SLT සමූහය 2022 ප්‍රථම අර්ධයේ අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කරයි

132

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර ලාභය 19.8% කින් වර්ධනය වී රු. බිලියන 7.2 ක් ලෙස වාර්තා වේ. රට තුළ පවතින අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා සාර්ථක ලෙස අභියෝග වලට මුහුණ දීමට SLT සමූහයේ ව්‍යාපාර ආකෘතියට හැකියාව ඇති බවට මෙය මනා සාක්ෂියකි.

මෙහෙයුම් කාර්යක්ෂමතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් SLT සමූහයේ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 2022 ප්‍රථම අර්ධය තුළ රු. බිලියන 20.9 දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරේ තත් කාලසීමාවට සාපේක්ෂව 7.8%ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ EBITDA ආන්තිකය 39.7% ක් ලෙස වාර්තා වේ.

පෙර කාර්තුවේ වාර්තා කළ සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගනිමින්, 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ පෙර කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය 4%කින් වර්ධනය කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ දූරදර්ශී විදේශ විනිමය ක්‍රමෝපාය නිසා, කාර්තුව තුළ රු. මිලියන 135ක විදේශ විනිමය ලාභයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබිණි. එනමුත්, ප්‍රධාන වශයෙන් ආදායම් බදු වියදම් ඉහළ යාම හේතුවෙන්, දෙවැනි කාර්තුව තුළ බදු පසු ලාභය 26.5%කින් පෙර කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.

වර්ෂය ආරම්භයේදී ක්‍රියාවට නැංවූ ක්‍රමෝපායික සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, දෙවැනි කාර්තුවේදී ද තම ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරගැනීමට SLT සමූහය සමත් විය. කෙසේ නමුත්, අප්‍රේල් සිට ජූනි දක්වා කාලසීමාවේදී පෙර නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය, ආනයන සීමා සහ උද්ධමනකාරී පීඩනය වැනි, ව්‍යාපාර කටයුතු වල වර්ධනය අඩපණ කරන අභියෝග රාශියකට මුහුණ දීමට සමූහයට සිදු විය. මෙයට අමතරව, ආයෝජන වලට බලපෑම් එල්ල වීම, මෙහෙයුම් වියදම් ඉහළ යාම නිසා නව ව්‍යපෘතිවලට බාධා සිදු වීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙහෙයුම් කටයුතු සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදු වීම ආදී ගැටලු‍ ද පැනනැගිණි. කෙසේ වුවද අනපේක්ෂිත තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ක්‍රමෝපායික ආයෝජන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් අත්කර ගනිමින්, නිසි කළමනාකරණ පාලන විධික්‍රම ක්‍රියාවට නංවමින්, එල්ල වූ අභියෝග ජයගැනීමටත්, ආංශික ආදායම් මාර්ග මනාව කළමනාකරණය කරගැනීමටත් සමූහය සමත් විය.

සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය පෙර වසරට සාපේක්ෂව 21.2% කින් වර්ධනය වී, රු. බිලියන 23.5 ක් ලෙස වාර්තා වී තිබේ. සමාලෝචිත කාලසීමාව අවසානයේදී රු. බිලියන 27 ක, මුදල් සහ මුදල් වලට සමාන වටිනාකම් වාර්තා කරගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ලාභාංශ ද ඇතුළුව සෘජු සහ වක්‍ර බදු වශයෙන් SLT සමූහය 2022 ප්‍රථම අර්ධ වර්ෂය තුළදී රු. බිලියන 14 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment