රිජ්වේ රෝහලෙන් අතුරුදන් වූ  දරුවා හිමිනමක් රෝහලට භාරදෙයි

630

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලෝක ළමා දිනය දා (01දා) වාට්ටුවකින් අතුරුදන්වූ 12 හැවිරිදි පිරිමි දරුවා හිමිනමක විසින් ඊයේ (02දා) සවස බොරැල්ල පොලිසිය වෙත භාරදුන් බව එහි උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

අධිකරණ නියෝග මත මාකොළ ප්‍රදේශයේ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි මෙම දරුවා හර්නියා තත්ත්වයක් මත රිජ්වේ රෝහලේ 5 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ලෝක ළමා දිනයදා වාට්ටුවෙන් අතුරුදන්වී තිබිණි.

පසුව මේ සම්බන්ධව ළමා නිවාසයේ පරිපාලන නිලධාරියකු විසින් බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

දරුවා සොයාගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතරතුර දරුවා රැගෙන පැමිණි හිමිනමක් බොරැල්ල පොලිසියට දරුවා භාරදී තිබේ.

පොලිසිය පසුව අනාවරණය කරගත් තොරතුරුවලට අනුව හෙළිවී ඇත්තේ අදාළ හිමිනමගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතීමට වාට්ටුවෙන් පැන ආ බව දරුවා එම හිමිනමට පවසා ඇති බවයි.

මේ පිළිබඳව බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල දිසානායක මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ශ්‍රියාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඇන්ටන් ප්‍රනාන්දු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment