ඔහු මගේ රංගන ජීවිතයේ අප්පච්චි  – උදාරි වර්ණකුලසූරිය

480

අපේ ආයුෂත් අරගෙන ජැක්සන් මහත්තයා සුවපත් වෙන්න ඕන…
ඒ ආරංචිය දැනුණෙ හීනයක් වගේ…

ජැක්සන් ඇන්තනී නම් වූ අසහාය කලාකරුවාණන් කලා කෙතට දායාද කළ මහරු නිර්මාණ අතර ‘එක ගෙයි සොකරි. ප්‍රථම නිෂ්පාදනය වූ අතර ඔබ තුමාගේ සිනමාපටයක මගේ ප්‍රථම නිර්මාණ දායකත්වය එය ම වීම මා ලද භාග්‍යයකි.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ක්ෂීර සාගරය කැළඹුණි. චිත්‍රපටය තිර රචනය වූයේ ද ඔබතුමාගේ රංගන ප්‍රතිභාවෙනි.

එහි ප්‍රධාන රංගනවේදියා වූයේ ඔබය. මම එහි ඔබතුමා ගේ බිරිඳ ගේ චරිතයට පණ පෙව්වෙමි.

දේවි සම්බුලා චිත්‍රපටය…
 

මේ සියල්ලෙහි මගේ මතකයන් රංගන දායකත්වයන් මට ඉගැන්වූ අප්පච්චි ඔබය.

මේ රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් උපුටා ගත් කොටසකි.

ඇයගේ රංගන දිවියේ ආදරණීය අප්පච්චි බලන්න ඇය ලංකාවට පැමිණ තැබූ මේ සටහන ඔස්සේ අපි උදාරිට කතා කළා. ඒ වන විට ඇය නැවත සිංගප්පූරුව බලා යන්න ගුවන්තොටට ඇවිත්. කාලවේලාව මදි වුණත් තමන්ගේ ආදරණීය ගුරුවරයා වෙනුවෙන් වචනයක් කතා නොකර යන්න ඇයට හිත දුන්නෙ නැහැ.

ඔහු මගේ රංගන ජීවිතයේ අප්පච්චි  - උදාරි වර්ණකුලසූරිය

මෙතැන් පටන් දිගහැරෙන්නේ ඇයගේම වචනවලින් තැබූ ඒ සටහනයි.

මම පසුගිය සති දෙකේම හිටියෙ ලංකාවෙ. හදිසියේම ආපු මේ ගමනට හේතුව වුණේ ජැක්සන් ඇතනී මහත්මයාගේ අසනීප තත්ත්වය. එතුමා වැනි දැවැන්තයෙකුට මෙවැනි විපතක් වුණා කිව්වහම ලංකාවට නෑවිත් පුළුවන්ද?. එතුමා වැනි වටිනා පුද්ගලයෙක් ගැන තවත් උදාහරණ නැති තරම්. පුද්ගලිකව මගේ ජීවිතයට ගත්තාම එතුමා මගේ රංගන ජීවිතයේ පියා කියල කියන්න පුළුවන්. අනිත් අයට වගේම එතුමා මටත් ගොඩක් වටිනවා. මේ පැමිණි ගමනේ එකම අරමුණ වුණේ අනිත් අයත් එක්ක එකතුවෙලා එතුමාට සෙත් පැතීමේ කටයුතුවලට සහභාගී  වීමයි.

අනතුර ගැන ඇය දැනගත් අයුරු
 

මේ අනතුර ගැන මට ආරංචි වුණේ ජැක්සන් මහත්මයාගේ පුද්ගලික සහකරු මාර්ගයෙන්. ඒක අහපු වෙලාවෙ මට ලොකු ෂොක් එකක් දැනුණ. ඒ වෙලාවෙ අනේ මේක හීනයක්” බොරු කතාවක් වෙන්න ඇති කියලයි හිතුණෙ. මොකද මේක ඇත්තම කතාවක් වුණත් මගේ හිත ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. අපි ඕනම කෙනෙක් අසුබ දෙයක් වුණාම ඒක එහෙම වෙන්න එපා කියලනෙ හිතන්නෙ. මටත් එහෙමම හිතුණ. මේ වගේ ආරංචියක් මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. ඒක හිතට ලොකු දුකක් වගේම අනේ අපේ මුළු සිනමාවම කඩාගෙන වැටුණදෝ කියලත් හිතුණ. ඇත්තටම ජැක්සන් ඇන්තනී කියන්නෙ අපේ මුළු සිනමාවෙන් හරි අඩක් කියල කියන්න පුළුවන්. ඔහු වගේ අති දැවැන්ත දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් නැති තරම්. ඔහුගේ

වටිනාකම කියල නිම කරන්න බැහැ. ඒක අපි හැමෝම දන්නව. ඉතිං යළි යළිත් මට හිතුණෙ එහෙම දෙයක් නොවුණා නම් කියල.

ජැක්සන් ඇන්තනී සමග උදාරි චිත්‍රපට හතරකට තම රංගන දායකත්වය ලබාදෙනව

මගේ පෞද්ගලික ජීවිතේ ගත්තාම ඉදිරියට චිත්‍රපට අටක් තිරගත වෙන්න නියමිතව තියෙනව. ඒ අටෙන් හතරක්ම සම්බන්ධ වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහත්මයත් එක්ක. නම් වශයෙන් ගත්තොත් ‘එකගෙයි සොකරි. චිත්‍රපටය” ඒක එතුමාග් පළවෙනි නිෂ්පාදනය. එතැනින් පස්සෙ එතුමා සුනිල් ආරියරත්න මහත්මයාගෙ ‘ක්ෂිර සාගරය කැලඹෙයි. චිත්‍රපටයේ තිර රචනය කරනව. ඒකෙත් මම රංගනයෙන් එකතු වෙන්නෙ ජැක්සන් මහත්මයාත් එක්ක. ඒ වගේම එතුමා අවසානයට අධ්‍යක්‍ෂණය කළ ‘දේවී සම්බුලා. චිත්‍රපටය භාෂා දෙකකින් නිර්මාණය කළා. මේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණය තිර රචනය කළේත් එතුමාමයි. ඒ නිර්මාණ හරහා අපේ ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ විශාල කැක්කුමක් එතුමාට තිබුණ. තවමත් එළිදැක්වුණේ නැති මේ නිර්මාණ හරහා ඉදිරියේදී අපිට දැකබලාගන්න පුළුවන්වෙයි එතුමා අපේ සිනමාවට දීල තියෙන වටිනාකම මොකක්ද කියල.

දේවී සම්බුලා චිත්‍රපටයේ අත්දැකීම
 

දේවී සම්බුලා චිත්‍රපටයටම ඉන්නෙ නළු නිළියන් තුන්දෙනෙක් විතරයි. මම” අඛිල ධනුද්ධර සහ පුබුදු චතුරංග. මුල සිට අවසානය දක්වාම අපි තුන්දෙනා විතරයි රඟපෑමෙන් එකතු වෙන්නෙ. අමතර එක චරිතයක්වත් නැහැ. ඒක හරි අමාරු අත්දැකීමක් සහ ලොකු අභියෝගයක්. ප්‍රේක්‍ෂකයා ඇද බැඳ තියාගන්න අපිට තියෙන වගකීම වැඩියි. මේ දක්වා මගේ ජීවිතයේ පෙර පුහුණුවීම් වලින් වැඩිපුරම මහන්සි වුණ චිත්‍රපටය දේවී සම්බුලා කිව්වොත් නිවැරදියි.

නැවත යන්න සිදු වුණ හේතුව

හැම මාසෙකම වගේ මම ලංකාවට එනව. නමුත් මේ මාසයේ මට එන්න සිදු වුණ කාරණාව හරිම දුක්බරයි. තව කාලයක් ඉන්න අවශ්‍ය වුණත් මගේ සැමියාගේ අධ්‍යාපන කටයුතු නිසා නැවතත් මට සිංගප්පූරුවට යන්න සිදුවෙනව.

කඳුළකට හැරුණු වේදනාව

ජැක්සන් මහත්මයාව බලන්න අපි කාටවත් යන්න දෙන්නෙ නැහැ. එතුමා ඉන්නෙ දැඩිසත්කාර ඒකකයේ විශේෂ කාමරයක. නමුත් පවුලේ අයත් එක්ක කතාකරල එතුමාගේ තත්ත්වය දැනගන්න මට අවස්ථාව ලැබුණා. එතුමාව ඇස් දෙකෙන් දැක්ක වගේම ඒ අය මට සියලු දේ කිව්ව. එවෙලෙ මට දැනුණ එකම දේ තමයි දරාගන්න බැරි වේදනාවක් ආවම පපුව හිරවෙනව වගේ දැනෙන දේ. මට කඳුළු ආව. මට ඇඬුණ. ඒ මගේ රංගන ජීවිතයේ අකුරු කියා දුන් ගුරුවරයා. අපේ ආයුෂත් අරගෙන එතුමා ඉක්මණින් සුවපත් වෙන්න ඕන.

ඔහුගේ දැණුම

ජැක්සන් ඇන්තනී කියන්නෙ පුස්තකාලයක්. විවේකයක් ලැබුණ හැම වෙලාවෙම ඒ දැනුම බෙදල දෙනව. කෙල්ලෙ මෙහෙට එන්න” මේ බලන්න කියල තාක්‍ෂණික විදිහට හැමදේම කියල දෙනව. රඟපාන්න හරි ලේසියි කියල හිතාගෙන ඉන්න අයට ජැක්සන් ඇන්තනී මහත්මයාගේ දැණුමෙන් පොඩ්ඩක් හරි දෙන්න පුළුවන්නම් කියලයි මම හිතන්නෙ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment