අමරවීරලාගේ පට්ටම් ගලවන්න එපා – මෛත්‍රී ඇතුළු 5කට පැනවූ වාරණය දික් කරයි

45

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08 දා) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා මහියංගණය ආසන සංවිධායක කේ. පී. ගුණවර්ධන සහ මහත්වරුන් වෙත එම වාරණ නියෝගය නිකුත් කෙරිණි. පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍යම කාරක සභාවේ හා විධායක සභාවේ සාමාජිකයන්ගේ සහ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයන්ගේ රැස්වීමකදී තමන් එම තනතුරුවලින් ඉවත්කොට එම තනතුරුවලට වෙනත් පුද්ගලයන් තිදෙනකු පත්කර ඇති බව පෙන්වා දෙමින් ගොනුකර තිබූ පැමිණිලි සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් පසුගිය 01 වැනිදා එම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

තමන් එකී තනතුරුවලින් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් තමන් ඉවත් කිරීමේ තීරණය හා වෙනත් තිදෙනකු එම තනතුරුවලට පත්කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙසට ද පැමිණිලිකාර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. නීතිඥ අමිල කේ. දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර, නීතිඥ සංජය කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ පුලස්ති රූපසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් වගඋත්තරකාර පාර්ශවය නියෝජනය කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment