නීතිපතිට සේවා දිගුවක්

215

දේශපාලනයේ උණුසුම් කතාබහක්

වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇත. ඒ අනුව මෙම මස මැද භාගයේදී විශ්‍රාම යෑමට නියමිතව සිටි නීතිපතිවරයාට මෙම වසරේ අවසානය තෙක් ධුරයේ රැඳීමට හැකියාව පවතී. ඔහුගේ එම සේවා දිගුව ඉතා විශේෂිත එකක් වනුයේ වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ද විශ්‍රාම යෑමට නියමිත බැවිණි.

වත්මන් අගවිනිසුරුවරයා සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගියහොත් සේවා දිගුවක් ලැබූ සංජේ රාජරත්නම් මහතාට අගවිනිසුරු ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී.

ජනාධිපතිවරණය මෙම වසර තුළ පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ක්‍ෂේත්‍රය තුළ සිදුකිරීමට යන මෙවැනි පත්කිරීම් සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ද කතාබහක් ඇත.

කෙසේ වෙතත් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දෙන්නේ නම් එය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඊට අනුමැතිය ලබාගත යුතුය.

ව්‍යවස්ථාදායක සභාව බොහෝ දුරට හෙට (03දා) රැස්වීමට නියමිත අතර එහිදී මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ නියෝජිතයෙක් කීය.

අකිත පෙරේරා

සේවා දිගුව ගැන ජනපති හේතු කියයි

නීතිපතිට සේවා දිගුවක්

නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු අගරදගුරු මණ්ඩලය සමග සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහු හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී. දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිගෙන් විමසා තිබුණේ විපක්ෂය නගන චෝදනාවත් සමගය.

පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා කුරුණෑගල රදගරුතුමන්ට යොමු කොට ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන් පත් කළ බව ජනපතිවරයා ඔවුන් හමුවේ කියා ඇත.

මේ කමිටු සාමාජික නීතිපති සංජය රාජරත්නම් දිගින් දිගටම රදගුරු මණ්ඩලය සමග සාකච්ඡා පවත්වමින් සිටින නිසා එම සාකච්ඡා අවසන් වන තුරු ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනපති සඳහන් කර තිබේ.

අලුත් නීතිපතිවරයකු පත් කළහොත් ඔහුට මේ කටයුතු අධ්‍යයනය කරන්නට තවත් කාලයක් ගත වන බැවින් නීතිපති සේවා කාලය දීර්ඝ කරන්නට තීන්දු කළ බව පවසා ඇති ජනපතිවරයා කාට හෝ ඒ ගැන ගැටලුවක් තිබේ නම් ඒ කාරණය රදගුරු මණ්ඩලයෙන් විමසා දැනගත හැකි බවද කියා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment