නඩු ලක්‍ෂ 11ක් උසාවිවල ගොඩගැහිලා – ලොකුම හේතුව විනිසුරු හිඟය

96

මෙරට අධිකරණවල ඉකුත් වර්ෂය (2023) අවසන් වන විට විසඳීම සඳහා නඩු එකොළොස් ලක්ෂ විසිදෙදහස් එකසිය දහතුනක් (1,122,113) ගොඩගැසී ඇති බැව් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සඳහා අධිකරණවල ගොඩගැසී තිබීම මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රය මුහුණ දී ඇති දැවැන්තම අර්බුදය බව මෙම වාර්තාවේ සඳහන් වේ. විසඳීමට ඇති නඩු අතුරින් විශාල සංඛ්‍යාවක් මහෙස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල ගොඩගැසී ඇති බවද මෙම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

2015 වර්ෂයේ මෙරට අධිකරණවල නඩු හත්ලක්ෂ, දහතුන්දහස්, පන්සිය විසිහතක් (713,527) ගොඩගැසී තිබූ අතර 2023.12.31 වනවිට විසඳීම සඳහා අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ, විසිදෙදහස්, එකසිය දහතුනක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙරට මහෙස්ත්‍රාත් අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 805,502කි. දිසා අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 259,763කි. අධිකරණවලට යොමුවන ආරවුල්වලට සමානුපාතිකව සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණි. මේ වනවිට මෙරට ජනගහනයෙන් මිලියනයකට සිටින විනිසුරුවන් සංඛ්‍යාව 19කි.

මෙරට අධිකරණවල පවතින මෙම තත්ත්වය රටේ දේශීය ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට යෑමට මෙය හේතුවක් වී තිබුණි. මෙය ශ්‍රී ලංකාව තුළ අයහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම විදේශ ආයෝජන අධෛර්වත් කිරීමට හේතු වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment