දේශීය සම්පත් ගැන පම්පෝරි ගසන අය රට මුදලට විකුණලා

86

සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
සජිත් ප්‍රේමදාස බහුජාතික සමාගම්වලට වෙන්දේසි වන කෙනෙක් නොවෙයි

කිරි නිෂ්පාදනය කරන කිරි ගොවීන්ටත් පශු සම්පත් මණ්ඩල ඉඩම්වල සේවය කරන අයටත් කියන්න ඇත්තේ සෙසු විකල්ප යැයි කියාගන්නා පක්ෂ මෙන් සජිත් ප්‍රේමදාස වන තමා රටවල්වලට, බහුජාතික සමාගම්වලට වෙන්දේසි නොවන බවත්, මහ ලොකුවට දේශීය සම්පත් ගැන පම්පෝරි ගහපු මහා ලොකු කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තවාදීන් තම ප්‍රතිපත්ති පාවා දී රට මුදලට විකුණා ඇති බවත්, සමගි ජන බලවේග රජයක් තුළ එවැනි දෙයක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ අම්පාරේ පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ මිල ඉහළ ගොස් ඇති නිසා බීජ නිෂ්පාදනය කරන සැලසුමක් ද රටට අවශ්‍ය බවත්, රටේ භූමි භාගයෙන් හෙක්ටයාර් මිලියන 2.4ක් එනම් රටෙන් 1/3ක් භෝග වගාවට වෙන්වන බවත් ශ්‍රම බළකායෙන් 25%ක් මේ කෘෂිකර්මාන්තයේ නියැළෙන අප රටට අනභිබවනීය වාරි පද්ධතියක් ඇති නිසා සමගි ජන බලවේග රජයක් තුළ ඉඩම්, ඉඩම් සංවර්ධන, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග, මහවැලි ආදී අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් ජාතික කාෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කර මෙරට ගොවියා සැබවින්ම රටේ රජවරුන් බවට පත් කරන බවත්, රටට බත සපයන ගොවියා දෙවියන් ලෙස සලකන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සංවර්ධනය කරන්න බලය ඉල්ලා සිටින අය කරන්නේ ජනතාවගේ බදු මුදල්, සංවර්ධනය කියා බෙදාදීම වුවත් මේ රට ගොඩගැනීමට රටේ රාජ්‍ය ආදායම විතරක් ප්‍රමාණවත් නොවන නිසා විදේශීය රටවලින් අප රටට ගත හැකි උපරිම ශක්තිය හා සහනාධාර ලබාගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා ව්‍යවසායකයකු විය යුතුයි

ගොවියා යනු සාම්ප්‍රදායික ගොවි භූමිකාවේ නොසිටිය යුතු බවත් ඔහු ව්‍යවසායකයකු බවත් කිසිවකුටත් වහල් නොවි ගොවි බිම් තුළින් ව්‍යවසායකයන් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගයට සෙසු පක්ෂ සියල්ල බියෙන් සිටින බවත් පොහොට්ටුව, අලි, සීනු, මාලිමා එකට එකතු වී එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බවත් මේ කුමන්ත්‍රණවලට ලක්ෂ 220 ජනතාව පරාජය වීමට සහ පොදුජන අයිතිය විනාශ කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩී. එස්. සේනානායක මහතා සේනානායක සමුද්‍රය වම් ඉවුර, දකුණු ඉවුර හරහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කළ බවත් ඉන් පසුව බත්දුන් පියා ඩඩ්ලි සේනානායක මහතා එග්ගල්ඔය වාරි ශිෂ්ටාචාරය නිර්මාණය කළ බවත් සිරිමාවෝ මැතිනියගේ කාලයේ නාමල්ඔය ව්‍යාපාරය නිර්මාණය කළ බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීමට බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වයත් සමගි ජන බලවේගය හා එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාරි ශිෂ්ටාචාරය නව යුගයට ගැළපෙන ආකාරයට සකස් කර කන්න දෙකම වගා කළ හැකි ආකාරයට සංවර්ධනය කරන බවත් මහා වාරි, සුළු වාරි, සියලුම වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කරනා බවත් මේවා කියන විට බංකොලොත් රටේ මේවා කරන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් නිදහසින් පසු 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මෙරට පළමු වරට අංක 1ට බලයක් නොමැතිව තනතුරු තාන්න මාන්න නොමැතිව රටම සංවර්ධනය කරන එකම විකල්පය හා විපක්ෂය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරටට ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් කෘෂිකර්මාන්තය තුළ තරගකාරී වාසිය සාපේක්ෂ වාසිය ලැබෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දැනුම නව්‍යකරණය ඩිජිටල්කරණය යනාදී තාක්ෂණ උපයෝගි කරගෙන අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටමට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද බොහෝ දෙනකුට ගොවි විශ්‍රම වැටුප් අමතක වී ඇති මුත් සමගි ජන බලවේගයට හෝ තමාට එය අමතක වී නොමැති බවත් එම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරහා ගරාවැටුණු කඩාවැටුණු ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රීය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් ලබා දෙන බවත් පරිසර සංවේදී ප්‍රදේශ රැකගන්නවා සේම ගොවියාට වගා කිරීමට අයිතිය ඇති වගාබිම් පවා රැකගන්නා බවත් භූමියට ඇති සින්නක්කර අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ දිගාමඩුල්ල සහ උහන සංවිධායක ජයන්ත රත්නායක මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දමන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවිධායක මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා සභාපති විපුල රත්නායක මහතා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් එක්විය.
සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment