නවසීලන්තයත් ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ බොට්ටුවට වැටෙයි

435

කොදෙව් සහ ඉන්දියාව සුපිරි අටට

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය සඳහා කණ්ඩායම් 4 ක් පෙරේදා රාත්‍රී වන විට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 3 ක් ඒ සඳහා නුසුදුස්සෝ වීමේ දැඩි අවදානමක පසු විය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගයේදී කවර හෝ කණ්ඩායමකට ජයග්‍රාහී ප්‍රතිපලයක් ලැබුණේ නම් ශ්‍රී ලංකාවට සුපිරි 8 වටය පිළිබඳව බලාපොරොත්තු සහමුලින්ම ඉවත්කර ගැනීමට සිදුවේ.

එම කණ්ඩායම් දෙකම තරග දෙකකට සහභාගි වී එක් තරගයක් බැගින් ජය ගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිකරගෙන සිටින අතර තවත් ප්‍රසාද ලකුණු 2 ක් එක් කණ්ඩායමකට හෝ හිමි වුවහොත් ඔවුන් ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 ක් බවට පත් වී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි වේ.

මෙතෙක් තරග 3 කදී ප්‍රසාද ලකුණු 1 ක් පමණක් හිමිව ඇති ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇති නෙදර්ලන්තය සමග තරගය ජයග්‍රහණය කළද මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියක් ගැන ඒ අනුව ශ්‍රී ලංකාවට සිතිය නොහැක.

ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් හෝ මොනයම් හේතුවකින් අත්හැර දමා කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමි වුණි නම් පමණක් අල්ප මාත්‍රයක බලාපොරොත්තු ශ්‍රී ලංකාවට වේ.

එසේම එකී ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉටුවීමට නම් බංග්ලාදේශය නේපාලය හමුවේ පරාජයට පත්විය යුතු අතර දකුණු අප්‍රිකාව නේපාලය පරාජය කළ යුතුය. එමතුද නොව ශ්‍රී ලංකාව ඉතා ඉහළ ලකුණු වේගයක් රඳවාගෙන නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය ලැබිය යුතුය.

එසේ වුවහොත් පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන “ඩී” කාණ්ඩයේ දකුණු අප්‍රිකාව හැරෙන්නට අනෙක් සියලුම කණ්ඩායම්වල ප්‍රසාද ලකුණ සංඛ්‍යාව 3 ක් ලෙස සටහන් වේ.

එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩු අතර එසේ වුවද මේ වන විට ශුද්ධ ලකුණු වේගය -0.777 ක් ලබා සිය කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ලබා එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වීමද ඉතා අසීරු කරුණක් වේ.

2014 වසරේ ලෝක ශූරයන් බවට පත්වූ මෙන්ම තවත් අවස්ථාවක ලෝක අනුශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකාවේ ඉරණම එසේ විසඳීමට යෑමේදී එවැනිම ඉතිහාසයක් පන්දු වාර 20-20 ලෝක කුසලාන ඉතිහාසයේ හිමි පකිස්ථානය ටද මෙවර සුපිරි අට වටයට පිවිසීම ඉතා අසීරු වී ඇත.

පකිස්ථානය තමන් සහභාගි වූ තරග දෙකම පරාජය විය.

එමෙන්ම එක් වතාවක් ලෝක අනුශූරයන් බවට පත්වූ නවසීලන්ත කණ්ඩායමෙන්ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු ඈතට ගෙන යමින් බටහිර ඉන්දීය කොදෙව්වෝ ඊයේ රාත්‍රීයේදී නවසීලන්තය පරාජය කළහ.

ඒ අනුව නවසීලන්තය ද තරග දෙකකට සහභාගි වී තරග දෙකම පරාජයට පත් වී ඇත. ඔවුන් ට ඉතිරිව ඇති තරග ලෙස පැපුවා නිවිගිනියාව සහ උගන්ඩාව සමග තරග වේ.

නවසීලන්තය පරදා කොදෙව්වන් ලබාගත් ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය සඳහා ඔවුන් ද සුදුසුකම් ලබාගත් අතර ඒ අනුව දකුණු අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 8 වටයේ සුදුස්සෝ බවට මේ වනවිටත් පත් ව සිටී.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සිට

advertistmentadvertistment
advertistmentadvertistment