ස්වභාවධර්මයේ විවිධ සංසිද්ධීන් සේම සත්ත්ව, පක්ෂි හා කෘමි රටා තුළ ද දක්නට ලැබෙන ලකුණු හෙවත් වෙනස්වීම් පූර්ව නිමිති හෙවත් පෙර නිමිති සේ අර්ථකථනය කළ හැක. කාලානුරූපව වෙනස් නොවන පෙර නිමිතිවලින් බහුතරය ඍජුවම පරිසරය හා බද්ධය. ද්වාපර යුගයේ විසූ අෂ්ට සමාප්තිලාභී මෙන්ම පංච අභිඤ්ඤාලාභී ඍෂි උතුමන් වහන්සේලා අන්තරීක්ෂ ඤාණයෙන් තුන් කල් දැක හුදෙක් මනුෂ වර්ගයාගේ යහපත, අභිවෘද්ධිය, ආරක්ෂාව උදෙසා නිර්ලෝභීව ගුරුමුෂ්ඨි සැඟවීමකින් තොරව අංගසම්පූර්ණව ලොවට දායාද කළ දිව්‍යමය ශාස්ත්‍ර අතරින් නිමිති ශාස්ත්‍රය ද එක් ශාස්ත්රයකි.
නිමිති ශාස්ත්රයේ ආරම්භ කාලවකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි මුත් මානව සංහතියේ ආරම්භයේ පටන්ම යම් යම් නිමිති භාවිතයේ යෙදුණා යැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක. නිමිත්ත හෙවත් සලකුණ නිමිති සංඥා, නිමිති ලක්ෂණ හා උත්පාදිත ශබ්ධ තරංග ආදියෙන් යුතුය. නිමිති ශාස්ත්රයේ විශේෂත්වය වන්නේ යම් සිද්ධියකට හෝ කරුණකට අදාළව උරුම විය හැකි ශුභ අශුභ පූර්ව වශයෙන් ප්‍රකාශ කළ හැකි වීමයි. එනිසා නිමිති විශ්ලේෂණය තුළින් පූර්ව නිගමනවලට පිවිසිය හැක.
නිමිති මනුෂ්‍ය ජීවිතයට ඍජුවම බද්ධය. පෙර නිමිති අතරින් බොහොමයක් දීර්ඝ කාලයක් තුළ මිනිසා ක්‍රමයෙන් ලද අත්දැකීම්ය. මෙම අත්දැකීම් විෂයෙහි වන ශුභ අශුභ රට රටවල් හා ප්‍රදේශ වශයෙන් ද ජනවර්ග හා ආගම් මත ද නොයෙක් සංස්කෘතික රාමුන් මත ද ඔවුනොවුන්ගේ විශ්වාස, ඇදහිලි හා චාරිත්‍ර වාරිත්‍ර මත සළු සුළු වශයෙන් විචලනය වන අවස්ථා ද වේ.
කෙසේ වෙතත් යම් කර්තව්‍යයක් සඳහා යොදා ගන්නට යෙදෙන නිසි ප්‍රමිතිගත ශුභ මුහුර්තයේ උපරිම ඵල ලැබීමට ඊට දායක වන ජන්මියා වාසනාවන්ත නොමැති වන කල එහි අසාර්ථකත්වය කියාපාන්නේ ද පෙර නිමිතිමය. විශේෂයෙන් යම් ගමනක් පිටත් වන විට මුල්ම පෙරමඟ නිමිත්ත හෝ දෙවන පෙරමඟ නිමිත්ත හෝ තුන්වන පෙරමඟ නිමිත්ත ශුභ විය යුතුය. ඒ හරහා ගමනේ සාර්ථකත්වයේ ශුභ, මධ්‍යම හා අවම තත්ත්ව කියාපායි. යම් ලෙසකින් ඉහත කී පෙරමඟ නිමිති ත්‍රිත්වයම අශුභ වන කල පිටත්වූ ගමනින් ඵල නැත.
පුළුල් පරාසයක් තුළ වර්ග කෙරෙන නිමිති ස්ත්‍රී, පුරුෂ, සත්ත්ව, පක්ෂි හා වස්තු ලෙස ද සිද්ධි, මනෝ, ස්වස්න, නිර්මාණ හා ඉන්ද්‍රීය ගෝචර ලෙස ද දෘශ්‍ය හා අදෘශ්‍ය ලෙස ද ප්රාථමිකව වර්ග කෙරේ. නමුත් පුළුල් වපසරියක් තුළ සාර්ථක නිමිති වර්ගීකරණයේ නිමිති වර්ග ගති, දර්ශන, භාෂාණ, ශ්‍රවණ, චිත්තාරම්භණ, ධිත, සුපීන, තත්කාලීන සිද්ධ හා නිර්මාණ හෙවත් අක්ෂර ස්පර්ෂාදි ලෙස දස ආකාරය. මෙකී දස ආකාර නිමිති ද ශුභ අශුභ ලෙස දෙයාකාරය.
නිමිති ශාස්ත්‍රය වැනි වටිනා බොහෝ ඵල ලද හැකි ශාස්ත්‍ර වර්තමානයේ ඒ පිළිබඳ නූගත් අන්තවාදීන් මිථ්‍යාවන් ලෙස හුවා දැක්වීම නිසාත් මෙම වටිනා ශාස්ත්‍ර පටු ආත්මාර්ථය පෙරටු කරගත් පුහුදුන් ගති මත ගුරුමුෂ්ටි ලෙස හැඟවීම නිසාත් වර්තමානය වන විට බොහෝ සෙයින් පරිහානි ගතවී හමාරය. දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් තුළ අදටත් නිසි ප්‍රමිතිගතව උපරිමයෙන්ම පවතින මෙම වටිනා ශාස්ත්‍ර තවදුරටත් ගුරු මුෂ්ටි ලෙස සඟවමින් සමාජගත නොකළහොත් මෙම දිව්‍යමය වටිනා ශාස්ත්‍ර ලෝකයෙන් සදහටම අතුරුදහන්වීම වැඩි ඈතක නොවන බව ඉතා පැහැදිලිය.
කෙසේ නමුත් ඇතැම් නිමිති, විශේෂයෙන් පෙරමඟ නිමිති යම් උපක්‍රම භාවිතයෙන් ශුභ වන ලෙස යොදා ගැනේ. ඒ හරහා යමක අශු-භත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකාගත හැක. එසේම සම්බුද්ධ දේශනාව අනුවත් නිමිතිකරණ කොට ලැබිය හැකි ශුභ අශුභ ඵල විපාක නුවණින් විමසා ඒ තුළ යම් දුර්විපාකයක් ගැබ්වේ නම් නුවණක්කාරීව පූර්වසූදානම් වී ආරක්ෂා විය යුතු බව සඳහන්ය. බුදු දහම තුළ ද පෙර නිමිති විග්රහ වන අවස්ථා ගණනාවකි. කෙසේ නමුත් නිමිත්ත ඇසීම, දැකීම හෝ දැනීම විෂයෙහි සාධාරණය. බුදු දහමට අනුව නිමිත්ත මනුෂ්‍ය ලෝකයට පමණක් නොව බ්‍රහ්ම – දිව්‍ය ආදී ලෝකවලට ද අදාළය. එසේම නිමිති සම්බන්ධ අධ්‍යයනයේදී අතීතයේ නිවෙස්වල වූ පැටි පස් පරාණය ලෙස ගැනෙනා කොල්ලා, බල්ලා, බළලා, කුකුළා හා ගවයා ද ඉවතලිය නොහැක. එකල මෙකී සතුන්ගේ අධිසංවේදීතා සමාජ ප්‍රගමණයට භාවිතා වුණි.
නිමිති ඇසීමට, බැලීමට හේතු භූත වන කරුණු කාරණා දහස ඉක්මවා ඇති අතර ඒවා නිමිති විග්රහයකදී සියයකටත් වඩා අඩු ප්‍රමාණයක් විෂයෙහි ලඝු කෙරේ. තවද විශේෂයෙන් නිමිති එදිනෙදා ජීවිතයේ පැනනඟින ප්‍රශ්නවලට විසඳුම් සොයනු වස් භාවිතයේ යෙදේ. නිමිති ප්‍රකාශ කිරීම බොහෝ විටම පරිසරය හා බද්ධය. එසේම විද්‍යාත්මකය. මෙහි පදනම ග්‍රහ කාරකා බලපෑමෙන් උදාවන නිමිති සංඥා, නිමිති ලක්ෂණ හා ශබ්ද තරංග විෂයෙහි අනුකූලය. මෙහිදී විශේෂයෙන් නිමිති සංඥා මූලිකය. එසේම නිමිති සංඥා විෂයෙහි වන රාශි, ග්‍රහ, භාව පදනමින් ව්යුක්තේන කරගන්නා ලග්න නවාංශක නැකැත් සේම පාලක ග්‍රහයා හා උප ග්‍රහයන් වන ලග්න, නැකැත්, දින හා හෝරාධිපති ද නිමිත්ත විශ්ලේෂණයේ දී ඉතා ප්රයෝජනවත්ය. තවද නිමිති ශාස්ත්රයේදී දූත ලක්ෂණවලට ද විශේෂ ස්ථානයක් හිමිය. එනිසා නිමිත්තක් බැලීමේදී දූතයාත් නිමිති ශාස්ත්රඥයාත් යන දෙපාර්ශ්වයම කිලි කුණුවලින් තොරව පිරිසිදු වස්ත්‍ර ඇඳ තෙරුවන් කෙරෙහි භක්තිමත්ව ඉෂ්ට දේවතා, පාලන දේවතානුස්මරණයෙන් යුතුව නිමිති ශාස්ත්‍රය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් සිටිය යුතුය. කෙසේ නමුත් දෙපාර්ශ්වයම දැහැමි සිල්වත් වන තරමට නිමිත්ත සාර්ථකව කියැවේ.
නිමිති විශ්ලේෂණයේදී ශාස්ත්‍රීය ක්‍රමවේද පදනමින් ධාතු මූල ජීව විභාගය සිදුවේ. එහිදී දිනයත්, ඍතු මානයන් දෙක වූ දිවා හා නිශාමාන ආලිංගික, අභිධුමිත හා දග්ධ ලෙසත් පූර්ව, මධ්‍ය හා අපර ලෙසත් විග්රහ කෙරේ. ඒ නිසා නිමිති, දවසේ ඕනෑම වේලාවක බැලිය හැක. එය එසේ කළ හැකි වන්නේ විශ්ව ශක්තිය ලෙස ග්‍රහයන්ගේ කිරණ නිකුත් වීම සේම පංච මහා භූතයන්ගේ බලපෑම යනාදිය දවස පුරාම පැවැතීමත් නිසාය. නිමිති ශාස්ත්රයේදී ශබ්ධ තරංගයට ද විශේෂ ස්ථානයක් හිමිය. දිනයක වන මානයන් දෙකෙන් පූර්ව, මධ්‍ය හා අපර යාම පදනමින් ඍෂි දේශීතය මත මලක, ඵලයක, ගඟක ආදී ලෙස දූතයා වෙතින් විමසීම සිදුවේ. ඒ හරහා ශබ්ධ තරංගය උත්පාදනය කෙරේ. මෙහිදී ශබ්ද තරංගය ලෙස සලකනුයේ උපන් හෝ උපන්දින වචනයේ මුල් අක්ෂරය වේ. විශේෂයෙන් නිර්මාණ නිමිති විශ්ලේෂණයෙහිලා මෙම ශබ්ධ තරංගය අත්‍යවශ්‍ය වේ. මීට පරිබාහිරව බුලත් විශ්ලේෂණයන් මතද නිමිති විග්රහ කිරීම සිදුවේ.
නිමිති විග්රහයේදී ප්‍රශ්න චින්තාව හා ප්‍රශ්න විනිශ්චයට ද විශේෂ නැකැත් හිමි වේ. එයද ධාතු මූල හා ජීව විශයෙහි විමසා බැලේ. නිමිති විග්රහයේදී නිමිති ශාස්ත්‍රඥයා සතු නිමිති ශාස්ත්‍රය සම්බන්ධ සම්පූර්ණ දැනුමට භාවිතා නොවේ. එහිදී අවශ්‍ය පරිදි දැනුම භාවිතා කළ යුතුය. කෙසේ නමුත් නිර්මාණ නිමිති චක්‍ර නිසි ප්‍රමිතිගතව සුදුසු පරිදි 1:1, 1:3, 1:5 ආදී අනුපාතවලට තඹ කොළවල පන්හිදෙන් නිසි පරිදි කෝෂ්ට හෙවත් ගැමයන් වෙන්කර ඇඳගත යුතු අතර එලෙස ඇඳගත් තඹ කොළය යකඩ ඇණ නොගැසූ කනප්පුවක, ටීපෝවක, පුටුවක හෝ මේසයක මත තබා නිමිත්ත විමසිය යුතුය. මෙහිදී ගුරුකුල සම්ප්‍රදානුකූලව පංච සුගන්ධික සහිත සුවඳ දූපයකින් දුම් දීමක් කහ වතුර ඉස හාත්පස පිරිසිදු කර ගැනීමත් යනාදිය අනිවාර්ය වේ.
නිමිත්තක් විමසන කල එම නිමිත්ත ඉතා සාර්ථකව කියැවෙන්නේ මෙම ශාස්ත්රවලට හිමිකම් කියන ඍෂි උතුමන්ගේ ආශිර්වාදයෙන් බව කිව යුතුමය. ඒ නිසා අවස්ථාව ලද සෑම විටම ඍෂි උතුමන් වහන්සේලා සිහිපත් කොට පින් අනුමෝදන් කළ යුතුය.
සාමාන්‍යයෙන් නිර්මාණ නිමිති විශ්ලේෂණයෙහිලා නිමිති ශාස්ත්‍රය සම්බන්ධ හසළ දැනුමක් අවශ්‍ය නොවුණ ද නිමිති බලන්නාට සාර්ථකව නිමිත්ත විශ්ලේෂණය කර පලාපල පැවැසිය හැක. කෙසේ නමුත් ප්‍රශ්න චින්තාව පැහැදිලි වන සෑම විටම නිර්මාණ නිමිති සුදුසු ලෙස අවශ්‍ය පරිදි භාවිතයේ යෙදේ.
නිමිති ශාස්ත්‍රය ද උගත් පරිණත දක්ෂ ගුරු ඇසුරක් තුළින් ක්‍රමානුකූලව පියවරෙන් පියවර සංයමයෙන් උගත යුතුය. එසේ නොමැතිව ආර්ථික වාසි තකා පොත්පත්, පුවත්පත් ආදිය පරිශීලනය තුළින් නිමිති ශාස්ත්‍ර ක්‍රමවේද අහුලා ගැනීමත් විෂය සම්බන්ධ ප්‍රවීණ විද්වතුන්ගෙන් අදින්නපුබ්බක, මට්ටකුන්ඩලියාට බෙහෙත් සෙවුවා සේ අසා දැන ගැනීමත් විවිධ වූ පරිගණක තොරතුරු පද්ධති අධ්‍යයනය කර අදාළ විෂය කරුණු එකතු කර ගැනීමත් සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් සතියකට වරක් දිනකට පැය 2ක් වැනි අවම කාලයක් විඩංගු කර සුළු මුදලකට හෝ නොමිලේ විෂය ඉගෙනීමට උත්සාහ කිරීමත් විභාග, පර්යේෂණ පැවරුම් ආදිය මඟ හැරීමත් විෂය තුළ ප්‍රායෝගිකව නොසිට හුදෙක් දෝෂ පිරී දේශීය මෙන්ම විදේශීය පරිගණක මෘදුකාංග මත යැපී ඒ හරහා දැන දැනම විෂය අවභාවිත කිරීමත් විශේෂයෙන්ම ස්වයං අධ්‍යයනයට යොමුවීමත් වැනි මෙකී නොකී අඥාන දේ කිරීමට යෑම තුළ සිදුවන්නේ අනර්ථයක්මය. මේ හරහා සිදුවන්නේ නොමිලේ හෝ අඩු මුදලට දෝෂ සහිත පලාපල සේම වැරදි දෝෂ සහිත සිද්ධාන්ත හා න්‍යායන් සමාජගත කිරීමය. ඒ හරහා තම සේවාදායකයන් නොමඟ යවා තම සේවා කටයුතු සිදු කිරීම සිදුවේ. මෙකී තත්ත්වය නිමිති ශාස්ත්‍රය විෂයේ පමණක් නොව ජ්‍යොතිෂ ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය, දේහ ලක්ෂණ ශාස්ත්‍රය, වාස්තු ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය, තත්කාල ශාස්ත්‍රය, ක්රිෂ්ණ මූර්ති පද්ධතිය ආදී කොට ඇති ශාස්ත්‍ර විෂයෙහි ද සාධාරණය. ඒ නිසා විෂයන්හි සත්‍යතාවය මෙන්ම ගරුත්වයත් තමාගේ උගත්කමත් ගුරුත්වයත් සුරැකෙන සේ ශාස්ත්‍රීය කටයුතුවල නිරත වන්න.
ජ්‍යොතිෂවේදි, ගුප්ත වෛද්යචාර්ය, දේශබන්ධු
ආචාර්ය
මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653