවිටත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ ද පසුගිය දිනවල ජනතාවගේ හැසිරීම ගැන දැඩි නිරීක්ෂණයක පසුවෙමින් සිටියහ. කොතරම් මුදල් නැතැයි කීවත් ජනතාව අවුරුද්දට සල්පිල්වලට යමින් මුදල් හදල් වියදම් කරමින් ඇඳුම් පැළඳුම් හා බඩු මුට්ටු ගන්නා ආකාරය නිරීක්ෂණයට හසුවූහ. ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ ඒ ගැනය.

මේ අතරතුර ජනාධිපතිවරයාට හිතවත් ආණ්ඩුවේ නිලධාරීන් මන්ත්‍රීවරුන් කීපදෙනෙක් අතරද මෙසේ කතාබහක් ඇතිවිය. ඔවුන් කතාබස් කළේ ජනතාව මේ දිනවල නිදහසේ ගමන් බිමන් යමින් නත්තල් හා අලුත් අවුරුදු නිවාඩුව ගත කරමින් විනෝද වන ආකාරය හා තරම ගැනයි… මේ පිළිබඳ දුරකථන ඇමැතුමකින් ආශු මාරසිංහ ජනාධිපතිවරයා හා කතාබස් කළේය…

“කොළඹ ඉඳලා හලාවතට යනකම්ම ජනතාව නත්තලට පාරට බැහැලා විනෝද වුණා. මේ දවස්වල කොළඹ පාලුවෙලා. ඒ මොකද ගොඩක් අය කොළඹින් පිට ටි්‍රප් ගිහිල්ලා.” ආශු කීවේය.

“පහුගිය කාලය පුරාම මිනිස්සු හිටියෙ හිරවෙලා. ආර්ථික අඩුපාඩුකම් ඇති. ඒත් ඉතින් මිනිස්සුන්ට ඕන තමන්ගේ තරමට නිදහසේ කාලා බීලා දරුමල්ලොත් එක්ක ගමන් බිමන් ගිහිල්ලා විනෝද වෙන්න. ආර්ථික බර මොන ප්‍රශ්න තිබුණත් අවුරුද්දකට සැරයක් හරි විනෝද වෙන්න තියෙන නිදහසට මිනිස්සු කැමතියි…”

ඒ අතර මෙම කතාබහ එතන සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනෙක් අතරටද පැමිණියේය. වජිර මන්ත්‍රීවරයා කතාබහට මෙසේ හවුල් විය…

“ප්‍රශ්න තියෙනවා කියලා ඒවා ඔලුවේ තියන් විඳවනවට වඩා සමහර ප්‍රශ්න අමතක කරලා විනෝද වෙන්න මිනිස්සු පුරුදු වෙලා…”

“විපක්ෂයේ ඉන්න සමහර අය ජනතාවට හරි අමාරුයි කියලා කිව්වට නුවරඑළිය පැත්තෙ ගිහින් බලන්න. එහෙම නැත්නම් පිට පළාතක ටි්‍රප් එකක් ගිහින් බලන්න. ඒ කොතැනකවත් මිනිස්සුන්ට ඔය කියන තරම් අමාරුවක් තියෙනවා කියලා පේන්නෙ නෑ…” මදුර විතාන කීවේය.

“ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ ආර්ථිකය හිරකරලා තියාගන්නේ ඊළඟ අවුරුද්දෙ මේ ප්‍රශ්න මේ විදිහට නොඑන්න වග බලාගන්න ඕන නිසා කියලා දැන් මිනිස්සු දන්නවා. ඒ කැපකිරීමට දැන් මිනිස්සු සූදානම්. අද බදු වැඩි කරලා යම් යම් කැපකිරීම් කරලා උපාය මාර්ගයේ යොදන්නේ බිඳවැටෙන තත්ත්වයෙන් රට මුදාගන්න. එහෙම කළොත් ඉදිරියේදී ආර්ථිකය අනාගතයේදී යහපත් තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා මිනිස්සුන්ට විශ්වාසයි.” ඇමැති ශෙහාන් කීවේය.

මේ අතර ජනාධිපතිවරයා නුවරඑළියේ සිටින අතරතුර බදුලු බණ්ඩාරවෙල දියතලාව ප්‍රදේශයේ කල් තියා සැලසුම් කර තිබූ විශේෂ උත්සව ගණනාවකට සහභාගි වන්නට ද අමතක නොකළේ ය. ඒ අතරින් එකක් වූයේ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ පැවැති සියවස් සමරු උත්සවයයි.

ජනාධිපති සහභාගි වූ මෙම උත්සවයට අරවින් කුමාර් සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වාඩිවෙල් සුරේෂ් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් ගණනාවක්ද සහභාගි වී සිටියහ.

සජබෙ සන්ධානයකට ආණ්ඩුව බයවෙලාලු…

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරු පත්කිරීමේ නිර්ණායක ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ මතයන් ඉදිරිපත් කර සිටියහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කීවේ දිස්ත්‍රික් නායකත්වයට මන්ත්‍රීවරයකු පත් නොකළ යුතු බවයි. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා සංවිධායකවරු පත් කිරීමට දිස්ත්‍රික් නායකයෝ මැදිහත්වීම සිදුනොකළ යුතු බව කීවේය.

“නෑ… දිස්ත්‍රික් කටයුතු විදිමත්ව පවත්වාගෙන යෑමට දිස්ත්‍රික් නායකයකු වැදගත් වනවා… මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

එහිදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කරමින් ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම සුදුසු බව කීවේය.

ඒ අනුව දිස්ත්‍රික් නායකයන් පත් කිරීම ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. ඉන් එක් යෝජනාවක් වූ රට බංකොළොත් වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ සමගි ජනබලවේග බුද්ධි මණ්ඩල සමාජිකයන්ට සහ ඒ සඳහා ඉදිරිපත් වූ නීතිඥවරුන්ට ස්තුතිය පල කළ යුතු බවය. යෝජනාව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කළේය.

එමෙන්ම සමගි ජනබලවේගයට එරෙහිව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනු කළ නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ෆර්මා කාසිම් ඇතුළු නීතිඥවරු කණ්ඩායමට ස්තුතිය පුද කළ යුතු බවට පක්ෂ නායකත්වය ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර විය.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක අමිත බණ්ඩාර පක්ෂයෙන් ඉවත් කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව මෙහිදී ඒකමතිකව සම්මත කිරීමක්ද සිදුවිය.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර අනුමත කළ පුළුල් දේශපාලන සන්ධානය ගොඩනැඟීම සඳහා වූ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි.

“සන්ධානය සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ පුද්ගලයන් එක්කර ගැනීමට නායකතුමාගේ සහභාගිත්වයෙන් අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා.” මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

“මෑත ඉතිහාසයේ මැතිවරණ ජයග්‍රහණය කර තිබෙන්නේ සන්ධාන තුළ. කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්න තීරණවලට පටහැනිව ක්‍රියා නොකළ යුතුයි. සන්ධානය සෑදීම මෙන්ම ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව මහ පාරේ ජනතාව සමඟ අරගල දියත් කරන්නත් ඕන” මරික්කාර් කීවේය.

මුජිබර් හිටපු මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවක් හදන්න සන්ධානයක් අවශ්‍ය බවය. සන්ධානයක් සකස් කිරීමේදී අන්තවාදී වර්ගවාදී දේශපාලනය කළ පිරිස් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් එම මතවලින් බැහැරව සිටින්නේද යන්න පිළිබඳ සොයාබැලිය යුතු බවයි.

හිටපු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සන්ධානගතවීමේදී ජන මතයක් ඇති පක්ෂ සමඟ සන්ධානගතවීම සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.

“සමගි ජනබලවේග සන්ධානයක් බිහි කිරීම ගැන දැනටමත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂවරු කලබල වී ඇත්තේ මන්ද යන්න අපි තේරුම් ගත යුතුයි. සන්ධානයක් යනු පක්ෂ රැල්ලක් නිර්මාණය කිරීමයි. පක්ෂයක් ලෙස අපි එකට සිටිය යුතුයි. සන්ධානයක් අවශ්‍ය ද නැද්ද යන්න අපි තීරණය කරමු” සුජීව සේනසිංහ එසේ කීවේය.

මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ සන්ධානගතවීමේදී සංවිධායකවරුන්ට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැති බවයි. අලුත් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට සන්ධානයක් වැදගත් වන බවත් මහ ලේකම්වරයා කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment