නඩු ප්‍රමාදය වළක්වන්න අධිකරණය තුළට නව තාක්‍ෂණය ලබා දෙනවා – අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමැති හර්ෂණ නානායක්කාර

12

අයි.එම්.එෆ්. සංශෝධනවලට නොයෑමෙන් ජනතාව මත පටවන බර වැඩිවෙලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ මුදල් ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ – මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම

මාස 07න් පොදුජන පෙරමුණේ ඡන්ද සියයට 2.5 සිට 10% දක්වා වැඩිවුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක

අධිකරණය තුළ විභාග වන නඩු කටයුතු ප්‍රමාදය වැළැක්වීමේ අරමුණ ඇතිව නව තාක්ෂණය අධිකරණ පද්ධතිය තුළට ගෙන ආ බවත්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාර්ග මගින් එම කටයුතු කර ගැනීමේ හැකියාව ඇති කළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවසීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ (23 දා) පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය.

පසුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ විදේශීය ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පපත සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා –

අපේ රටේ ජනතාව යන්න අකමැතිම තැන උසාවිය. නීතීඥයන් සහ විනිසුරුවරුන් පමණයි එහි යන්න කැමති. මොකද ඒ අයගේ රැකියාව කළ යුතු බැවින්. ඒ වගේම සාක්ෂිකරුවන් යන්න ඉතාමත් අකමැතියි. නඩු කල්යනවා වැඩියි.

ඔවුන් කියනවා රස්තියාදුව වැඩියි. වෘත්තිකයන් පැමිණිලි කරනවා ඒ අයගේ කාලය නාස්ති වෙනවා වැඩියි කියලා. අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු එක ඇමැතිවරයකු හෝ එක් ආණ්ඩුවක කාලයක් තුළ ඇතිවූවන් නොවේ. මෙය දශක ගණනාවක සිට ඇති වූ තත්ත්වයක්. අද අපි ඉදිරිපත් කරන මෙම සංශෝධනයෙන් අධිකරණයේ පවතින සියලු ගැටලු විසඳුනේ නැතත් ඉදිරි පිම්මක් පැනීම සඳහා මෙය හේතුවනු ඇතැයි අපේ විශ්වාසයයි. නවීන තාක්‍ෂණය අපේ අධිකරණ පද්ධතියට ගෙන ඒමේ අභියෝගය ජය ගැනීම තමයි අපේ මේ වෑයම. නඩු කල්යෑම තුළින් ජනතාව දැඩි අපහසුතාවට ලක් වෙනවා. එක පාර්ශ්වයක් හෝ නොසිටියහොත් නඩුව කල්යනවා. දැන් කාලේ වට්ස්ඇප් මීටින් සූම් තාක්ෂණය තිබෙනවා. එය අපේ අධිකරණ පද්ධතියට ඇතුළු වුණේ නෑ. සැකකරුවකු හෝ සාක්ෂිකරුවකු අධිකරණයට ගෙනෙන්නේ නැතුව දුරස්ථ ස්ථානයක සිට ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය මාර්ග මගින් කෙසේද සාක්ෂි දෙන්නේ, එහි විශ්වසනීයත්වය රඳවන්නේ කොහොමද යන්න සාක්ෂාත් කර ගැනීමට ආපු පනතක් මේක. සෑම බන්ධනාගාරයකටම මේ ඕඩියෝ විෂුවල් ලින්කේජ් පහසුකම ලබා දෙනවා වගේම සෑම අධිකරණයකම මේ සඳහා නිලධාරියකු යෙදවීමට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.

කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ –

කටුනායක ෆැක්ටරියක් වැසීම ගැන විපක්‍ෂය විවිධ අනුමාන කතා කියනවා. ශිෂ්‍යත්ව දරුවනුත් අනුමාන ප්‍රශ්නවලට උත්තර ලියනවා. ඒ වගේ තමයි අනුමාන විපක්‍ෂයත් කර්මාන්ත ශාලාව වැසීමත් සමග සමස්ත ආයෝජකයෝම රට හැර යනවා කියලා විපක්‍ෂයේ සමහරු කිව්වා. දැනගත් වහාම අපේ අමාත්‍යාංශය මැදිහත්ව කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග දීර්ඝව සාකච්ඡා කළා.

පසුගිය 2019 සිට 2025 මේ දක්වාම ඩොලර් මිලියන 10ක පාඩුවක් ඔවුන්ට සිදුව ඇති බව පවසනවා. මේ වසා දැමීම ආණ්ඩුවේ ක්‍රියාවලිය හෝ සේවකයෝ නිසා සිදු වූවක් නොවෙයි. හුදෙක් ව්‍යාපාරික උවමනාව මත ගත් තීන්දුවක් බවයි ඔවුන් පවසන්නේ.

මේ සේවකයන්ට කටුනායක වෙනත් ආයතනවල රැකියා ලබා දෙන්න ආයතන සමග සාකච්ඡා කර තිබෙනවා. එය සාර්ථකව තිබෙනවා. මේ රටේ ආයෝජනවලට කිසිම බලපෑමක් වන්නේ නෑ.

මුදල් නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම –

ජාතියේ ශේෂ පත්‍රයේ තිබෙනවා ටි්‍රලියන විසිගාණක ආගිය තැනක් නැති මුදල් තොරතුරු. මෙයින් පැහැදිලි වෙන්නේ මේ රට මේ දක්වා කළමනාකාරිත්වයක් කරලා නෑ. කළමනාකරණය කළා නම් එය නිසි ලෙස ලබාගත් ණය වාර්තා වෙලා නම් විගණනයකට භාජනය කළා නම් අද මේ රට මේ තත්ත්වයට පත් වන්නේ නෑ.

ටි්‍රලියන 20කට අධික ආගිය අතක් නැති වාර්තා කොහේවත් පොත්වල සටහන් වෙලා නෑ. කොහේද මේ මුදල් ගියේ කියලා ඒ ගැන වත්මන් රජය වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒවායේ තොරතුරු ගන්න ඉතිහාසයේ දශක ගණනකට යන්න වෙනවා. ජනාධිපතිවරයා දැනුම ඇති පිරිස ඊට සම්බන්ධ කරගෙන තියෙනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස – විදුලි බිල අඩු කරනවා කියලා එදා වේදිකාවේ කිව්වත් අද විදුලි බිල වැඩි කරලා. අපි කිව්වා වැඩි කරන බව. එය හරිගියා.

පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරනවා කිව්වත් සුළං හා සෝලා බලශක්තිය කප්පාදු කරමින් පවතිනවා. ජනතාවගේ හිස මත පටවන බර අවම කරන්න අවශ්‍ය අයි.එම්.එෆ්. සංශෝධනවලට ආණ්ඩුව ගියේ නෑ. විදුලි බිල වැඩි කරන්නේ අයි.එම්.එෆ්. කොන්දේසියක් නිසා. එසේ සිදු වන්නේ මැතිවරණ පොරොන්දු කඩ කිරීම නිසයි.

පත්කළ මන්ත්‍රී රවි කරුණානායක (න.ප්‍ර.ජා.ස.) –

රාජ්‍ය නිලධාරීන් අද වැඩ කරන්න බයයි. එදා එෆ්.සී.අයි.ඩී. එකට ගෙන ගියා. එය වැරැද්දක්. අදත් වැඩ කරන්න බයයි. රජයේ සේවකයන් වැඩකළ යුතු ආකාරය සඳහන් පනතක් අවශ්‍යයි. ලියකියවිලි පිළිබඳව ඔවුන් බයයි. ඒ බයනැති කළ යුතුයි. තරු පහේ හෝටලයක් විවෘත කළා. එය තවම මත්පැන් විකිණිය හැකි ලෙස බලපත්‍ර දීලා නෑ. නිලධාරීන් වැඩ කරන්න බයයි. ආර්ථිකය දියුණු කරන්න වශ්‍ය වැඩපිළිවෙළක් හදන්න. ලිපි ගොනුවක් පැයකින් දෙකකින් අත්සන් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්නනිලධාරීන් ආරක්ෂා කරන්න.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක (ශ්‍රී.ල.පො.පෙ.) – පොදුජන පෙරමුණ මහ මැතිවරණයේදී වැටෙන්න පුළුවන් අවම තැනට වැටුණා. මේ මැතිවරණයේදී අපි ඉදිරියට ආවා. සියයට 2.5 සියයට 10කට වැඩි කරන්න මාස 07කින් හැකිවුණා. ආණ්ඩුවට සියයට 18ක් ඡන්ද අඩුවෙලා.

පසුගිය මාස පහේදී ලුණු හදාගන්න බැරිවුණා. අඩුම ගාණේ ලුණු ගෙන්වා ගන්නත් බැරිවුණා. ටෙන්ඩර් නැතිව ලුණු ගේන්න අවස්ථාව ඇතිකර දූෂණ කරන්නයි උත්සාහ කරන්නේ.

පාර්ලිමේන්තුව නැවත ජුනි 03දා පෙරවරු 9.30ට රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment