බදුර්දීන්ට දුන් තීන්දුවට අතුරු තහනමක්

323

යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු අභයභූමිය ආශ්‍රිත රක්‍ෂිත වනාන්තර අක්කර දහස් ගණනක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සහ එම භූමිවල මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත අභියාචනාධිකරණය විසින් මින් වසර දෙකකට පමණ පෙර නිකුත් කර තිබූ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පෙත්සම් විභාගය අවසන් වනතෙක් වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රිෂාඩ් බදුර්දීන් මහතා විසින් අභියාචනාධිකරණයේ පෙර කී තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් විජිත් කේ. මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය. එකී වනාන්තර විනාශයට එරෙහිව හා අනවසරයෙන් එකී ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක්

ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය, විනාශ කළ ප්‍රදේශවල නැවත වන වගාව සඳහා වැයවන මුදල රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් අයකර නැවත වන වගාව සිදුකරන ලෙසට තීන්දුවක් නිකුත් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment