ඇයට ගී ලියූ මම රාජකුමරකු නොවෙමි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි!
ආචාර්ය විශාරද නන්දා මාලිනිය වූ කලි ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විජිතය ස්වකීය දුර්ලභ ප්‍රතිභාවෙන් ද අපූර්ව සංගීත කලා විශාරදත්වයෙන් ද විභූෂණය කළා වූ අසාමාන්‍ය කලාකාරියකි. ඕතුමූ මෙරට සංගීත සිනමා නාට්‍ය ප්‍රමුඛ සෞන්දර්ය භූමිකාවන්ට අනර්ඝ සම්ප්‍රදානයන් කළාවූ ඒ නිසා ම මේ කුඩා දිවයිනට අභිමානයක් ද ආඩම්බරයක් ද වන්නාහුය. පසුගියදා (නොවැ. 16) ඇයගේ සෞන්දර්ය කලා විශිෂ්ටත්වයට කෙරෙන උත්තම පූජාවක් ලෙස දෙරණ සිනමා යාවජීව සම්මානයෙන් ද ඕ පිදුම් ලැබුවාය. නන්දා මාලිනියගේ සුළකලකුරු මියුරු සරයෙන් ප්‍රමුදිත නොවූ සහෘද හදමඬලක් මේ දිවයිනෙහි වෙත්දැයි මම නොදනිමි. ඇය විසින් මෙරටේ රසික ජන සමාජයටත් වෙනත් ප්‍රභූ සමූහ පර්ෂද්වලටත් දායාද කරන ලද නිර්මාණ සමුච්චය ඒ සෞන්දර්ය කලා විජිතයෙහි පහත් ටැඹක් සේ සදා දිලෙන නියතය. එවන් යුග කාරක කලා මෙහෙවරකට කවරනම් ප්‍රදානයක්, ඇගැයුමක් සිදුකළත් කෙසේ සෑහේ ද? මෙයට පෙර ද මවිසින් ඒ සද් කලා සම්මාදම් අරබයා අසම්පූර්ණ සටහන් තබන ලද බව දත් රසිකයෝ ද සිටිති. ඒ විසල් නිර්මාණ අබියස මගේ කුදු බවට පසක් නොවී ද? මා දන්නා තරමින් ඇය තරම් ගෞරවයට, ප්‍රසාදයට පාත්‍ර වූ සෞන්දර්ය කලා ශිල්පීහූ, ශිල්පිනියෝ වෙත්නම් ස්වල්ප දෙනෙකි. නන්දා මාලිනියට ආචාර්ය ගෞරව සම්මානය පිරිනැමූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ද (2017) තම කිතු ගොස වඩා ගැනීමට ද සමත් වී සිටියි.
ආචාර්ය නන්දා මාලිනිය මේසා ජනප්‍රසාදයටත් ප්‍රබුද්ධ රසික සභාවල ප්‍රණාමයටත් ලක් වූයේ ඇය ලත් කවර හෝ වරප්‍රසාදයකින් ද නොවේ. ඒ වනාහි අභීත ස්ත්‍රී භූමිකාවක පරමාදර්ශයකැයි අපට සඳහන් කළ හැකිය. එහෙත් ඒ සියල්ල ඇයගේ අප්‍රතිහත, ධෛර්යය, උට්ඨාන වීර්යය, තිරසර අදිටන මෙන්ම සෞන්දර්ය කලාවෙහි එක් දේශයක්වත් විජයග්‍රහණය කරම්හ. එහි අග්‍රිමයට නගම්හ යන ප්‍රාර්ථනාවෙහි මියුරු ඵලයකි. සුප්‍රකට භාරතීය පඬිරුවනක් වූ දණ්ඩීන් ප්‍රකාශ කළ පරිදිම කලාවේ හිණිපෙතට යා හැකි වන්නේ නෛසර්ගික ප්‍රතිභාව ද නිර්මල හැදෑරීම් ද සතතාභ්‍යාසය ද ඇත්නම් පමණි. මාලිනිතුමූ එයට සාක්ෂි දරති.
නන්දා මාලිනිය විසල් මැඳුරක පන්ති සමාජයක සුරැකුම් මැද ජන්ම ලාභය නොලද්දීය. ඇය විසින්ම අප්‍රමාණ වාරයක් සඳහන් කරන ලද ආකාරයට ම කොටහේනේ කාසිසෙට්ටි වත්තේ නිවාස පේළියක නවදෙනකුගෙන් යුත් පවුලක සිවුවැන්නී ඇය වූවාය. තේරී ගාථාවල එන තෙරණියන් සිය ගිහිකල දුක් ආවර්ජනය කළ අයුරින්ම නන්දා මාලිනිය ද ස්වකීය ළමාවියෙහි අනුභව කළ දුර්භෝජන මෙන්ම දුක්ඛ සෙය්‍යා ආදිය නිහතමානීව ආවර්ජනය කරන්නීය. සන්නාලි කර්මාන්තයෙහි (ඇඳුම් මැසීම) නිරතව සිටි ඇගේ පියාටත් ඒ කුටුම්බයටත් තිබුණු එකම බලාපොරොත්තුව ඇය විය. ගුණානන්ද විදුහලෙහි සිසුවියක ලෙස ඇය පෑ දස්කම්, විස්කම් එයට හේතු විය. පාසලේ අනෙක් සිසුවියන්ට නොවූ මිහිරි හඬක් ඒ දැරියට වූ බව දුටු ගුරුවරු ද නන්දා මාලිනි සිසුවියගේ ඉරණම ඒ ගැයුම්වල හිණිපෙත බවද වටහා ගෙන සිටියහ. මේ නිරහංකාර දැරියට කෝකිලාවකගේ මියුරු සරය තිලිණ කළ දෛවයට ඒ අණ දුන් සරස්වතිය කොපමණ අස්වැසිල්ලක් ලබන්නී ද?
නන්දා මාලිනිය පිළිබඳ තවත් අප්‍රමාණ ධාරණාවන් අපට ද තිබේ. එහෙත් දී කිරෙහි සුදු පැහැ වන්නාක් මෙන් තවත් ඇය ගැන කිවයුතු නැත. ඒනිසාම ඇගේ කාර්ය සාධනයත් සෞන්දර්ය කලා මැදිහත්වීම් පිළිබඳවත් විමසා බැලීම වටී.
මෙහිදීත් අපට බොහෝ සීමා ඇත. ඒ පොතකින් කිවයුතු දේ ලිපියකින් කීමේ අසීරු ව්‍යායාමය දන්නා හෙයිනි. නන්දා මාලිනියගේ කලා භූමිකාව විවර වන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ආනුභාවයෙනි. එය කූටප්‍රාප්තවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බුද්ධිමය හා සංස්කෘතික ප්‍රාග්ධනයෙහිත් අසාමාන්‍ය ප්‍රතිභාවේත් මහිමය නිසාය. මේ හැරුණුවිට නන්දා මාලිනියට මෙරටේ අතිශය විරල ගනයේ සංගීතඥයන්ගේ ද ගේය පද නිර්මාණකරුවන්ගේ ද අප්‍රමාණ අනුබල අනුග්‍රහ ලැබී ඇත. සහෘද ජන ප්‍රසාදයත් විද්වත් අවධානයත් විචාරක ඇගැයුමත් නිති ලබන පින් ඇයට තිබුණි. දුරක සිට ගසන ගල් ද හිස් අහසට මුදා හළ අශෝභන අවමන්ද නොතිබුණා නොවේ.
ශ්‍රී ලංකාවේ සංගීත සම්ප්‍රදාය කුමක් වියයුතු ද යන උබතෝකෝටිකය සමග ගැටුණු සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, සූර්යශංකර් මොල්ලිගොඩ ආදි පරපුර දෙස ප්‍රබුද්ධ මනසකින් බලා සිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ නන්දා මාලිනි නමැති සංගීත කුසුම පුබුදුවන්නට නිර්ලෝභි වූහයි, මෙයට පෙර ද දැක්වීමී. රන්මුතු දූව චිත්‍රපටය සඳහා ඇගේ රන් ස්වරය යොදා ගන්ට අරමදේවයන්ට වුවමනා විය. මයිකෆෝනයට තරම්වත් උස් නොවූ නන්දා මාලිනි දැරිය ඔසවා බංකුවක් මත රඳවා ඒ ගීතය ගැයූ අයුරු අදත් නන්දා මාලිනිය සිහිපත් කරන්නී අමරදේවයන්ට දෑත් එක්කර වඳිමින්ය. අමරදේව සෙවණ ඇයට ඉමහත් ආශිර්වාදයක් වූ බවද නිසැකය.
හැත්තෑව දසකය පමණ වනවිට මෙරටේ ජනප්‍රියව තිබුණු එළිමහන් සංගීත සන්දර්ශන ගම් නියම්ගම් කරා ද පැතිර යමින් තිබුණි. එහෙත් මේ ප්‍රසංග කලාවට එක් නොවූ පිරිස් ද සංගීත හා ගායන ක්ෂේත්‍රවල වූහ. අමරදේව – නන්දා මාලිනි සුසංයෝගයෙන් “ශ්‍රවණ ආරාධනා” ප්‍රසංගය එළිදකින්නේ වෙනස් රසඥතාවක් සහිත සහෘද පිරිසක් ද කේන්ද්‍ර කර ගනිමින්ය. මෙය එක්තරා ආකාරය වෘත්තීය මට්ටමේ සංගීත ප්‍රසංගයක සමාරම්භයක් ද විය. පණ්ඩිත් අමරදේව හා නන්දා මාලිනි සුසංයෝගයෙන් නිමවූ ගීවලට අමතරව ඔවුන්ගේ ගායනා ද ප්‍රසංගයට එක් විය. 1973 වසර එළැඹෙනවිට “ශ්‍රවණ ආරාධනා – නන්දා මාලිනියගේ ප්‍රසංගයක් බවට පත් වූණේ – අමරදේවයන් එයින් ඉවත් වීම නිසාය. එසේ වුවද දර්ශන වාර 530ක් සම්පූර්ණ වූ පසු ප්‍රසංගය අවසන් කිරීමට ඇයට සිදුවිය. ප්‍රසංගය සඳහා ආරාධනාවල අඩුවක් නොවූවද එය තවදුරටත් පැවැත්වීම දුෂ්කර අභ්‍යාසයක් වූ බව නන්දා මාලිනියම පවසා තිබුණි. මේ වනවිට තිබුණු කාර්ය බහුලත්වය මෙන්ම වෙනත් හේතු ද තිබෙන්නට ඇත.
මේ ප්‍රසංග කලාවට සමගාමීව කැසට් පට සඳහා ගීත ගැයීමේ අලුත් සංස්කෘතියක් ද ඒ වනවිටත් මතුවෙමින් තිබුණි. ඒ වූ කලී ගීත ප්‍රසංග කලාව තුළින් වින්දනයක් ලද රසිකයන්ගේ පමණක් නොව, විවිධ රසික ජන අවධානයට ලක් වූ අලුත් ගීත ව්‍යාපාරයකි. කැසට් සමාගම් බිහි විය. සංගීත කලා ක්ෂේත්‍රයෙහි විවිධ භූමිකාවලට අයත් වූ පිරිසක් ද කැසට් ගීත සමග එක්ව සිටියහ. චිත්‍රපට හා සරල ගී ගායනයෙන් ප්‍රසිද්ධියට පත් වූ සෑහෙන පිරිසක් ද එහිදී දැකගත හැකි විය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංගීත කලා මැදිහත්වීම සිදු වන්නේද මේ යුගයත් සමග විය යුතුය. නිශ්චිතවම කාලය සඳහන් කිරීමට අපට නොහැකි වුවද තරුණ සරසවි මානවකයකු ලෙස සුනිල් ආරියරත්න විසින් ලියන ලද සකුරා මල් පිපිලා – හරි පුදුමයි… නමැති ගීතය සහෘද හද බැඳ වැළඳ ගත්තේ එය නන්දා මාලිනි නම් වූ අසහාය ගායන ශිල්පිනියගේ මධුර ස්වරයෙන් විචිත්‍ර වූ ගැයුමක් නිසාමය. අද මෙන් විiුත් මාධ්‍ය සුලබ නොවූ ඒ යුගයේ නගර ගම් දනව් වෙනසකින් තොරව සකුරා මල් ගීතය ජනප්‍රියත්වයට ද පත්විය.
පසුකාලීනව සංගීත කලා විචාරක ක්ෂේත්‍රවල ප්‍රමුඛ අවධානයකට ලක් වන නන්දා-සුනිල් සුසංයෝගයේ දෛවෝපගත සමාරම්භය “සකුරා මල්” ගීතය විය නොහැකි ද? මේ අසිරිමත් කලා බැඳීම යුග කාරක සංගීත මෙහෙවරක උපත විය. සුභාවිත ගීතයට අනලස්ව දායක වූ සියල්ලන්ට ම හිස නමා ආචාර කරමින් ම මේ සෞන්දර්ය භූමිකාවෙන් බිඳක් ඔබ අබියස තැබීම වඩාත් උචිතය. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ගීතය හුදු විචිත්‍ර සෞන්දර්ය පාරාදීසයකට රසිකයා රැගෙන යන සංඥාවක් හෝ නිමිත්තක් පමණක් නොවීය.
නිසැකයෙන්ම ඔවුහු ශ්‍රී ලාංකික ගීත කලාවේ යුගකාරක කාර්ය භාරයක් ඉටු කළාහු වෙති. අනේක විධ පීඩනවලින් ද දුක් තැවුල්, ශෝක, සුසුම් ආදියෙන් ද ගිලන් වූ සමාජයකට ඔවුන්ගේ ගීතය නව ජීවයක් ද අපූර්ව උත්තේජනයක් ද ලබාදී ඇත. සම්භාව්‍ය සාහිත්‍ය කලා මිනුම් දඬු අනුව ඇගැයුමකට ලක් කෙරෙන දේශාභිමාන ගීත වෙනත් සෞන්දර්ය ප්‍රකාශන මෙහිදී මගේ අවධානයට ලක් නොවේ. ඒ කෘති සම්භාරය නිසැකයෙන්ම සාහිත්‍ය සංගීත කලා පරපුරෙන් පරපුරට ගලා යන සෞන්දර්ය ධාරාවන් බඳුය. ඒ ගී පදමාලා සිය මියැසියෙන් උද්දීපන කළ සමකාලීන සියලුම සංගීතඥයෝ ද මෙහිලා අපගේ ගෞරවයට පාත්‍ර වෙති. අමරදේව, ප්‍රේමසිරි කේමදාස මෙන්ම රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන, සරත් දසනායක, ඔස්ටින් මුණසිංහ, ස්ටැන්ලි පීරිස් යන සංගීතඥයන් කීපදෙනෙක් මෙවේලේ මට සිහිපත් වේ.
මෙතැන් සිට අප අවධානය යොමු වන්නේ ඔවුන්ගේ ගීත ව්‍යාපාරයෙහි අතිශය විවාදාත්මක වූද පාලකයන්ගේ උදහසට ලක්වූ ද ගී සමුච්චයක් කෙරෙහිය. එකක් සත්‍යයේ ගීතයයි. අනෙක ‘පවන’යි. මේවාගේ අඩංගු බොහෝ ගී ගුවන් විදුලියෙහි වාරණයට ලක්විය. සත්‍යයේ ගීතය මෙන්ම පවන මෙරටේ ගීත රසිකයන් දැඩි ආදරයකින් මෙන්ම ගෞරවයකින් ද වැළඳගත් නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.
සත්‍යයේ ගීතය යනු පුරුෂොත්තමවාදී සමාජයක ස්ත්‍රීත්වයේ පත්ලෙහි දිදුලන අඳුර හා වේදනාව පිළිබඳ භාවමය චිත්‍රයකි. සම්භාව්‍ය සාහිත්‍යයේත් විශේෂයෙන් ජාතක පොතෙහිත් එන ස්ත්‍රිය දෝෂදර්ශනයට ලක්වූ ලියකි. මාතු හා මයෝ නම් පවිටු සත්වයෙකියි ජාතක පොත ලියද්දී ශ්‍රී රාහුල හිමියන් පැවසුවේ අවසර, කල්, රහස් තැනවේනම් වරදෙහි නොබැඳෙන ලියන් නැති බවය. මේ ප්‍රතිගාමි දුෂ්ටිය විනා සමාජගත කළ එකකි. විෂ්ණු ශර්මන් නමැති භාරතීය ලේඛකයාට අනුව ස්ත්‍රිය එකෙකු සමග කතාබස් කරමින් අනෙකා දෙස නෙතඟ බැලුම් හෙළන සිතින් තවත් අයෙක් ගැන හිතන වහලියකි. මේ ආකල්පය අදත් අඩු වැඩි වසයෙන් තිබෙන්නකි. ‘සත්‍යයේ ගීතය’ මේ වැඩවසම් ආකල්පයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකි. ස්ත්‍රිය වසඟයට ගන්නා පුරුෂයන් අත ඇයට සිදුවන අනර්ථය බොහෝය. එහි එන එක් ගීතයක් උපුටා දක්වමු.
‘දෙතොලම පුපුරා ලේ ගැලුවා
දෙකපොල නිය පහරින් වැසුනා
ගත සිත පාමුල වැඳ වැටුණා
පතිනිවරුත් ප්‍රාර්ථනා කරන
දිව්‍ය ලෝකය ද මේ’
පතිකුලයට යන ලියකගේ කල දසාව මෙයනම් එහි රජයන්ගේ පුරුෂ ආධිපත්‍යයකි. ගැහැනිය සිය බාහු බලයෙන් යටපත් කිරීම අද ගෘහස්ථ හිංසනය යන පදයෙන් හැඳින්වේ. කුමක් වුවත් මේ ගී සවන් තුළින් උරා බොන ප්‍රබුද්ධ ලියෝ ඒ හිංසනය ඉවසා සිටිත් ද? ‘සත්‍යයේ ගීතය’ ඒ සියලු පීඩාවලට එරෙහිවූ කාන්තා විමුක්තිය පිළිබඳ ආමන්ත්‍රණයක් වැන්න. මෙවර අපේ දේශපාලනයේ ලියන්ට හිමිවූ ඇගැයුම ඉහළය. ඔවුහු ජාතික මෙහෙවරක නියමුවෝය. බුදුහු ද ස්ත්‍රීත්වය ඇගැයූහ. සත්‍යයේ ගීතය ඒ වටිනාකම් සිහිපත් කරවයි. ඒනිසා සත්‍යයේ ගීතය තුළ දිදුලන්නේ මෙරටේ අප්‍රමාණ ලියන්ගේ දුක් වේදනාවන් ය. පෙරදිග කතුන්ට හිමි ඉන්ද්‍රිය සංවරය, උපේක්ෂාව, කරුණා සීතල හදවත ආදියත් මෙම ගීතවලට කාවැදී තිබෙනු පෙනේ.
කෙසේ හෝ මේ වනවිට අප අබියස තිබෙන සමාජ – දේශපාලන වෙනසක අපේක්ෂාවන් පුබුදු කරලීමට ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’ අඩු වැඩි වශයෙන් බලපෑ බව නම් නිසැකවම කිව හැකිය. මේ වැඩවසම් ප්‍රභූතන්ත්‍රය බිඳ වැටේ යැයි අපේක්ෂා කළෝ කවරහු ද? එය සිදුවිය. අද ඒ ප්‍රභූතන්ත්‍රයම වල්මත් වූ සෙයකි. දුක්ගී නොගැයුව ද කඳුළු නොසෙල්වුවද ඒ ප්‍රභූ දේශපාලන තන්ත්‍රයට අත්වී තිබෙන ඛේදනීය පරාජය අපි දකිමු. ඇත්ත වශයෙන්ම මේ අලුත් දේශපාලන හා සංස්කෘතික සමාරම්භයක් දෙස බහුතර ජනතාවක් අපේක්ෂා සහගතව සිටින අවස්ථාවකි. ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’ ප්‍රසංග සමාජයට යථාර්ථ ඥානය සම්පාදනය කරන ප්‍රබල හා අර්ථාන්විත ඇඟවීම් කරන අයුරු පාලකයෝ ද දැන සිටියහ. අසූවේ දසකයේදී ‘පවන’ වේදිකාගත වීමත් එහි පසුබිම් කතාවත් මෙරටේ සංගීත කලා රසිකයන් තබා ප්‍රබුද්ධ විද්වත්හු ද නොදනිති. ‘පවන’ මර්දනයට ලක්වූවකි.
ජනාධිපතිවරණයේදී මෙන්ම පසුගියදා අවසන් වූ මහ මැතිවරණයේදීත් ‘පවන’ මෙන්ම සත්‍යයේ ගීතයෙහි ඇතැම් නිර්මාණ ඒ වේදිකාවලින් ද ඇසුණි. මේ ගීත සියල්ලම රචනා කළාහු මහාචාර්ය සුනිල් ආරියරත්නයෝය. මේ ප්‍රසංග දෙකෙහිම අරමුණ වූයේ හුදු ශ්‍රාවකයන් පිනවීම හෝ ඔවුන් සෞන්දර්ය නිද්‍රාවක සතපවාලීම හෝ නොවන බව ඒ පද මාලා විමසා බලද්දී පසක් වනු ඇත. අසූව දසකය වනවිටත් මෙරටේ තරුණයන්ගේ විරෝධතා මතුවෙමින් තිබුණි.
