නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ

192

මාරක ළිඳේ සවාරියක්, බොක්ස්, ජොයින්ට් සහ හෙලෝ වැනි නිර්මාණාත්මක, පෙරළිකාර නාට්‍ය අත්දැකීම් ප්‍රේක්ෂකයාටත්, වේදිකාවටත් තිළිණ කළ දක්ෂ, ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන චාලක රණසූරිය අධ්‍යක්ෂණය කළ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යය මෙවර 50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය වෙනුවෙන් නොවැම්බර් මස 23 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස 6.30 ට රංගගත වේ. ඒ පිළිබඳව කතා කරන්නට, නාට්‍ය අධ්‍යක්ෂක චාලක රණසූරිය සමගින් අප මෙලෙස කතාබහ ආරම්භ කළා.

මෙවර පැවැත්වෙන්නේ 50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල. ඒ සම්බන්ධව චාලකගේ අදහස ගැන කතා කළොත්?

නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ

ඔව්. මෙවර පැවැත්වෙන්නේ පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලයි. මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී තමයි එය පැවැත්වෙන්නේ. නොවැම්බර් මාසේ පළවැනිදා කෙටි නාට්‍ය උළෙල පටන් ගත්තා. කෙටි නාට්‍යය අවසන් වෙනවා 8 වැනිදායින්. ඊට පස්සේ 13 වැනිදා සිට 25 වෙනිදා වෙනකම් දිගු නාට්‍ය උළෙල පැවැත්වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ නාට්‍ය අනු මණ්ඩලයේ අය ඒ අයට පුළුවන් මට්ටමින් මේ නාට්‍ය උළෙල සංවිධානය කරනවා. නමුත් අපේ රටේ 50 වැනි නාට්‍ය උළෙල සඳහා මීට වැඩිය රාජ්‍ය මැදිහත්වීමක් තිබුණා නම් මීට වැඩිය සැලකිය යුතු මට්ටමකින් දේවල් කරන්න පුළුවන් වුණා නම් වටිනවා. යම් තරමක වෙනස්වීම් වෙලා තියෙනවා. නමුත් ඒවා ප්‍රමාණවත් නැහැ. ඊට වැඩිය පනස්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල උත්කර්ෂවත් විදිහට කරන්න පුළුවන් වුණා නම් ඒක නාට්‍යකරුවන් විදියට අපට ඉතා වටිනවා. නමුත් මේ කරන්නා වූ කාරණාවනුත් අපි අගය කරනවා. ප්‍රේක්ෂකයින්ට රුපියල් 200 ක් වැනි ඉතා අඩු මුදලකට නාට්‍ය බලන්නත් පුළුවන්. විද්‍යාර්ථයින්ට වගේම පොදුවේ ප්‍රේක්ෂකයින්ටත් මේක හොඳ අවස්ථාවක්. මොකද මෙවැනි මුදලකට නැවත නාට්‍යයක් බලන්න පුළුවන් වන්නේ, යොවුන් නාට්‍ය උළෙලක හෝ රාජ්‍ය නාට්‍ය උළෙලක විතරයි. ඒකටත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. ඉතිං මේ අවස්ථාව මඟනොහැරගෙන ප්‍රයෝජනයට ගන්න කියලා තමයි මම කියන්නේ.

චාලක රණසූරිය නාට්‍ය කරන්නේ, සම්මාන ලබා ගැනීමේ අරමුණින්ද?

ඒක මෙහෙමයි, සම්මානයක් කියන එක තව දුරකට නාට්‍යකරුවෙකුට ලැබෙන උත්තේජනයක්. හැබැයි සම්මාන බලාගෙනම නාට්‍ය කරනවා නෙවෙයි. සම්මාන ලැබුණොත් සතුටින් භාරගන්නවා. ඒ ඇගයීම, ඒ දිරිගැන්වීම වටිනවා. මෙවැනි ඇගයීම් එක්ක ප්‍රේක්ෂකයෝ අතරට අපේ නාට්‍ය ගෙන යන්නට යම් තරමක පහසුවක් ලැබෙනවා. ඒ නිසා එවැනි දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි සම්මාන ලැබෙන්නම ඕනෑ කියලා සහ සම්මාන බලාගෙන නාට්‍ය කරන්නෙත් නැහැ. මගේ එකම අරමුණ වන්නේ, නාට්‍ය වේදිකාගත කිරීම පමණයි.

නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ

චාලක ගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍ය ගැන කෙටි විග්‍රහයක් කළොත්?

“සඳුදා වැටෙන්නේ සිකුරාදාට” කියන්නේ,ඛේදාන්ත ප්‍රහසන ගණයට අයිති වෙන නාට්‍යයක්. මේ නාට්‍ය මම ලියන්න ගන්නකොට රේකෝනි වගේ රචකයන්ගේ ආභාෂය තිබුණා. මේ නාට්‍යය තුළින් කතා කරන්නේ, අපි හුඟක් වෙලාවට ජාතියක් විදිහට රැවටෙනවානේ. ඒ රැවටීම පවුලක් ඇතුලේ වගේම කොහොමද රටක් ඇතුලේ සිද්ධ වෙන්නෙ කියලා. රටක් ඇතුලේ සහ පවුලක් ඇතුලේ මොන තරම් පහසුවෙන් අපිව රවට්ටන්න පුළුවන්ද වගේම පවුල තුළ අපි මොනතරම් රැවටීමක් ඇතුළේ ජීවත් වෙනව ද කියන කාරණාව ගැන තමයි නාට්‍යයෙන් කතා කරන්නේ. මම මේ නාට්‍ය රචනා ආකෘතියට පාදක කොට ගත්තේ, රේකෝනිගේ නාට්‍යය. හැබැයි ඔහු හුඟක් වෙලාවට ප්‍රහසනය ප්‍රහසනය විදිහටම නවත්තනවා. හැබැයි මම මේක වෙනසක් කරන්න උත්සාහ කළා. ප්‍රහසනය නැවතත් ඛේදයකින් අවසන් කරන්න. මේ නාට්‍ය ලියනකොට මට ඒක ටිකක් අභියෝගාත්මක දෙයක් වුණා.

මේ නාට්‍යය කරද්දී මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවද?

හුඟක් වෙලාවට අපේ රටේ නාට්‍ය පුහුණුවෙන්න ස්ථානයක් නැහැ. කොළඹ ගත්තොත් ප්‍රධාන රංගශාලා කිහිපයයි තියෙන්නේ. ඒවගේ පුහුණුවීම් ලබා ගන්න අපහසුයි. මොකද නාට්‍ය ප්‍රදර්ශනවලට තමයි ඒ දින ලබාදෙන්නේ. පුහුණුවීම්වලට ඒ කියන මුදලට ගන්නත් බැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ අපට පුහුණුවීම්වලට රංගශාලාවක් හොයා ගන්නවා කියන එක මට විතරක් නෙවෙයි අපේ සමකාලීන නාට්‍යකරුවන්ටත් තියෙන ප්‍රශ්නයක්. ඉතිං මට ආපු අභියෝගය වුණේ, මූලිකවම පුහුණුවීම් කරගන්න තැනක් නැති ප්‍රශ්නය තමයි.

නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ

මේ වන විට නාට්‍ය කලාවේ යම් පිබිදීමක් දකින්න ලැබෙනවා ද?

ප්‍රේක්ෂකාගාරය පැත්තෙන් යම්කිසි සතුටුදායක මට්ටමක් මේ වන විට දක්නට තියෙනවා. අවුරුදු දෙකක් තුනක් රටේ තිබුණු අනාරක්ෂිත තත්ත්වයත් එක්ක ප්‍රේක්ෂකයෝ රංගශාලාවලින් ඈත්වෙලා හිටියා. මේ වන විට මිනිස්සුන්ට මොන තරම් ආර්ථික ප්‍රශ්න, අර්බුද තිබුණත් සැලකිය යුතු ප්‍රේක්ෂකාගාරයක් මේ වන විට හැදිලා තියෙනවා, කොළඹ වගේම කොළඹින් පිටත්. එක සතුටුදායක තත්ත්වයක්.

● පාරමී කෞෂිකා

නාට්‍ය පුහුණුවෙන්න තැනක් නැහැ
advertistmentadvertistment
advertistmentadvertistment