නීතිපති උපදෙසින් නටාෂා – බෲනෝ නිදහස්

122

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසලක පැවැති මෝඩයන්ගේ පාරාදීසය නමැති විනෝදාස්වාද වැඩසටහනකදී බොදු දහමට අපහාස වන ආකාරයෙන් හා අන්‍ය ආගම් අතර වෛරය පැතිර යන ආකාරයෙන් කරුණු දැක්වූයේ යැයි කියන ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය හා එම වැඩසටහන අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන බෲනෝ දිවාකර නමැති දෙදෙනා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (19දා) නියෝග කළේය.

එකී චෝදනා යටතේ එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

2023.04.01 වැනිදා පැවැති එම වැඩසටහනේදී නටාෂා එදිරිසූරිය කළ එම ප්‍රකාශ දෙවන සැකකාර බෲනෝ දිවාකර නමැත්තා අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එමගින් එකී සැකකරුවන් ආගම් අතර පවතින සංහ`ිදියාවට බාධාවක් වන ආකාරයෙන් හා බෞද්ධ ධර්මයට අපහාසයක් සිදුකර ඇති බව කියමින් සිංහල බෞද්ධ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි. එකී පැමිණිල්ල අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් දෙදෙනා රටින් පිටවයෑමට උත්සාහ කළ අවස්ථාවේදී කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබිණි. අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර දින කිහිපයකට පසුව ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූලි 1 වැනිදා නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment