නෑ…. බෑ… නොකියා සිගානොකා පිළිකා රෝගියාගේ දිවි ගැලවූ විස්මිත සැත්කමක්

400

තෙල්දෙණිය රෝහලෙන් වාර්තාවක්
ලැපරොස්කොපි උපකරණයක් නැතිව එන්ඩෝස්කොපි අපි යොදා ගත්තා
වෛද්‍යවරු ඇහැට පේන දෙවිවරු’ රෝගී මව
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අපි රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළ යුතුයි
විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුසුම් සෝමරත්න

ඖෂධ හා උපකරණ හිඟය ඇතුළු ගැටලු රැසක් රට තුළ පවතින අවස්ථාවක එම අභියෝග ජය ගනිමින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දක්වන කැපවීම පිළිබඳව අපූරු පුවතක් තෙල්දෙණිය මූලික රෝහලෙන් වාර්තා වේ.

ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හමුවේ එම අභියෝගය සාර්ථකව භාරගෙන එන්ඩෝස්කොපි තාක්ෂණයෙන් සැත්කමක් මගින් 67 හැවිරිදි කාන්තාවකගේ අන්නසෝත්‍රයේ තිබුණු පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට මෙම වෛද්‍යවරුන් කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි. රෝහලේ තිබුණු සීමිත සම්පත් යොදා ගනිමින් රෝගී ජීවිතයක් සුවපත් කිරීමට සිදු කළ එම විස්මිත සැත්කම පිළිබඳව මෙසේ වාර්තා වෙයි. මෙම විස්මිත සැත්කම පිළිබඳව ‘දිවයින’ට අදහස් දැක්වූ තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුසුම් සෝමරත්න මහතා මෙසේ කියා සිටියේය.

නෑ…. බෑ… නොකියා සිගානොකා පිළිකා රෝගියාගේ දිවි ගැලවූ විස්මිත සැත්කමක්

“මේ රෝගියා අපේ රෝහලට පැමිණියේ ගිලින්න අපහසු උගුරේ අමාරුවකට ප්‍රතිකාර ගන්නයි. අපි මේ පිළිබඳව පරීක්ෂණ රැසක් සිදු කරලා අවසානයේ පිළිකාවක් ද යන්න තහවුරු කරගැනීමට කටයුතු කළා. ඒ සඳහා පවතින සම්මත ක්‍රමවේදය අනුව විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ වාර්තා යොමුකර පිළිකාවක් බව තහවුරු කරගත්තා. රට තුළ පවතින ඖෂධ හිඟය හා වෙනත් ගැටලු හේතුවෙන් රෝගියාට පත්වන අපහසුතාව අවම කර ගැනීමට අපි තීන්දුවක් ගත්තා මේ මොහොතේ වඩා උචිතම ක්‍රමවේදය ශල්‍යකර්මයක් සිදු කිරීම බව. මේ බව රෝගියාට සහ පවුලේ අයට දැනුම් දී අවශ්‍ය කටයුතු සිදු කළා. නමුත් තෙල්දෙණිය රෝහලේ මෙම ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණවල හිඟයක් තිබෙනවා. විශේෂයෙන්ම ලැපරෝස්කොපි උපකරණයක් අපට තිබුණේ නැහැ. ශල්‍යකර්මයට එය අවශ්‍යයි. නමුත් අපි තීරණය කළා ඒ වෙනුවට එන්ඩස්කොපි උපකරණයක් තිබෙන නිසා එය යොදාගනිමින් මේ ශල්‍යකර්මය කළ හැකි බව. ඒ නිසා අපි එන්ඩොස්කොපි උපකරණය යොදා ගෙන මේ කටයුත්ත කළ හැකිද යන්න ගැන විමර්ශනය කළා. අමාරු වෙලාවේ කළ යුතු හොඳම දේ වෙනුවෙන් අවසානයේ මේ ශල්‍යකර්මය සිදුකිරීමට එකඟත්වයකට පැමිණියා. නමුත් අපට සිලින්ජර් කපලා ශල්‍යකර්මයට අවශ්‍ය පෝට් සකස්කර ගන්න වුණා. ඒවා යොදාගෙන එන්ඩොස්කොපි උපකරණය යොදවා සැත්කමට අත ගැසුවා. මේක අමාරු ශල්‍යකර්මයක්. පපුවට කැමරාවක් ඇතුළු කරලා ගලනාලය වටේ තියෙන පටකවලින් නිදහස් කරගෙන ශල්‍යකර්මය සිදු කළේ. ශල්‍යකර්මයට අවශ්‍ය ලැපරෝස්කොපි උපකරණයක් රෝහලේ තිබුණේ නැහැ. මේ උපකරණය මිලියන 40ක් – 60ක් වෙනවා. මේක නැති වුණාට අපේ තියෙන සම්පත් විශේෂයෙන්ම එන්ඩස්කොපි උපකරණය යොදාගනිමින් අඩුපාඩු සියල්ල මැද ශල්‍යකර්මය සාර්ථක කර ගැනීමට පසුබිම සකසා ගත්තා. මේකට විශාල කණ්ඩායමක් අවශ්‍යයි. සියලු වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස එකට එක් වී මෙය සිදුකළා. අවසාන ප්‍රතිඵලය ඉතා සාර්ථක වී ඇති බව සතුටින් කිව යුතුයි.

මෙවැනි සැත්කමක් සිදුකළ බවට ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැහැ. මේ ආකාරයෙන් මෙවැනි ශල්‍යකර්මයක් කළ පළමු අවස්ථාව මෙයයි. අපි කළේ වෛද්‍යවරුන් ලෙස රෝගියා වෙනුවෙන් අපේ යුතුකම ඉටු කිරීමයි.

යම් දෙයක් නැහැයි කියලා කම්පා වෙනවට වඩා අපට තියෙන දෙයින් කොහොමද වැඩක් කරන්න පුළුවන් කියලා සැලකිලිමත් වීමයි වැදගත්. රටේ මේවා නෑ අපි ඉල්ලුවාට ලැබුණේ නෑ කියලා දොස් කියනවට වඩා කළ හැකි දේ වෙනුවෙන් කැපවීම අවශ්‍යයි. රට අපහසුතාවට පත්වී තිබෙන මොහොතක රට දාල යන එක නෙවෙයි අපේ යුතුකම. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න අපට අවස්ථාව සලසා දුන්නේ මේ රටේ ජනතාව. ඒ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳපු කොටස විදිහට රටේ ජනතාව පීඩනයෙන් ඉන්න මොහොතක ජනතාව වෙනුවෙන් යමක් කිරීමේ කාර්යභාරයත්, වගකීමත් අපිට තියෙනවා. රට විනාශ වෙලා තිබුණා නම් ඒකේ වගකීම අපි සාමූහිකව පුරවැසියන් විදිහට බාරගන්න ඕන. කවුරු කළත් පවතින තත්ත්වය වෙනස් කරන්න අපි හැමෝගෙම දායකත්වය අවශ්‍යයි. පුරවැසියන් විදිහට අපේ යුතුකම ඉටු කිරීමයි වැදගත්. උගත් බුද්ධිමත් පුද්ගලයන් හැටියට සාමූහික වගකීම් බාරගන්න ඕනෑ. භාරගෙන රට වෙනුවෙන් කළ හැකි දේ මේ වෙලාවේ ඉටු කිරීම වැදගත්. ජපානය මීට වඩා විනාශ වුණා. කොරියාව මීට වඩා විනාශ වුණා. ජපන් ජාතිකයන් ඒ වෙලාවේ අපේ අය වගේ රට දාලා ගියා නම් ජපානයේත්, කොරියාවෙත් ගැන අපට අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මේ මොහොතේ අපේ වගකීම වෙන්න ඕන කාටවත් ඇඟිල්ල දිගු කරනවා වෙනුවට මොනවද මේ මොහොතේ රටට විය යුත්තේ කියලා සිතා කටයුතු කිරීමයි. මේ අමාරු අවධියේ වගකීමෙන් කටයුතු කිරීම රටක් ජාතියක් නැගී සිටීමට යම් බලපෑමක් ඇති කරනවා. අපේ රටේ සියලු දෙනාට අලුත් දෙයක් කරන්න හැකියාව පවතිනවා. ඒ සඳහා හොඳම අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. හැමෝම කළ යුත්තේ තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමයි. වෛද්‍යවරුන් ලෙස අප මීට පෙර අත්දැකීම් නැති වුවත් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙනුයි.

ශල්‍යකර්මයට ලක් වූ හේමමාලා ධර්මලතා (67) මහත්මිය.

මම පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුරේ. අසනීප වුණාට පස්සේ බෙහෙත් ගන්න දුව ළඟට ආවා. තෙල්දෙණිය රෝහලට ආවට පසුව ඉක්මනින් රෝහලේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළා. වෙන තැන්වල වගේ පෝලිමේ ඉන්න සති ගණන් ඉන්න අවශ්‍ය වුණේ නෑ. එහෙම වුණානම් මම මෙච්චර කල් ජීවත් වෙන්නෙත් නැති වෙයි. මට මුලින්ම වතුරවත් බොන්න බැරිව හිටියේ. උගුර හිරවෙනවා. සති දෙකක් විතර යනකොට බොන වතුර ටිකත් ආපහු වමනේ යනවා. ඒ නිසා මේ රෝහලට ඇතුළත් වුණා. තෙල්දෙණිය රෝහලින් පරීක්ෂණ කටයුතු කළා. ඊට පස්සේ දැනගත්තා ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය බව. වෛද්‍යවරුන් මගෙන් මේ ගැන ඇහුවාම මට වෙන කරන්න දෙයක් නැහැ. වෛද්‍යවරුන් කරන්නේ යහපත් දෙයක් නිසා මගේ ජීවිතේ වෙනුවෙන් ඒ හැම දේටම එකඟ වුණා. දැන් දුක් විඳිනවට වඩා මේක කරන එක හොඳයි කියලා වෛද්‍යවරුන් කීවා. පසුවයි මේ දේ ඇත්තටම සිදු කෙළේ.

ඇත්තටම ඇහැට පෙනෙන දෙවිවරු තමා වෛද්‍යවරුන් කියන්නේ. ඒක මම අත්වින්ද දෙයක්. රෝහලේ සියලු දෙනාම එක වගේ හොඳින් සැලකුවා. අපි අසරණ දුප්පත් අය. පිටින් මේ පරීක්ෂණ කර ගන්න අපිට හැකියාවක් නෑ. ඒක නිසා මේ වගේ රෝහල්වලට වැඩි පහසුකම් දීලා අපි වගේ අසරණ අයට පිහිටක් ලබා ගන්න පුළුවන් මට්ටමට පත් කරන එක පිනක්. දැන් මම නිරෝගීව ඉන්නවා. මේ ශල්‍යකර්මයට පැය 12ක් ගියා කියලා වෛද්‍යවරුන් මා සමග කීවා. මම ඒ අයට ණයගැතියි.

ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර


advertistmentadvertistment