සාධුජන ගණ මනා සබා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
ලී යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවැලය ගැයෙන්නේ
ඩා දියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රසතාව
පෙදෙහි රස හව් විඳින ජනයිනී වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී
- දුලබනම්
‘ඔබට ගී ගයන මම කෝකිලාව නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි’
මේ ගීතය රජුන් ඇමැතියන් පාලකයන් ආදීහු කෙසේ ඉවසා සිටිත් ද? මෙහිලා අවධාරණය කරන්නේ මේ රට වනසා හපයක් කර තිබෙන බවය. මෙය කිසිසේත් ප්‍රතිරූප දේශයක් නොවන බවය. ස්වල්ප දෙනෙක් රසමුසු බොජුන් වළඳමින්, මධුසාද සුව විඳිමින් සිටිති. ජනතාවට එබඳු සුවයක්, සතුටක් තිබේද? මේ වේදිකාවේ සිට ඔබට ගී ගයන මා ගීත කෝකිලාවක් නොව ඔබ අතර රැඳෙන, හිඳින ගැහැනියයි යනුවෙන් කෙරෙන අවධාරණය කෙතරම් ප්‍රබල ද?
මෙසේ ගයන ඇය අනතුරුව පවසන්නී ලක්මව සොරුන් විසින් අල්ලාගෙන සිටින බවය. බලනු මැනවි.
අවුරුදු දෙදහස් පන්සියයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ
ලේ කිරි දුන් උන් ලේත් උරාබී
ලේ කඳුළක්වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා
උන් වැඩි හරියක් හොර දෙටුවෝ
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්
ගැන බැලුවේ නෑ කවදාවත්
මේ ලක් මවගේ මුවට නංවන චෝදනා පත්‍රය මේ රට සූරා කෑ පාලකයන්ට එල්ල කරන්නකි. වාචාල කතා, ව්‍යාජ අලංකාර යොදා ගෙන පොදු ජනතාව රැවටූ ඒ දේශපාලන විදුෂකයන්ට තවත් ඉඩ දියයුතු නැති බව නොවේ ද? මෙයින් කෙරෙන ඇඟවුම!
පටු අවස්ථාවාදී පාලකයන් විසින් මේ රටට කරන ලද විනාශය මෙන්ම ජනතාව ප්‍රඥා සම්පන්න විය යුතු බවද මෙසේ අවධාරණය කරයි.
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදන නම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්
මේ අමන පාලනය පෙරළා දමා ප්‍රතිරූප දේශයක් ගොඩ නැංවිය යුතු යන යථාර්ථ ඥානය සම්පාදනය කිරීමට මේ දරන ප්‍රයත්නය අගය කළ යුතු නොවේද?
අමන පාලනය නිසා මෙරටේ පොදු ජනතාව සදාකාලික වින්දිතයෝ බවට පත්ව සිටිති. මේ බලන්න.
පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදිනවිටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පයේ පොඟවා ගිලින්නට
පාන් කැබැල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරුකාරයන් හට
පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට
දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
දේශපාලනඥයන් පාලකයන් හා ඔවුන්ගේ වන්දි භට්ටයන් විසින් ද මේ රට ගැන මවන ලද ව්‍යාජ චිත්‍රය කුඩු පට්ටම් කළ අයුරුයි ඒ. මේ විනාශයට ඉඩ දියයුතු නැත. ඔවුන්ගේ බොරු, ව්‍යාජ මැවීම්වලට තවදුරටත් මුළා විය යුතු නැත.
මේ තරම් රැවටී තිබියදීත් තවමත් සිහසුන් අරා සිටින්නාහු ඒ අමන පාලකයෝය. ඔවුහු පෙරළා දමා ජනතාවාදී පාලනයක් උදා කර ගත යුතුය. නොඑසේනම් අපට තබා මතු පරම්පරාවලට ද විමුක්තියක් නැති බව මේ ගීවල අවධාරණයයි. අපට වුවමනා මෙබඳු ලොවකි.
සඳ එළිය ගඟක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඬු නඟයි
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ
මල් සුවඳ රටක් වී
පෑ නුවන් සයුරේ
ඒ රටට අඬ ගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ
මෙබඳු ගී විරෝධාකල්ප ලෙස හැඳින්වේ. එහෙත් බලකාමී පාලකයෝ එබඳු ගී නොඉවසති. ඒ ගී අසන ජනයා ප්‍රඥාවන්තයන් බවට පත්ව ඔවුන්ගේ නිල බල උදුරා ගනු ඇතැයි පාලකයෝ බියට ද සන්ත්‍රාසයට ද පත් වන්නාහ. ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් යස ඉසුරු විඳිමින් ගෙවූ ජීවිත අවසන් වනු දැකීමට රිසි පාලකයෝ මෙරටේ තබා ලොව කොදෙව්වක හෝ සිටිත්ද?
නන්දා – සුනිල් සුසංයෝගයේ ප්‍රබල දේශපාලන සමාජ හා ආර්ථික කියවීමක් බඳු මේ ගීතවලට එකල සිටි විශේෂයෙන් අසූව දසකයේ පාලකයන් දැක්වූයේ දැඩි වෛරී ප්‍රතිචාරයකි. පවන ගී ප්‍රසංගය සඳහා එකල තිබුණු රැඟුම් පාලක මණ්ඩලය ද ඇති තරම් හිංසා කර තිබුණි. 1987 ජුනි මාසයේ ලුම්බිණියේ ‘පවන’ ප්‍රසංගය පැවැත්වෙද්දී එවක රැඟුම් පාලක මණ්ඩලයේ බලධාරීහු රංග ශාලාවට කඩා වැදුණහ. මහාචාර්ය සුනිලුත් අමතා ඇතැම් ගීතවල පද මාලා වෙනස් කරන ලෙස දැඩි බලපෑම් ද කළහ. එසේ කළ නොහැකි නම් ප්‍රසංගය වහාම නවත්වන බවට ද තර්ජනය කළහ. එහෙත් ඔවුහු රැඟුම් පාලක මණ්ඩලයේ නියෝග තඹයකට මායිම් නොකර ප්‍රසංගය එසේම කරගෙන ගියහ. ඇත්තටම අවශ්‍ය වූයේ ගී ප්‍රසංගයට කලින් දුන් අවසරය ආපසු කැඳවීමටය. එහෙත් ඒ ප්‍රයත්නය අසාර්ථක විය. එසේ වුවද යළිත් පසු දිනක හමුදා බළඇණියක්ම ලුම්බිණි රඟහලට පැමිණියේ ප්‍රසංගය පැවැත්වෙද්දීය. හමුදා නියෝගය වූයේ සියලුම දර්ශන අත්හිටුවිය යුතු බවය. එහෙත් ප්‍රසංගයේ සංවිධායකයන් පැවැසුවේ සවස දර්ශනය නැවැත්විය හැකි බවය. කුමක් වුවත් ඒ අවස්ථාවේ ප්‍රසංගය අතරමඟ නැවැත්වීමෙන් කිසියම් කලබලයක් සිදු විය හැකි බව හමුදාවේ උසස් නිලධාරියකුට පහදා දිය හැකි විය. අවසානයේ සවස දර්ශනය අවලංගු වූ අතර ඉන් පසු එම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදීම් ද කැපී පෙනුණි.
ඇත්ත වශයෙන්ම පවන ප්‍රසංගය එදා පනාගොඩ යුද හමුදා පරිශ්‍රයේදීත් පැවැත්වීමට හැකි විය. එසේම අසූවේ වර්ජකයන්ට ආධාර පිණිස ද එය පවත්වා තිබුණි. රට පුරාම ඒ ප්‍රසංගයට දැඩි අවධානයක් යොමු වූ අතර එනිසාම පාලකයන්ගේ බිය ද වැඩිවී තිබුණි. මේ ප්‍රසංගය පිළිබඳ එදා දිවයින පුවත්පතට විචාරයක් සැපැයූ මෙම ලේඛකයාට ද පසුව මරණ තර්ජන එල්ල විය. ප්‍රසංගයේ නිර්මාතෘවරුන් වූ ආචාර්ය නන්දා මාලිනිය හා මහාචාර්ය සුනිල් ආරියරත්න පසුපස ද ඝාතකයෝ ලුහුබඳින්ට වූහ. ඒවායේ සැබෑ මෙහෙයුම්කරුවෝ එකල සිටි පාලකයෝ බවද කියති. කුමක් වුවත් මේ ඝාතන තැත එවක බෙල්ලන්විල විමලරතන නාහිමියන්ට ද වාර්තා විය. උන්වහන්සේ මේ කලාකරුවන් දෙපොළ සුරැකිව රටින් පිටට රැගෙන නොයන්නට කුමක් සිදුවිය හැකිව තිබුණි ද?
කෙසේ හෝ 88-89 භීෂණ යුගයේ පාලකයන් මේ පවන ප්‍රසංගය සංවිධාන කළ අයට පවා හිරිහැර කළ බව පසුව වාර්තා විය. මේ ප්‍රසංගය වෙනුවෙන් ගැයූ “ඝාතකයා” නමැති ගීතය මේ දක්වා කිසිදු මාධ්‍යයක හෝ පළවී නැත. එම ගීතයෙන් කියැවුණේ එකල පැවැති රාජ්‍ය භීෂණයට ගොදුරු වූ විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු ජන කොටස් පිළිබඳවය.
කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදිම “පවන” ප්‍රසංගයේ ගී කීපයක්ම පසුගිය මැතිවරණ වේදිකාවල නිබඳව ඇසුණි. ඒ ගී ජ.වි.පෙ. දේශපාලන ව්‍යාපාරය සමග සමීපව බැඳුණු මෙන්ම එහි ක්‍රියාකාරීන්ට බෙහෙවින් රුචි කර වූ බවද පැහැදිලිව දැක ගතහැකිය. කලාව යනු සමාජ දේශපාලනයට අප්‍රමාණ බලපෑම් කළ හැකි සාර සංස්කෘතියක් බව එයින්ද පැහැදිලි වේ. භෞතික සංස්කෘතිකයට පෙර රටක ජන මනසට බලපෑ හැකි ආධ්‍යාත්මික සංස්කෘතියක් ලෙස කලාව ඇගයූ ලෙනින් එනිසාම ටොල්ස්ටෝයිට ඉමහත් ප්‍රශංසාවක් ද කළේය. පන්ති පීඩනය දුරලන සෞන්දර්ය අවියක් ලෙස සද්කලාව යොදාගත හැකි බව රුසියානු විප්ලවයේ නියමුවෝ පවා කීහ. “කලාව මානව සංහතියේ ප්‍රගමනයට ඉවහල් වන්නාවූද ඔවුන්ගේ අභිවෘද්ධිය සලස්වන්නාවූ ද ව්‍යාපාරයක් බව ටොල්ස්ටෝයි පවා පිළිගනී. මානව වර්ගයාගේ අර්ථ සිද්ධිය පිණිස කලාව යොදා ගත් ප්‍රබුද්ධ කලාකරුවන් අතර බ්‍රෙෂ්ට් මෙන්ම ගෝර්කි ද සිටිති.
කෙසේ හෝ වේවා වර්තමාන දේශපාලන පුනරුදයක පැතුම් දුටු මෙරටේ ජනතාව පමණක් නොව එහි ක්‍රියාකාරීහු ද පවන සමග බැඳී සිටියහ. එසේම අවසන් වශයෙන් ඒ ප්‍රසංගය වෙනුවෙන් පවන වෙනුවෙන් ආචාර්ය නන්දාමාලිනියත්, මහාචාර්ය සුනිල් ආරියරත්නත් දැක්වූ අභීත, අදීන විලාසය පැසසිය යුතුය. ඒ ගීත විචිත්‍ර කළ සංගීතඥයන්ට ද කෘතවේදීත්වය පළ කළ යුතුය. අඳුරු යුගයක, රුදුරු පාලනයක සිරකරුවන් බවට පත්ව සිටි ජනතාවට ප්‍රඥාව මතු නොව වීර්ය හා අධිෂ්ඨානයෙන් නැඟී සිටීමට ද පවන යම් හෝ උත්තේජනයක් ලබා දුන් බවද සඳහන් කිරීම වටී.
මගේ මේ සටහන නිම කිරීමට පෙර යළිත් සිහියට නැඟෙන්නේ ජීවිතයත් යථාර්ථයත් විනිවිද දුටු සොඳුරු කලාකාරියකගේ මුහුණුවරය ඇයට ප්‍රඥා ආලෝකය ලබාදුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විචාරශීලී ප්‍රබුද්ධ විලාසයි.
“ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමියි” නන්දා මාලිනිය ඇගේ සුළකලකුරු මියුරු සරින් රසික හද රැඳවූවාය.
“ඇයට ගී ලියූ මම රාජකුමරකු නොවෙමියි මහාචාර්ය සුනිල් නොලීවත් මට එසේ සිතෙයි. ඔබ පැවැසූ පරිදිම ඒ සියලු ගී සජ්ජන හිත සුව පිණිස වනු ඇත.
● ගාමිණි සුමනසේකර